Print this Article


අංගුත්තර නිකායෙන්: චිත්තපරියාදාන වර්ගය

අංගුත්තර නිකායෙන්:

චිත්තපරියාදාන වර්ගය

ඉත්ථිරූප පරියාදාන සූත්‍රය - 1

සැවැත්නුවර දී,

මහණෙනි, ලොව යම් මේ ස්ත්‍රියකගේ රූපයක් වේ ද, රූප දකිනු කැමැති පුරුෂයාගේ සිත්ගෙන සිටින එබඳු වූ අන් එකදු රූපයක් මම නුවණැසින් නොදකිමි. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ කුසල් සිත් මැඬගෙන හාත්පසින් අල්ලාගෙන සිටී.

ඉත්ථි සද්ද පරියාදාන සූත්‍රය - 2

මහණෙනි, ලොව යම් මේ ස්ත්‍රියකගේ කටහඬක් වේ ද, ශබ්ද අසනු කැමැති පුරුෂයාගේ සිත්ගෙන සිටින එබඳු වූ අන් එකද ශබ්දයක් මම නුවණැසින් නොදකිමි.

මහණෙනි, ස්ත්‍රී ශබ්දය පුරුෂයාගේ කුසල් සිත් මැඬගෙන, හාත්පසින් අල්ලාගෙන සිටී.

ඉත්ථි ගන්ධ පරියාදාන සූත්‍රය - 3

මහණෙනි, ලොව යම් මේ ස්ත්‍රියකගේ, ස්ත්‍රීගන්ධයක් (සුවඳ ආලේපන) යම් සේ වේ ද, පුරුෂයකුගේ සිත් ගෙන සිටිනා එබඳු වූ අන් එක ද ගන්ධයක් මම නුවණැසින් නොදකිමි. මහණෙනි, ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ කුසල් සිත් මැඩගෙන හාත්පසින් අල්ලාගෙන සිටී.