Print this Article


කලණ මිතුදම් රැකීම බෝසත් ගුණයකි

කලණ මිතුදම් රැකීම බෝසත් ගුණයකි

සසර ගමන දීර්ඝ ය. අත්වැරදීම් බහුල ය. බිහිසුණු දුක්වලින් අතරක් නොමැත. එහෙත් ඒ බව දන්නෝ අල්ප වෙති. නැවත නැවත ඉපදීම, නැවත නැවත මියයෑම නම් වූ සංසාර චක්‍රයට හසු වූ සත්වයකු මිනිසත් බවක් ලබන්නේ ඉතා විරල වශයෙනි. එසේ මිනිස් ජීවිත ලැබූවවුන් අතරින් තමා ලද වාසනා මහිමයේ වටිනාකම හඳුනන්නේ ද ස්වල්ප දෙනෙකි. බෞද්ධයන් නමින් හඳුන්වනු ලබන්නේ ඒ අල්ප පිරිස යි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ බෞද්ධ ජනතාවගේ අනුත්තර නායකයන් වහන්සේ ය. තම අනුගාමික ප්‍රජාවට චතුරාර්ය සත්‍යය නම් වූ සනාතන ධර්මය පෙන්වා දීම ඒ බුදුරජාණන් වහන්සේගේ එකම අරමුණ විය. ඒ උදෙසා අනාදිමත් සසරක පටන් ආර්ය පර්යේෂණයක යෙදුණු සිද්ධාර්ථ ගෞතම ධර්මරාජයන් වහන්සේ සියල්ල අවබෝධ කරමින්, සියල්ල අබිභවනය කරමින් පළමුව සසර දුකින් අතමිදුණ සේක. දෙවනුව අසරණ දෙවි මිනිසුන් වෙත එම ශාන්ති මාවත විවර කළහ. එබැවින් ඒ භාග්‍යවතුන් වහන්සේම ලොව පහළ වූ පළමු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන සේක.

සමස්ත සත්ත්ව ප්‍රජාවටම පරම කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ කලණ මිතුදම් රැකීම බෝසත් ගුණයක් බව පෙන්වා වදාළහ. මිතුරන් විවිධාකාර ය. ඇතැම්හු තමනුත් පව්කම්හි ගැලී තම හිතවතුන් ද පාපයට ඇද දමති. ඔවුන් හඳුන්වන්නේ පාප මිත්‍රයන් ලෙසිනි. තමාද යහපතෙහි යෙදෙමින් තම මිතුරන්ට ද යහමඟ පෙන්වන පුද්ගලයා කළ්‍යාණ මිත්‍රයෙකි. මිතුදමින් ලොව සුවපත් කරන්නේ ද ඔහුම ය.

යහපත් මිතුරකු නොමැති ජීවිතය රුවල් බිඳීගිය නෞකාවක් සේ නොමඟ ගොස් විනාශයට පත් වේ. කළ්‍යාණ මිත්‍රයකු හඳුනා ගැනීමේ ලක්ෂණ ගණනාවක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. දීමට දුෂ්කර ධනය ආදිය ලබාදීම, ඉතා දුෂ්කර උපකාර කිරීම, නපුරු වචන ඉවසනසුලු බව, මිතුරා හට තම රහස් කීම, මිතුරාගේ රහස් ආරක්ෂා කිරීම,විපතේ දී අත් නොහැරීම, අතමිට හිඟ වූ අවස්ථාවන්හි දී අවමන් නො කිරීම, පි‍්‍රයමනාප වීම, තමාට ගුරුවරයකු සේ ඇසුරු කළ හැකි වීම, බුහුමනට සුදුසු වීම, විශ්වාස කළ හැකි වචන ඇති බව, යහපත් කතාවෙහි දක්ෂ වීම, අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත ගම්භීර කථා ඇති බව, නොමග නො යොදවා තථාගත ධර්ම මාර්ගයේ යොමු කරවන බව යනාදිය ඒ අතරින් කිහිපයකි.

එබඳු ගතිගුණ ඇති මිත්‍රයා ගිහියකු හෝ පැවිද්දකු වුව ද, තමාට වඩා වැඩිහිටි හෝ බාල වුව ද, පොහොසත් හෝ දුප්පත් වුව ද, කුලහීන හෝ කුලීන වුව ද ඔහු සමඟ හදවතින් ම බැඳී කටයුතු කළ යුතු ය. එවැනි මිතුරකු නිසා කිසිවකුට හානියක් නොවන අතර, එවැනි උතුම් මිත්‍රයකුට යමෙක් මිත්‍රද්‍රෝහී වේ නම්, ඔහුට බලවත් දුක් විපත් පැමිණෙන බව ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.

