Print this Article


කොරෝනා වෛරසය කර්ම විපාකයක් ද?: නිවන් සම්පත් ලබන දොරටු පහ විවර කර ගන්න

කොරෝනා වෛරසය කර්ම විපාකයක් ද?:

නිවන් සම්පත් ලබන දොරටු පහ විවර කර ගන්න

මේ කාලයේ ලෝකයේ ම කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරී ගෙන යනවා. විශාල සංඛ්‍යාවක් මිය යනවා. ‘මාත් මෙහි උරුමක්කාරයෙක් විය හැකි යි’යනුවෙන් සිතාගෙන සංසාරයට බිය ඇතිකරගෙන ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කරන්න. එවිට ඇඬීම ,

වැළපීම එන්නේ ම නැහැ. බුදු දහමට අනුව සිත දියුණු කළොත් මේ කරදර පීඩා නැහැ. හොඳ සිතින් අවසන් ගමන යා හැකි යි.

කොරෝනා වෛරසය කර්ම විපාක කාලයක් . සමහර කාලවල දී ලෝකයට වසංගත ඇති වෙනවා. වෛරසයෙන් ලක්ෂ ගණනින් මිනිසුන් මිය යනවා. අද වුණත් ලෝකයේ අති විශාල පිරිසක් රෝගය වැළඳී බෙහෙත් හේත් නොමැතිව දුක් විඳීනවා. ඒ අතින් ලංකාවාසී ජනතාව වාසනාවන්ත යි. ඔවුන්ට තිබෙන ආරක්ෂාව , පරිසරය, සෞඛ්‍ය , බෙහෙත් හේත්, ප්‍රතිකර්ම , උපදෙස් මාලාව, රැකවරණය යහපත්.

ඇතැම් රටවල මේ කියන කිසිම දෙයක රැකවරණයක් නැහැ. ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා. අප වාසනාවන්තයෝ යනුවෙන් සිතාගෙන අවශ්‍යම දෙයට පමණක් නිවසින් පිටතට යා යුතුයි. එහි දී සෞඛ්‍ය නීති අනුව කටයුතු කරමින්, අවවාද උපදෙස් පිළිපදිමින් මේ කාලවකවානුව ගත කළ යුතු යි.

මේ රෝගය තමන්ට බෝ වුණොත් ඉන් නොනැවතී බොහෝ දෙනෙක් අතරට යන බව සිතන්න. ඒ නිසා වෙළෙඳ සැලකට ගියත්, තනිව ගොස් බඩු භාණ්ඩ රැගෙන එන්න. රැකියාවට යන පුද්ගලයාත් ආරක්ෂාකාරීව ගොස් හවසට පැමිණ ස්නානාය කර පිරිසුදුව තමන්ගේ දෛනික වැඩ කටයුතු කර ගන්න.

නිවසේ සිටින පිරිසත් නිකරුණේ කාලය ගත නොකර කෘෂිකර්මාන්තයට සිත යොමු කර, කුමන හෝ දෙයක් වගා කරමින් තමන්ගේ ජීවනෝපායට සහාය වන්න. ළමයින් කම්මැළි නොවී පොත පත කියවමින් අන්තර්ජාල ඔස්සේ ලබා දෙන අධ්‍යාපන ක්‍රම හොඳීන් ඉගෙන ගන්න.

බුදු දහමට අනුකූලව කටයුතු කරන සැවොම, ශීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතු යි. සිත සකසා ගැනීම පළමු කාරණය යි. ඇඬීම, වැළපීම, කෑකෝ ගැසීම , විළාප නැඟීම ආදිය සිදු වන්නේ සිත හදාගෙන නැති නිස යි. කවර වේදනා සහගත අරමුණක් ආවත් ඇඬීමෙන්, වැළපීමෙන් අත් මිදිය හැකි නම්, එය විශාල ජයග්‍රහණයක්. සිත විශාල තැනකට රැගෙන විත් තිබෙනවා. සිත ශක්තිමත් කළ යුතු යි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග යහපත් විසිතුරු අර්ථ ව්‍යංජන සහිත දහමක්. මෙහි කිසිදු අඩු පාඩුවක් කාටවත් කියන්නට බැහැ. ඉතාම පිරිසුදු මනරම් ධර්මයක්. දිව්‍ය ලෝකයේ තුන් මාසයක් පුරාවට නොනවත්වා ම දේශනා කළ ධර්මය පොත පතෙහි සඳහන් කරන්න ගියොත් අහස උසට ගොඩනංවා ගත හැකි යි.

