Print this Article


බුද්ධියෙන් දියුණු යුගයක බුද්ධියට නිඟා කරනවා ද?

බුද්ධියෙන් දියුණු යුගයක බුද්ධියට නිඟා කරනවා ද?

ගෞතම බුද්ධසාසනය පවතින, ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය පවතින මෙවන් කාලයක වුව ද බොහෝ දෙනකු ප්‍රාර්ථනා කරන්නේ මෛත්‍රී බුදුරදුන් දැක නිවන් දැකීමටයි. බෞද්ධයන් ලෙස එවැනි ප්‍රාර්ථනාවක් කිරීම සුදුසු ද? නුසුදුසුද? මේ ඒ පිළිබඳව ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

අවසරයි අපේ හාමුදුරුවනේ, ගෞතම බුදු දහමේ මෙරට විකාශය ගැන සඳහනකින්ම අපි මේ සඳහා ප්‍රවේශයක් උදාකර ගනිමු

අප සියලු දෙනාම ඉන්නේ සිද්ධාර්ථ

බෝ සතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙ, ගෞතම බුදු පියාණන් වහන්සේ හැටියට අවුරුදු හතළිස් පහක පමණ කාලයක් ධර්මය දේශනා කර අවුරුදු අසූවේදී පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශාසනයේ. ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු තුන්සිය විස්සක පමණ කාලයක් යද්දි මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මාශෝක අධිරාජයා පැවැත් වූ තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස ලක්දිවට වැඩම කළා. අප දන්නවා ඉන්පසු බුදු දහම රාජ්‍ය ආගමක් බවට පත් වූ බව.

ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ වගේම, දන්ත ධාතූන් වහන්සේ මෙහි වැඩම කර තැන්පත් කර තිබෙන බව අප කවුරුත් දන්නවා. ඒ වගේම බෝධි වංශයට අනුව ඓතිහාසික වටිනාකමක් ඇති, වසර දෙදහසකට වඩා ඉතිහාසයක් ඇති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මේ රටේ වඩා හිඳුවා තිබෙනවා.

මේ රට ගෞතම බුද්ධ ශාසනය හොඳීන් පැළපදියම් වෙලා ස්ථාවර වෙච්ච රටක්. නමුත් විදේශීය ආක්‍රමණිකයන්ගේ බලපෑමත් එක්ක බුදු දහමට යම් බලපෑමක් සිදු වුණා. එහිදි බරපතළ තත්වයකට සංඝ ශාසනය පිරිහුණා.

ඒත් 1697 ඉපදී 1714 දී පැවිදි දිවියට එළැඹි අසරණ සරණ සංඝරාජ සාමණේරයන් වහන්සේ සිල්වත් සමාගම පිහිටුවාගෙන නව උද්දීපනයක් ඇති කළා, මේ බුද්ධ සාසනය ආරක්ෂා කරගන්න.

ඔය කාලයේ දී නේද හාමුදුරුවනේ ගණින්නාන්සේලා පිළිබඳ කතාවක් මතුව එන්නේ.

පැහැදිලිව ම. එය අවමන් ස්වරූපයෙන් ගොඩ නැඟුන වදනක්. මේ අඳුරු සමයේ වෙහෙර විහාරස්ථාන පැවතුණා. නමුත් භික්ෂූන් වහන්සේලා ගේ අඩුවක් පැවතුණා. මේ කාලයේ දී ගිහි ඇත්තන්ට සිදු වුණා ඒ වෙහෙර විහාරස්ථාන, පන්සල්වල ආගමික කටයුතු සිද්ද කරන්න. ඔවුන් අඹු දරුවන් රකිමින්, පන්සල් රකිමින් මේ කටයුතු සිදු කළේ. එකල සිදු වූ එකම ආගමික කටයුත්ත වුණේ බුද්ධ පූජාව පැවැත්වීමයි. ඒත් මේ කියන ගණින්නාන්සේලා නිසා ධර්ම ග්‍රන්ථ , ත්‍රිපිටක ග්‍රන්ථ , ආරක්ෂා වුණා.