අත්පා බිඳීම් ආදියෙන් වන බලවත් ශාරීරික වේදනා ඇතිවීම, මහත් ධන හානීන් සිදුවීම, කාශ, ශ්වාස, අතීසාර, කුෂ්ඨ, ගණ්ඩාදී බලවත් රෝග හට ගැනීම, ඇස් අන්ධ වීම, අත්පා කොර වීම, නපුරු අමනුෂ්‍ය බලපෑම් ඇතිවීම, තනතුරු අහිමි වීම, අභූත චෝදනාවන්ට හසු වී බන්ධනාගාර ගතවීමට සිදුවීම, තම ඤාති මිතුරන් අහිමි වීම, භව භෝග විනාශ වීම ආදිය ඉන් කිහිපයකි.

මිත්‍රද්‍රෝහී වීමේ ආදීනව හඳුනා කිසිම මොහොතක තම කළ්‍යාණ මිත්‍රයාට පිටු නොපාන සත්පුරුෂයාට උපනූපන් ජාතීන්හි පවා ලැබෙන පුණ්‍ය විපාක ද ගණනාවක් වේ. තම නිවසින් නික්ම බැහැර ගිය පසු බොහෝ ආහාර පාන හා පහසුකම් ලැබීම, අවංක වූ පි‍්‍රයමනාප යහලු මිතුරන් මුණ ගැසීම, යන යන තැන පූජා සත්කාර පිළිගැනීම් ලැබීම, කිසිවෙකු විසින් හෝ බලහත්කාරකම් නො කිරීම, රාජ්‍ය පාලකයන්ගෙන් කරදරයක් නොවීම, සතුරන් ජය ගැනීමට හැකිවීම, සමිති සමාගමකට ගිය පසු ඉහළින් පිළිගැනීම, ඤාති මිතුරන් අතර ගෞරවයෙන් පිළිගන්නා අයකු වීම, මිත්‍රද්‍රෝහී නොවන්නාට මෙලොව දී ම ලැබෙන ආනිශංසයෝ ය.

තව ද උසස් කොට වර්ණනා කරන ලද ගුණ ඇත්තේ වී ලොව කීර්තියෙන් යුක්ත වීම, වෙනස් නො වන ජනපි‍්‍රය භාවයෙන් හා පරිවාර සම්පත්තියෙන් යුතු වීම, දෙවියකු දෙවඟනක මෙන් බබලන රූප සම්පත්තියක් ඇතිවීම, ශ්‍රීමත් භාවය නොඅඩුව ලැබීම, භවභෝග සම්පත් සුලභ වීම, ගොවිතැන් බත් කිරීමේ දී උසස් අස්වැන්නක් ලැබීම, ගව පාලනාදියේ දී බොහෝ කිරිදෙනුන් ලැබීම් ආදිය ද මිත්‍රද්‍රෝහී නො වන්නාට ලැබෙන පුණ්‍ය විපාකයෝ ය.

පර්වතයකින්, පර්වත විවරයකින් හෝ ගසකින් ගලකින් ඇද වැටීමේ දී පවා පිහිටක් ලැබෙන්නේ මිත්‍රද්‍රෝහී නොවූ පුද්ගලයාට ය. දරු සම්පත් ලැබීම, ආවාහ විවාහ කටයුතු වේලාවට සිදුවීම හා සාර්ථක යුග ජීවිත හිමිවීම, කීකරු දරුවන් ලැබීම, පතිවත රක්නා භාර්යාවරුන් ලැබීම, සීලවන්ත ස්වාමිවරුන් ලැබීම, යහපත් ගුරුවරුන් මුණගැසීම, උසස් තනතුරු හිමිවීම, මිහිරි කටහඬක් ලැබීම ආදී තවත් බොහෝ ආනිශංසයන් කලණ මිතුදම් රකින්නාට භවාන්තරයෙහි පවා හිමි වේ.

පුද්ගල ජීවිතයක සාර්ථකත්වයට හෝ අසාර්ථක භාවය පිණිස බලපාන ආශ්‍රය හෙවත් පුද්ගලයන් ඇසුරු කිරීම තරම් ප්‍රබල අන් කාරණාවක් නොමැත. මුළු බුද්ධ ශාසනය ම කළ්‍යාණ මිත්‍රයා හා ප්‍රතිබද්ධ ව පවතින බව බදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ඒ නිසා ය. බුදු සසුනෙන් පරිබාහිර ව කළ්‍යාණ මිත්‍රයන් නොමැති බව ද මෙහිදී අවධාරණයෙන් කිව යුතු ය. පුද්ගලයකු විසින් සිදුකරනු ලබන යහපත් වූ ද, අයහපත් වූ ද සෑම දෙයක් ම අනුමත කිරීම කළ්‍යාණ මිත්‍ර ලක්ෂණයක් නොවේ.

යමකු විසින් අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ යාම යහපත් මිතුරකු වීමේ පළමු පියවර යි.

