Print this Article


වඩාත් සාර්ථක ප්‍රඥාවන්තයා ද? දැනුමැත්තා ද?

වඩාත් සාර්ථක ප්‍රඥාවන්තයා ද? දැනුමැත්තා ද?

දැනුම, ලෝකය සහ සමාජය මෙන්ම විවිධ මාධ්‍ය මඟින් ලබාගත යුතු දෙයකි. බුද්ධිය හෙවත් ප්‍රඥාව ලබා ගැනීමක් කළ නොහැකි ය. එය උපතින් ගෙන එන පෙර පුදුරු සහ වැඩීම් මගින් හිමිවන උරුමයකි. කුසල් මත එහි වර්ධනය සිදුවන බව බුදු දහමේ ඉගැන්වීමයි.

(තයෝධර්ම ජාතකය)

අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් ලොව වටිනාම සම්පත බවට පත්වන්නේ ප්‍රඥාවයි. දැනුම සහ ප්‍රඥාව අහසට පොළොව මෙන් එකිනෙකට වෙනස් වූ දෙකකි. මිනිසකුට සිය ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රඥාව සහ දැනුම ඉතා වැදගත් ය.

දෙකම සමසේ පිහිටි පුද්ගලයා වඩා සාර්ථකත්වයක් ලබා ගනියි. දැනුමෙන් පොහොසත් තැනැත්තා අත්කර ගන්නා සාර්ථකත්වයට වඩා සාර්ථක බවක් ප්‍රඥාවන්තයා ලබාගනියි. වඩා වැදගත් වන්නේ ප්‍රඥාව යි.

ප්‍රඥාව හිමි පුද්ගලයා නිර්මාණශීලී ය. අලුතින් යමක් සොයා ගැනීමට මෙන්ම නව චින්තනයක් මඟිින් අනාගතය සහ සිය කාර්යයන් නිසි අයුරින් විනිවිද දැකීමේ හැකියාවලින් යුක්ත ය. ලොව උපදින මනුෂ්‍යයින් අතුරින් ප්‍රඥාව පූර්ණ ලෙස පිහිටි පුද්ගලයින් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයකි.

සෑම පුද්ගලයකුට ම පාහේ ප්‍රඥාව සමගම මෝහය ද පිහිටා ඇත. එබැවින් ඔවුහු ඇතැම් අවස්ථාවල දී ගැටලුවලට මුහුණ දීමේ දී නිසි පිළිතුර වෙනුවට වැරැදි පිළිතුරු සැපයීමෙන් දුකට පත්වෙති. ධනය විනාශ කරගනිති. ජීවිතය පවා නැති කරගැනීමට පෙළඹෙති.

ප්‍රඥාවේ හීන බව සහ මෝහ සිතිවිලිවල අධික බව එයට හේතුවෙයි. ප්‍රඥාව හිමි තැනැත්තා සමාජයේ බුද්ධිමතා ලෙසත්, දැනුමෙන් පොහොසත් පුද්ගලයා උගතා ලෙසත් හැඳින්වීමට නූතන සමාජය පුරුදුව සිටිති. දැනුම ලෝකය සහ සමාජය මෙන්ම විවිධ මාධ්‍ය මඟින් ලබාගත යුතු දෙයකි. බුද්ධිය හෙවත් ප්‍රඥාව ලබා ගැනීමක් කළ නොහැකි ය. එය උපතින් ගෙන එන පෙර පුදුරු සහ වැඩීම් මගින් හිමිවන උරුමයකි.

කුසල් මත එහි වර්ධනය සිදුවන බව බුදු දහමේ ඉගැන්වීමයි. ඒ වෙනුවෙන් කළ යුතු කාර්යයන් සමූහයක් බුද්ධ දේශනාවල උගන්වා ඇත. යම් ආයතනයක, නිවසක, සභාවක හෝ නායකත්වයේ තනතුර හිමි ඕනෑම තැනක මුල් පුටුව හිමි තැනැත්තා ප්‍රඥාවන්තයකු නම් ආයතනය වහා බැබළීමට පත්වෙයි.