බුදුන් වහන්සේ පංචවිමුක්තායතන යනුවෙන් නිවන් සම්පත් ලබන දොරටු පහක්ගැන දේශනා කර වදාළා. එනම්, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සජ්ඣායනා කිරීම, ධර්මය මෙනෙහි කිරීම, භාවනාව ආදිය යි.

ධර්ම දේශනය අති විශාල පිනක්. ශාසනයේ වැඩ සිටි මලියදේව මහ රහතන් වහන්සේ ධර්ම දේශනා කරමින් ම රහත් බවට පත් වූවා. දේශනාවෙහි සිත පිහිටුවාගෙන සිහි නුවණින් ධර්ම දේශනා කරන විට, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම පැහැදිලි කරන විට, තමන්ට රහත්වන්නට පුළුවන්. සියලුම දේශකයන් වහන්සේ ශ්‍රද්ධා,වීර්යය, සති, සමාධි , ඥාන ඉන්ද්‍රිය පහ දියුණු කරමින් ධර්ම දේශනාව පවත්වනවා. එය මනාව පවත්වන විට, තමන්ට අති විශාල පිනක් ලැබෙන අතර , එයම නිවන් සුවය සඳහා හේතු වනවා.

දෙවැන්න බණ ඇසීම යි. ධර්ම දේශනාව අසන්න වාඩි වී ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව දේශනාවේ සිත පිහිටුවාගෙන හොඳීන් බණ ඇසිය යුතු යි. එය නිවන් සම්පත් පිණිස හේතු වනවා. මේ ශාසනයේ බණ අසා එක දේශනාවකින් සූවිසි අසංඛ්‍යෙයක් නිවනට පත් වුණා. එවැනි දේශනා විසි හතරක් තිබෙනවා. එවිට දේශනා විසි හතරේ දී අසංඛය විසි හතරක් නිවනට පත් වුණා. එතරම් ම බලගතු යි බුදුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා කවුරුත් ධර්ම ශ්‍රවණය ගෞරවයෙන් කළ යුතු යි. ඒ දේශනා විසි හතර වන්නේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, නාලක සූත්‍ර දේශනාව, ගංගා රෝහණ දේශනාව, බුද්ධ වංශ දේශනාව, චර්යා පිටක දේශනාව, මහා මංගල සූත්‍ර දේශනාව, පරාභව සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාව, සම්මාපසාදනීය සූත්‍ර දේශනාව, චූල ව්‍යුහ සූත්‍ර දේශනාව, මහා ව්‍යුහ සූත්‍ර දේශනාව, තුවටක සූත්‍ර දේශනාව, පරාභව සූත්‍ර දේශනාව, කලහ විවාද සූත්‍ර දේශනාව, සැවැත්නුවර යමක ප්‍රාතිහාර්ය සූත්‍ර දේශනාව, තව්තිසා දෙව්ලොව අභිධර්ම දේශනාව, සංකස්සපුර දේවාරෝහණ සමාධි දේශනාව, පාරායන සූත්‍ර දේශනාව, චූල රාහුලෝවාද සූත්‍ර දේශනාව, ආලවක සූත්‍ර දේශනාව, සක්කපඤ්ඤ සූත්‍ර දේශනාව, සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව, බ්‍රහ්ම නිවර්තනීය සූත්‍ර දේශනාව, මාර තර්ජනීය සූත්‍ර දේශනාව යි. මේ දේශනා විසි හතරේ දී බණ ඇසීමෙන් සූවිසි අසංඛ්‍යෙයක් නිවනට පත් වුණා. ඒ නිසා කවුරුත් බණ අසන්නට පුරුදු විය යුතු යි.

