Print this Article


අලුතින් හිතන්න ජීවිතය දිනන්න

අලුතින් හිතන්න ජීවිතය දිනන්න

කණස්සල්ලෙහි එක් අවස්ථාවක් නම් පරාජයට බියවීමයි. පරාජයට අකමැති බවයි. එහෙත් ජීවිතයේ පරාජයන් කියා කිසි දෙයක් නොමැති බව ඔබ තේරුම් ගත් විට ඔබේ ජීවිතය අලුතින් ආරම්භ වේවි. යම් පරාජයන් යනු ඔබව ප්‍රගතිය කරා ගෙන යෑම් බව ම ඔබට වැටහෙනුයේ අලුතින් සිතීම හෙවත් සිත වැඩීම පුහුණු කළ විට ය.

ජීවිතය දෙස අලුතින් සිතා විමසා කටයුතු කිරීමට නම් අත්‍යවශ්‍ය පළමු දෙය වනුයේ තම සිත ඒ සඳහා බහුලව පෙළඔවීම ය.

වසරක් ගෙවී නව වර්ෂයක් උදා වී ඇත. මෙම උදා වූ වසර තුළ අප අපගේ ජීවිතය වඩා සාර්ථක හා අර්ථවත් වසරක් කර ගැනීම සඳහා එළඹෙන සෑම තත්පරයක් තුළම කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. යන බුද්ධ දේශනාවට අනුව අප තරයේ සිත්හි ධාරණය කළ යුත්තේ සිතූ දේ සිතූ ලෙස සිදු නොවන බවත්, නොසිතූ දේම සැම විට සිදුවන බවත් ය. අපට අලුතින් සිතා ජීවිතයට මුහුණ දීමට නම් මෙම බුද්ධ දේශනාව යථාර්ථයක් වන සෑම අවස්ථාවක දී ම අපගේ මනස ශක්තිමත් ව පවත්වා ගනිමින් කටයුතු කළ යුතු ය.

සුභවාදීව සිතමු

මෙම වර්ෂය තුළ දී ඔබ, ඔබේ ජිවිතයේ සෑම අමිහිරි හෝ අසුභ දේ තුළම ඇති සුබවාදී පැතිකඩ දෙස විමර්ශනය කොට එම සුභවාදී දෙයින් නැවත ජිවීතය ආරම්භ කිරීම සිදු කළ යුතු ය. සිත තුළ ඇතිවන බය හා කනස්සල්ල තුළින් සිදු වන්නේ අනාගතය දෙස අසුබවාදී ව දැකීම ය. ඔබ සෑම දෙයකම නරක පැත්ත බලමින් , අඩු පාඩු පමණක් සොයන සෘණාත්මක හෙවත් අසුබදායක මනසින් අනාගතය පිළිබඳ සිතයි නම් හෝ තමාගේ ජිවිතයේ අයහපත ම පමණක් දකින, අනෙක් අයගේ අයහපත ම පමණක් දකින කෙනෙකු නම් එවැනි පුද්ගලයන් කිසිවිට සිත වැඩූ, දියුණු කළ පුද්ගලයෙක් නොවන බවයි, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය.

සෑම අවස්ථාවක ම ඔබේ සිත යහපත් දේ ම සොයන, යහපත් දෙයම දකින, යහපත් දෙයම හිතන තත්ත්වයට පත්කර ගැනීම විෂයෙහි පුරුදු පුහුණු කිරීම ආරම්භ කරන්න.