ඔය කාලයේ දී යි සංඝරාජ සාමණේර වහන්සේගේ සිල්වත් සමාගම පිබිදුනේ. ඒ වගේම දකුණේ හිටපු සිල්වත් ස්වාමින් වහන්සේලාට මේ පිළිබඳ දැනගන්න ලැබුණා. අද වාගේ සන්නිවේදන පහසුකම් නොතිබුණ යුගයේ වෙළෙදාමේ යන ගැල් කරුවන් මාර්ගයෙන් සන්නිවේදනය සිදු වුණේ. මේ සිල්වත් සමාගමේ පිබිදීම වටා රටේ පිරිස් එකතුවීම එකල පාලකයින් වූ ද්‍රවිඩ නායක්කාර රජවරු ප්‍රසාදයට පත් වුවත් ගණින්නාන්සේලා රජවරුන්ට ගතු පවසා මේ සංඝරාජ සාමණේර ඇතුළු පිරිස සිරබාරයට ගෙන පිටුවහල් කළා.

ගණින්නාන්සේලා කළේ බුද්ධ පූජාව තැබීම පමණයි. එහිදි ගිහියන් පිනට නැඹුරු කරවීමේ අදහසින් ස්තෝත්‍ර ස්වරූපයෙන් එක වැකියක් පාඩම් කරගෙන කියා සිටියා. නමුත් අද අපේ සමහර මහා සංඝ රත්නය මේ පුරුද්ද කරපින්නාගෙන යනවා දැයි මට හිතෙනවා.

ඔබ වහන්සේ එලෙස පවසන්නේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කළ හැකිද?

අද අප දානය සාංඝික කළාට පසුව කුමක් ද කරන්නේ. ‘ දිව්‍ය සැප සම්පත් වළඳමින් ආදී වශයෙන් මේ දිව්‍ය ලෝක සැප සම්පත් පිළිබඳ දිගින් දිගටම වර්ණනා කරනවා. ඇත්තෙන්ම භෞතික සැප සම්පත් පිළිබඳ වර්ණනා කරනවා. මේක හරිම අශාස්ත්‍රියයි. එයින් කුමක් ද කරනුයේ. තව තව තෘෂ්ණාව ඇති කරනවා. ආසාව ඇති කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ තෘෂ්ණාවෙන්, ආසාවෙන් ප්‍රහීණ වෙලා නිවන් මඟට යන මාර්ගයට යොමු වෙන්න කියා. අප ගෞතම බුද්ධ සාසනයේ ජීවත් වෙන උදවියට උන්වහන්සේ දේශනා කළේ අරි අටඟි මඟ , චතුරාර්‍ය සත්‍ය , පටිච්ච සමුප්පාදය ආදී ධර්මයන් වගේම අසූහාර දහසක් ධර්මස් කන්ධය වගේම ත්‍රිපිටක බුද්ධ ග්‍රන්ථ පණස් දෙකක් පමණ එක්කොට බුදු පියාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් පුරා දේශනා කළ සූත්‍ර ආදී දේශනා අපේ ත්‍රිපිටකයේ අඩංගු යි.

දැන් මේ ධර්ම කරුණු වලින් පැහැදිලි කරන්නෙ කුමක් ද ? අප කුමක් ද කළ යුත්තේ කියා පැහැදිලි ඇති.

අපේ හාමුදුරුවනේ, ගෞතම බුද්ධ සාසනයේ සිටිමින් අද බොහෝ දෙනෙක් මෛත්‍රී බුද්ධ සාසනයේ දී නිවන් අවබෝධ කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ.

ඉතාම හොඳ ප්‍රශ්නයක්. මෙතරම් ධර්ම කරුණු පැහැදිල ිව පැවතියත් අද බොහෝ දෙනෙක් මෛත්‍රී බුද්ධ සාසනයක් ගැන කතා කරනවා. මේක හරියට ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා වගේ. ගෞතම බුද්ධ සාසනයේ සිටිමින් ඒ සාසනයේ ම පැවිදි වෙච්ච උදවියත්, ගිහි උදවියත් මේ බුදු සසුනේ ඇති දහම් කරුණු දැන කියාගෙන අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුද්ධ සාසනයක් ගැන කතා කරනවා. අමතක කරන්න එපා බුදු කෙනෙක් පහළ වෙන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව. අවුරුදු ගණන බැලුවොත් එකයි බිංදු එකසිය හතළිහක්. එපමණ කාලෙකට පසුව තමයි යළි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය තිබියදී මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වන තුරු අපි ඉන්න ඕනද ධර්මය අවබෝධ කරගන්න.