තෙරුවන් වහන්සේලා පිළිබඳ අසීමිත ගෞරවාදරයක් ඇතිව තමා පළමුකොට ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටා තමාගේ ඤාති හිත මිතුරන් ද ශ්‍රද්ධාවෙහි පිහිටුවීම, තමා සිල් ඇත්තෙක් වී අන්‍යයන් ද සීල සම්පදාවෙහි පිහිටුවීම, තමා දන් දීමෙහි යෙදෙමින් අන්‍යයන් ද දානයෙහි යොදවාලීම, තමා විසින් වඩාත් පළමුව භික්ෂු සංඝයා ගෞරවයෙන් ඇසුරු කරමින් අන්‍යයන්ට ද සංඝයාගේ ඇසුර ලබාදීමට කටයුතු කිරීම, තමා ද බුදුබණ අසමින් අන්‍යයන් ද බුදුබණ ඇසීමෙහි යොමුකරවීම, තමා ඇසූ ධර්මයට අනුව පිළිපදිමින් අන්‍යයන් ද දහම් දැරීමෙහි යොදවාලීම, තමා ද ධර්මාර්ථ පරීක්ෂා කරමින්, අන්‍යයන් ද ධර්මාර්ථ විමසීමෙහි යෙදවීම හා තමා ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි ස්ථිරව පිහිටා අන්‍යයන් ද පිහිටුවීම යන ගුණ ධර්ම සමුදාය යමකුගේ වේ නම්, ඔහු තථාගතයන් වහන්සේගේ සිරිපා අනුව යන කළ්‍යාණ මිත්‍රත්වයේ පරිපූර්ණ භාවය උදෙසා කටයුතු කරන්නෙකි.

කළගුණ සැලකීම මඟින් ද කළ්‍යාණ මිත්‍රත්වය වඩාත් ඔපවත් වේ. තමාට කරන ලද කුඩා වූත් උපකාරයක් වේ නම්, එය සිහිකරන සුළු මිත්‍රයා තරාතිරම නො බලා අගය කළ යුතු ය. යමෙක් තමා වැදූ මව, පෝෂණය කළ පියා, අත දුන් ගුරුවරුන් අමතක කොට හදිසියේ මුණගැසෙන පුද්ගලයන් ජීවිතයේ වැදගත් අය ලෙස සලකයි නම් ඔහු කලණමිතුදමින් ඉවත් වූවෙකි. එහෙත් ජීවිතයේ හදිසියේ මුණගැසෙන කෙනෙකු හේතුවෙන් ඉහත කී කළ්‍යාණ ධර්ම සමූහයම තමා වෙත පහළ වීමට හේතු වේ නම්, ඔහු උසස් ගණයේ මිත්‍රයකු ලෙස සැලකිය යුතු ය.

මෙහිදී කළ්‍යාණ මිත්‍රත්වය පලුදු වීමට බලපාන කරුණු ගැන ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත. ලාභ සත්කාර කැමති වීම, කීර්ති නාමය බලාපොරොත්තු වීම, කැපී පෙනීමේ වුවමනාව, පවට ලජ්ජා බිය නොමැතිවීම, ලමු අදහස් ඇති බව සහ මිසදිටු ගැනීම ඒ අතර ප්‍රධාන වේ. ප්‍රසිද්ධිය කැමති වීම හා ඊර්ෂ්‍යා මසුරුකම යන පාප ධර්මයන් නිසා ද මිතුදම් බිඳී යයි.

මනසේ ඇති පවිටු සිතිවිලි වැඩිවන තරමට මිතුදම් ආරක්ෂා කිරීම අසීරු වේ. දෙපාර්ශවය විසින්ම ලාමක අදහස් ඉවත දමා පින් සිතිවිලි උපදවාගෙන කටයුතු කරයි නම්, ඔවුන්ගේ මිතුදම් කල්ප ගණන් වුව ද ආරක්ෂා වනු ඇත.

යශෝධරා හා මහා බෝසතාණන් වහන්සේ ද, භද්දාකාපිලානි හා කාශ්‍යප කුමරු ද, නකුල මාතා හා නකුල පියා වැනි අය ද, උපතිස්ස හා කෝලිත වැනි උතුමන් ද, ඛේමා හා උප්පලවන්නා වැනි උත්තමාවියන් ද කලණමිතු දමින් බැඳී ජීවිතයෙන් ජීවිතයට පාරමී පුරා සසර ජයගෙන නිවී සැනසුන ආකාරය සිහිපත් කරමින් ඔබ ද කළ්‍යාණ මිත්‍රයෙක් වන්න. කුමන හෝ පරිත්‍යාගයක් සිදුකොට කලණමිතුදම් රැකීමේ බෝසත් ගුණය හදවතෙහි පිහිටුවා ගන්න.