අතීතයේ පාඩම්

ඔබට සිදු වූ අතීත වැරදීම් ඉවත්කර දමන්න. ඒ වෙනුවට අනාගතයේ සිදු වෙන යහපත් දෙය ගැන බලාපොරොත්තු සහගත වන්න. අතීත වැරදීම් තුළින් ඔබ උගත් පණිවුඩය තේරුම් ගෙන එයට අනුව ජීවිතය නිවැරැදිව පවත්වා ගන්න උත්සාහවත් වන්න. සිතේ ඇතිවෙන කණස්සල්ල, කාංසාව, නොසන්සුන්බව යන අසුබවාදී චින්තනයට ප්‍රතිවිරුද්ධ දෙසට ඔබේ සිත දියුණු කරන්න. එවිට ඔබේ ජිවිතය, රැකියාව, විවාහය යන සියල්ල නිවැරදි දිසාවට ගමන් කරනු ඇත.

සමාජ අසම්මත ක්‍රියා කළ බොහෝ දෙනකු ධර්මය තුළින් හිත ශික්‍ෂණයට පත්කර ගනිමින් පරම සුවය හා සැනසීම ජීවිතයට ළඟා කර ගත්හ. කණස්සල්ලෙහි එක් අවස්ථාවක් නම් පරාජයට බිය වීමයි. පරාජයට අකමැති බවයි. එහෙත් ජීවිතයේ පරාජයන් කියා කිසි දෙයක් නොමැති බව ඔබ තේරුම් ගත් විට ඔබේ ජීවිතය අලුතින් ආරම්භ වේවි. යම් පරාජයන් යනු ඔබව ප්‍රගතිය කරා ගෙන යෑම් බව ම ඔබට වැටහෙනුයේ අලුතින් සිතීම හෙවත් සිත වැඩීම පුහුණු කළ විට ය. මිනිසා විසින් කළ සෑම නව සොයා ගැනීමක් ම සාර්ථකවූයේ එක් වරක් හෝ ඔවුන් අසමත්වීම හේතුවෙනි.

විවේචනවල නතර නොවන්න

'නත්‍ථි ලොකෙ අනින්දිතො'

ලෝකය තුළ නින්දා නොලැබූවෙකු නොමැති බව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි. විවේචනයට භාජනය නොවුණු කිසිවෙක් අතීතයේ හෝ වර්තමානයේ නොමැත. තුන් ලෝකයේ ම අසමසම උතුමන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ ද විවේචනයට භාජනය වූ අවස්ථා බුද්ධ චරිතය පුරාවට විද්‍යමාන ය.

ජේසුස් වහන්සේ, තෙරෙසා මව් තුමිය, මහත්මාගාන්ධි තුමා, අනගාරික ධර්මපාල තුමන් ආදී ලොව ශ්‍රේෂ්ඨ චරිත විවිධ අවස්ථාවන් හි දී විවේචනයට ලක් වූ බව ඉතිහාසගත තොරතුරු අධ්‍යයනයෙන් තහවුරු වේ.

තම ජීවිතය සාර්ථකවීමට නම් අන් අය අහේතුකව තමන් වෙත කරන විවිධාකාර චෝදනා කෙරෙහි ප්‍රතිචාර දැක්වීමට යාම නතර කළ යුතු ය. ඒ වෙනුවට තම නිවැරැදි භාවය තුළ ස්ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කොට තම චරිතායනයෙන් එම විවේචන වලට මුහුණ දිය යුතු ය. ඉවසීම තුළ රැඳෙමින් සෑම විටම කටයුතු කිරීම තවත් එක් සාර්ථක ක්‍රමයකි.

ධර්මයට අනුව ආධ්‍යාත්මික ගැඹුර වටහා ගැනීමක් ඔබ සතුව පවතින්නේ නම් එය ඔබට සාර්ථක වීමට ඇති සුවිශේෂි සාධකයකි. වඩා වැදගත් වන්නේ ඔබ, ඔබ සමග සාමකාමී ව ජීවත් වීම ය. ඔබ ඔබට ගරු කිරීම ඔබගේ අභ්‍යන්තරයෙන් ඉස්මතු වන්නක් මිස එය පිටතින් වෙනත් අය විසින් පාලනය කරනු ලබන්නක් නොවේ. එබැවින් විවේචනවලින් ඔබ ව අතරමං කිරීමට අවස්ථාව සලසා නොදීමට කටයුතු කිරීමට ඔබේ සිත පුහුණු කරන්න.