එබැවින් ප්‍රඥාවෙහි වටිනාකම කියා නිම කළ නොහැකි අගනා දෙයකි. බුදුන් වහන්සේගේ ධර්මය මෝහයෙන් පිරුණු පුද්ගලයින්ට නොව ප්‍රඥාවන්තයින්ටම බව බුද්ධ දේශනාවේ සඳහන් ය. ප්‍රඥාවෙහි අගය දැක්වෙන දේශනා විශාල ප්‍රමාණයක් ති‍්‍රපිටකයෙහි වේ. ජාතක පොත එයින් ඉතා වැදගත් ස්ථානයක් ගනියි. කතාවක් ඇසුරින් ප්‍රඥාවන්තයාගේ හැසිරීම දක්වමින් ප්‍රඥාවන්තයින්වීමට උපදෙස් ලබාදීම එහි අරමුණයි. තයෝධර්ම ජාතකය එවැන්නකි. මෙය දේවදත්ත තෙරුන් වහන්සේ තමන් වහන්සේට පැමිණ වූ පීඩා අරභයා දේශනා කළ එකකි.

එම කතා පුවත මෙසේ ය. පෙර බරනැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ වානරයකු ව ඉපිද හිමාලය පෙදෙසේ මහා වානර සමූහයකට නායකයා වෙමින් එකල තම සමූහයේ සිටි සියලු වැඳිරියන් තම භාර්යාවන් කරගනිමින් ජීවත් වෙයි.

සිය භාර්යාවන්ට උපදින පැටවුන් වැඩිවියට පැමිණ තමාට එරෙහිව නැගී සිට නායකත්වය ලබා ගැනීමට ඉඩපවතින්නේ යැයි සිතමින් උපදින පැටවුන් සියලු දෙනා ම හෙතෙම මරා දමයි.

දරු සෙනෙහෙන් පිරුණ එක් වඳුරු මවක් තමා ගැබ් ගත් බව දැන වඳුරු රැළෙන් ඉවත්ව දරුවා හදා ගැනීමට වෙනත් පෙදෙසකට ගොස් හුදකලාව ජීවත්වීමට පටන් ගනියි. දරුවා උපන් පසු ඉතා දුක සේ දරුවා හදාගනිමින් කල්ගත කරන කල්හි ක්‍රමයෙන් වඳුරු පැටියා ද වැඩිවියට පැමිණ තම පියාණන් සහ ඥාතීන් මෙන් ම සොහොයුරු සොහොයුරියන් නොදැක නිතර ප්‍රශ්න කරන බැවින් මව දිනක් වඳුරු පුතු අමතා ‘පුත ඔබේ පියා ඔබව මරා දැමීමට සොයන්නේ ය. එබැවින් එහි යාමට නොසිතන්න, එහි ගියහොත් ඔබට මරණය හිමිවන්නේ ය‘ යැයි පැවසී ය.

එකල්හි තරුණ වඳුරා ‘‘මෑණියනි, මම එයට මනා ලෙස පිළියම් දන්නෙමි, මා එහි රැගෙන යනු මැනව‘යි ‘ ඉල්ලා සිටියේ ය. පුතුගේ දැඩි ඉල්ලීම් නිසා මව් තොමෝ දිනක් පියාණන් ප්‍රමුඛ ඥාතීන් දැකීමට යාමට තීරණය කළා ය. ඉක්බිති එහි ගියකෙණෙහි වඳුරු නායකයා තරුණ වඳුරාගේ දේහධාරී භව සහ හැසිරීම් දැක, දැන්ම මොහු ව විනාශ නොකරන්නේ නම්, අනාගතයේ මාහට මහත් විපතක් වන්නේ යැයි සිතා ආදරයෙන් වැළඳ ගන්නාක් මෙන් වදුරු පුතු දැඩිකොට අල්ලා ගනිමින් ඔහු මිරිකා විනාශ කර දැමීමට පළමුව උත්සාහ දැරීය. එහෙත් පෙර සසරෙහි සිට ගෙන එන කාය බලය නිසාම තරුණ වඳුරා පියාණන්ගේ ශක්තිය අභිභවා ශක්තිය විහිදුවා පියාණන් මැඬලී ය.