ඒ කියන්නේ මේ ධර්මය සාංදෘෂ්ටික නැද්ද? සන්දිට්ඨික, අකාලික ඒහී පස්සික ගුණ ධර්මය තුළ නැද්ද ? අපි මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ සාසනයෙන් නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ ඇයි.? සැබවින්ම බුදු පියාණන් වහන්සේගේ කාර්‍ය භාරය සත්වයාට සසරින් එතෙර වන්නට මඟ පෙන්වීම පමණයි. ඒ මඟ අප යා යුතුයි.

අද කෙතරම් සන්නිවේද මාර්ග තිබෙනවා ද? සමහර නාලිකා පැය විසිහතර ම බණ කියනවා. ඒ තුළ ඇතැම්විට නිර්මල දහම නොවුණත් විද්‍යුත් වේවා මුද්‍රිත වේවා යහපත් දේ මිනිසාට ප්‍රකාශ කරනවා. ඉතාම හොඳීන් ධර්ම දේශනා කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. එහෙම තිබියදි මෛත්‍රී බුද්ධ සාසනය එනකල් බලන් ඉන්න යෝජනා කරන එක මම හිතන්නේ මානව වර්ගයා බුද්ධියෙන් දියුණු මෙවන් යුගයක බුද්ධියට කරන නිගාවක් හැටියටයි.

එය නිවැරැදි කළ යුත්තේ කෙසේද අපේ හාමුදුරුවනේ ..

ඇත්තටම මේ අලුත් කතන්දරයක් නෙමෙයි. 1969 අවුරුද්දේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය විවෘත කරන වෙලාවේ එවක සිටි අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විලියම් ආර් ඊරියගොල්ල මැතිතුමා ප්‍රසිද්ධියේම මහානායක හාමුදුරුවන් ඉදිරියේ ප්‍රකාශ කළා “මට නම් නිවන් යන්න මෛත්‍රී බුද්ධ සාසනය එනකල් බලන් ඉන්න බැහැ කියලා “.එවැනි අදහස් ප්‍රබුද්ධ පිරිස් තුළ කාලාන්තරයක් තිස්සේ තිබුණා. මගේ යෝජනාව මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වෙනකල් නොව අප තුළ තියෙන ලෝභ, ද්වේශ, මෝහ කියන දේ යටපත් කරගෙන පූර්ණ විමුක්තිය උදාකරගන්න කියන එක. පහනක් නිවි ගියා සේ අපි නිවන ලබාගන්න ඕන.

ජාති ජරා ව්‍යාධි සිද්ධ වෙන්නේ යළි යළිත් උපත සිදුවෙන නිසයි. ඒ නිසා මේ උපත නැති කරගත යුතුයි. මෛත්‍රී බුද්ධ සාසනය ගැන වැඩියෙන් වර්ණනා කරනකොට තෘෂ්ණාව ක්ෂය වෙනවාට වඩා තෘෂ්ණාව වැඩි දියුණු වෙනවා. ලෝභ කමක් උපදිනවා. දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත්, මනුස්ස ලෝකවල මනුෂ්‍ය සම්පත් ගැන ප්‍රාර්ථනා කිරීම ගැටලු සහගතයි. දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප සම්පත් දකින්න කීම ශාස්ත්‍රිය නැහැ.

අප පෙළඹිය යුත්තේ මේ ආත්මයේ දී විමුක්තිය ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එය කල් දාන එක අපට යුතු නැහැ. මේ ආත්ම භවයේ දී නිවිම ඇති කරගැනීමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. අප එය අනියමින් කල් දාන්න යෝජනා කිරීම එතරම් ශාස්ත්‍රිය නැහැ. ධර්ම දේශකයාණන් වහන්සේලාගේ අවධානය යොමු වෙන්නට අවශ්‍යයි මේ පිළිබඳ ව.

දැන් බලන්න කඨින පින්කම්වල දී දේශකයාණන් වහන්සේලා දේශනා කරනවා ඉදිකටු මලක් ,මලක් පාසා සක්විති සැපත ලබා ගැනීමට හේතුවන පින්කමක් හැටියට.

බලන්න සක්විති රජ වුණත් නිවන් දකින්න මනුස්ස ලෝකෙට එන්න වෙනවනේ. කඨින පින්කමක් කියන්නේ මහත් ආනිසංස පින්කමක් බව කිවයුතුයි. ඒත් එය අතිශයෝක්තියෙන් පැහැදිලි කරනවා නම් එය වැරදියි. ගිහියන් අර්ථයෙන්, ධර්මයෙන් අවබෝධ කරලා ධර්මයේ නිවැරදි ව පිහිටුවන එකයි අප කළ යුත්තේ.