ජීවිතය යනු අනපේක්‍ෂිත සිද්ධිමාලාවකි

ගත වූ වර්ෂය මුලු ලෝකයටම අනපේක්‍ෂිත අවස්ථාවන් උදා කළ වර්ෂයකි. සොබා දහම මිනිසා විසින් සැලසුම් කළ බොහෝ දේ නිෂ්ප්‍රභ කරමින් මිනිසා හුදකලා කරන්නට විය. මුලු මහත් මනුෂ්‍ය ප්‍රජාව ම භීතියට පත් කරමින්, මිනිසාගේ පැවැත්මට හානි කරමින්, ජය ගත නොහැකි කිසිවක් නොමැත යනුවෙන් තාක්‍ෂණික උන්මාදයෙන් වියරු වැටී සිටි මිනිසාට විශ්වීය යථාර්ථය පෙන්වා දෙමින් දරුණු අනතුරු ඇඟවීමක් දැක්විය.

අනපේක්‍ෂිත මෙම අනතුර වසංගතයක් ලෙස සමාජ ගත විය. එක් රටකට පමණක් සීමා නොකොට සියලුම දේශ සීමාවන් ඉක්මවමින් සුළඟේ වේගයෙන් ලෝකය ම මරණ හා රෝග බියෙන් දවන්නට විය. විශ්මයට කාරණය නම් මිනිසා වෙත රෝගය පතුරවන වාහකයා මිනිසා ම වීම ය.

මෙයින් අපේක්‍ෂා භංගත්වයට පත්ව සිත කණස්සල්ලෙන් ගත කරන පුද්ගලයන් බොහෝ ය. මෙහිදී තේරුම් ගත යුතු සත්‍ය නම්, අප කෙතරම් සැලසුම් කළ ද, සැලසුම් නොකළ ද සෑම මොහොතක්ම අනපේක්‍ෂිත ව වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව ය. වඩා වැදගත් වනුයේ සෑම අනපේක්‍ෂිත අවස්ථාවක ම නොබියව සහ ධනාත්මක ව එම අවස්ථාවට මුහුණ දීමයි. කෙතරම් අනපේක්‍ෂිත අවස්ථාවන් වලට මුහුණ පෑමට සිදු වුව ද ඔබ ඔබේ ආනාගතයේ නිර්මාණකරු ය.

එබැවින් ඔබ සතු දෙය තුළින් ඔබ කරන දෙය අනුව ඔබේ අනාගතය තීරණය වේ. ඔබේ අනාගතයේ සක්‍රිය නිර්මාණකරුවා ඔබ බැවින් එම අනාගතය සාර්ථක කර ගැනීම විෂයෙහි වගකීම හා වගවීමත් ඔබ විසින් ම සිදු කළ යුතු ය.

නව වර්ෂයක ආරම්භය සිදු වූ මෙම කාලච්ඡේදයේ දී ඔබ, ඔබේ ජීවිතය දෙස අලුතින් සිතීමට ආරම්භ කරන්න. ඒ සඳහා ඔබ, ඔබේ සිත බොහෝ කොට භාවිත කරන්න. ඔබ, ඔබේ සිත වඩන්න. ඔබේ සිත මෙහෙය වන්න. සිත තුළ පවතින සියලු අතීත පසු තැවීම්, කෝප සහගත සිදුවීම්, වෛර සහගත සිතිවිලි අත හැර දමන්න. එළඹෙන සෑම තත්පරයක ම තම සිතට යහපත හෙවත් යථා ස්වභාවය අවබෝධ කරවීමට උත්සුක වන්න. එයින් මෙම නව වසර බාධක ජයගෙන සැනසුම ලබා දෙන සමෘද්ධිමත් නව වසරක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වනු ඇත.