එයින් ඔහු පරාජයට පත් විය. එකල්හි මොහු දැන් මෙසේ නම් තවත් වැඩිවියට පත් වුවහොත් කිසිදු ලෙසකින්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ ය. එබැවින් වහා මරා දැමීමට පිළියම් යෙදිය යුත්තේ යැයි සිතා ‘පුත මා දැන් ඉතා මහලු ය. එබැවින් මේ වඳුරු සමූහයා බාරගෙන පාලනය කරන්න‘ යැයි පවසා රාජාභිෂේකයට අවශ්‍ය මල් අසවල් විලෙහි ඇත. එයින් ගෙන එවයි පවසා යැවී ය.

එම විලෙහි සිටින්නේ මාංශ අනුභව කරන මහත් රාක්ෂසයෙකි, ඔහු මොහු අවසන් කර දමන්නේ යැයි සිතමින් සතුටට පත්වෙමින් පුතු ඒ වෙත යැවී ය. තරුණ වඳුරා එහි ගොස් විල පරීක්ෂා කර බැලී ය. විලට ගිය පා සලකුණු මිස නැවතත් ගොඩට පැමිණි පා සටහන් දර්ශනය නොවී ය. එබැවින් නිසැකව ම විලෙහි මාංශ අනුභව කරන යමකු වෙතැයි ප්‍රඥාවෙන් සිතා තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට විලෙහි මෙහා ඉවුරෙන් එහා ඉවුරට පනින ගමන් එක් මලක් කඩා ගනියි. එය එහි තබා තැවතත් මෙහා ඉවුරට පනිමින් තවත් මලක් කඩා ගනියි.

මෙලෙස අවැසි එම විලෙහි පමණක් පිපෙන ඇඹුල වනමල් දෙකකුත්, උපුල් වනමල් තුනකුත්, නෙළුම් වනමල් පහකුත් කඩා ගත්තේ ය. මෙය දුටු විලට අධිපති රාක්ෂයා විලෙන් ගොඩට පැමිණ මෙතරම් ප්‍රඥාවෙන් යුක්ත අයෙකු මීට පෙර කිසිදිනක තමා නොදුටු බව පවසමින් මල් අවැසි කාරණය අසා දැනගෙන ඒවා රැගෙන යාම තමාට බාරදෙන ලෙස ඉල්ලමින් තරුණ වඳුරා සමග පියාණන් හමුවට පැමිණෙයි.

දුරදීම තරුණ වඳුරු පුතු සහ විලෙහි රාක්ෂයා දැක සිතන්නේ ඉදින් මාංශ අනුභව කරන රාක්ෂසයාත් මොහු තම සේවකයෙකු බවට පත් කර ගත්තේ ය. දැන් තවත් ජීවත්වීමෙන් ප්‍රයෝජනයක් නොමැත්තේ යැයි සත්කඩකට ළය පලාගෙන හෙතෙම එතැන්හි ම ජීවිතක්ෂයට පැමිණියේ ය.

බුදුන් වහන්සේ මෙම දේශනාව ගෙනහැර දක්වමින් ධර්මය ශ්‍රවණය කළ භික්ෂූන් අමතා මහණෙනි, එකල වඳුරු පියා වූයේ දෙව්දත් ය, වඳුරු පැටියා වූයේ තිලෝගුරු වූ තමන් වහන්සේ ම ය, වඳුරු මව වූයේ මහාමායා දේවීන් ය.

වඳුරු සමූහයා වූයේ මෙකල භික්ෂු පිරිවරය යැයි දේශනා කරමින් ජාතක කථාව අවසන් කළහ. මෙම ජාතක කථාවෙන් පැහැදිලිව ම පෙන්වා දෙන්නේ නායකත්වය දරන පුද්ගලයා සතුව ප්‍රඥාවෙන් යුක්ත වීර්යය, නිර්භීතකම සහ උපායශීලිත්වය පැවැතිය යුතු බවයි. තව ද ඒවා යෙදවිය යුත්තේ යහපත් අරමුණු වෙනුවෙන් බව ද අවබෝධ කරවයි.