Print this Article


දුන් දෙයට නිග්‍රහ කිරීමෙන් ලැබූ විපාක

දුන් දෙයට නිග්‍රහ කිරීමෙන් ලැබූ විපාක

ත්‍රිපිටකය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී බොහෝ සෙයින් අපට හමුවන්නේ පුද්ගලයාට සැප විපාක ලබාදෙන කරුණු කාරණා ය. “නිවන” දක්වා ම මෙකී වටිනා දහම් කාරණා අතිශය වැදගත් වන අතර සිදු කරන කර්ම විපාක අනුව ඒවා වින්දනය කිරීමේ අවස්ථාව ද ඔවුන්ට හිමි වනු ඇත.

පේත වත්ථු හා විමාන වත්ථු පාලිය දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ පුද්ගලයා කරන ලද ක්‍රියාවන්ට අනුකූල ව හොඳ නරක ප්‍රතිඵල වින්දනය කරන අයුරු ය. ඒ සඳහා ගිහි පැවිදි වශයෙන් ද භේද නොමැත.

දැඩි තෘෂ්ණාව අප නැවත, නැවත සසර බැඳ තබන රැහැනක්. එයින් බොහෝ දුක් විපාකයන්ට මුහුණ දීමට සිදුවන බව පේත වත්ථු පාලියේ උරග වග්ගයට අයත් “මහාපේසකාර” කතා පුවත මඟින් අපගේ දිවි මඟට කියා දෙන්නේ ද ඉතා වැදගත් වූ පාඩම් රාශියකි.

එක් දිනක් ස්වාමීන් වහන්සේ නමක් අසූචි, ලේ, මුත්‍රා හා සැරව අනුභව කරන අතිශය බිය උපදවන සුළු ප්‍රේතියක් දුටුව හ. මෙම ප්‍රේතිය දැකීමෙන් පසු උන්වහන්සේ එක්තරා දෙවියකුගෙන් විමසනු ලබන්නේ මෙලෙස ලේ මූත්‍ර ආදිය කමින්, ලෝබ වස්ත්‍ර වලට සමාන වස්ත්‍ර දරා සිටින මෙම ප්‍රේතිය කවරෙක් ද? යන්නයි. එයට එකී දෙවියා මෙසේ පිළිතුරු සපයයි.

ස්වාමීනි, මේ අන් කවරෙක් හෝ නොව පෙර මාගේ බිරිඳයි. ඇය ඉතා දැඩි සේ ලෝභ වූ අතර දන් දීම් ආදිය කිසි විටෙකත් සිදු නොකළා ය. දිනක් මා මහණ බමුණන්ට බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව දන් පූජා කරන්නට විය. මේ නිසා දැඩි ලෙස කෝප වූ මැය බොහෝ සෙයින් මා හට ආක්‍රෝශ පරිභව කරමින් දුන් දෙයට නිගරු කරන්නට වූවා ය.

ඒ කෙසේද? යත්, මේ දානය නිසා තොපට පරලොව දී අසූචි ද, මුත්‍රා ද, රුධිරය හා සැරව ද අනුභව කරන්නට වේවා. එසේම මෙම වස්ත්‍ර තොපට ලෝභ වස්ත්‍ර වේවා. මේ අයුරින් මාගේ බිරිඳ වූ මැය දන් දුන් නිසා නිතර නිතර මා හට සාප කොට පරලොව ගොස් එහි විපාක දැඩි සේ විඳින්නී යැයි දෙවියා විසින් ස්වාමීන් වහන්සේගේ පැනයට පිළිතුරු වශයෙන් කරුණු කාරණා මනාව පෙන්වා දෙනු ලැබුවේ ය.

ලොව පවතින අපහසුම කරුණ වන්නේ තමන් සතු දෙයක් පරිත්‍යාග කොට සතුටුවීමයි. එකී පරිත්‍යාගය මෙන්ම සතුට සසර සැපයට අතිශය වැදගත් වන අතර, දුන් දෙයට නිග්‍රහ කරන්නේ නම්, එයින් ලැබෙන බලවත් විපාක මෙම “මහා පේසකාර” පේත වත්ථුව මඟින් ඉතා කදිමට පෙන්වා දෙනු ඇත.

දුර්ලභ මිනිසත් බව ලබා දැඩි තෘෂ්ණාවෙන් දිවි ගෙවන බොහෝ දෙනාට මෙය ඉතා ආදර්ශ සම්පන්න වූවකි. එය සසර දුක් විපාක විඳීම සඳහා හේතු වන අතර, සසර තව දුරටත් ඉපදීමට එය හේතු වන බව සම්බුද්ධ දේශනාවයි. පේත වත්ථු පාලිය පුරාම අපහට පෙන්වා දෙන අපූරු පාඩම ද එයයි. මේ නිසා ලබා ගත් මෙම දුර්ලභ මිනිසත් භාවය තුළ දැඩි ආශාව මුල් කර ගනිමින් වස්තුව ගොඩ ගසා නොගෙන, හැකි හැම විටම පින් දහම් කොට, ධර්මය අවබෝධ කර ගැනීම සසර සැප ලැබීම සඳහා හේතු වන බව මතකයෙහි තබා ගත යුතු ය.