තෙවැන්න බණ පොත් මඟින් ඉගෙන ගත් දේ සිතෙන් මෙනෙහි කළ යුතු යි. පන්සිල්, අටසිල්, දස සිල් ආදිය නුවණින් මෙනෙහි කරද්දී තම තමාට විශාල ශක්තියක් ලැබෙනවා. එයින් ද නිවනට පත් විය හැකි යි.

සිව්වැන්න ධර්ම සජ්ඣායනාව යි. පිරිත් පොතේ තිබෙන දේශනා හොඳීන් සජ්ඣායනා කරන්න. ධම්මපද පාලිය, සතිපට්ඨාන සූත්‍රය ආදිය යි. එසේනම්, ධර්ම සජ්ඣායනාවත් නිවනට පත් වෙන්න පුළුවන් ක්‍රමයක්.

පස්වැන්න භාවනාව යි. සිත තැම්පත් කර ගැනීම සඳහා බුදුන් වහන්සේ සමථ භාවනා ක්‍රම හතළිහක් දේශනා කළා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වීම සඳහා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ දේශනය පැවැත්වූවා. ශරීරය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. නිවන හැර සියලුම දේ අනිත්‍ය, දුක්ඛ. අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම්, එය විදසුන් භාවනාවක්. එසේනම්, සමථ සහ විපස්සනා භාවනා නිවනට හේතු වනවා.

කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහි අඩංගු වන්නේ අප දියුණු කළ යුතු දේ සහ මෛත්‍රී භාවනාව පිළිබඳව යි. එයට අනුකූලව කටයුතු කර, පන්සියයක් ස්වාමීන් වහන්සේ රහත් වූවා. මහා මංගල සූත්‍ර දේශනාවේ කරුණු තිස් අටක් තිබෙනවා. ජීවිත සකස් කරගන්නා ක්‍රමයඉතා වැදගත් දේශනාවක්. මේවා හොඳීන් ධාරණය කර ගැනීමෙන්, නිතර මෙනෙහි කිරීමෙන් එයම ඔබේ නිවන් සුවය සඳහා උපනිශ්‍රය වෙනවා.

එසේනම්, ඉහත සඳහන් පංචවිමුක්තායතන නිවනට පත්වන දොරටු ලෙස බුදුන් වහන්සේ දේශනා කර වදාළා. ඒ අනුව කවුරුත් කටයුතු කිරීමෙන් , තමන්ගේ ගුණ නැණ හොඳීන් දියුණු තියුණුවෙන් තමන්ට ත් පුළුවන්කම තියෙනවා මේ ක්‍රිම පහෙන් එකකින් නිවනට පත් වෙන්න. දාන, ශීල, ආදී සියලුම පින්කම් නිවන් සුවය සඳහා උපනිශ්‍රය වෙනවා.

ඒ නිසා සෑම කෙනෙකු විසින් ම දානා දී පාරමී ගුණ දියුණුවෙන්, නිවන් සුව ප්‍රාර්ථනා කර ගනු ලැබුවොත් තමන්ගේ අදහස් ඉෂ්ට කරගෙන නිවනට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එය අපට අත්‍යවශ්‍ය කරන කාරණයක්. ඒ ගුණ ධර්ම හොඳීන් දියුණුවෙන් බුදු සසුනෙන් ලබාගත යුතු මේ පංචවිමුක්තායන ලබාගෙන තමන් එක ක්‍රමයකින් නිවනට පත් වීම සඳහා සූදානම් විය යුතු යි. එවිට තම ජීවිතවල අඩු පාඩු නොමැතිව ඉතා ප්‍රභල, දර්ශනීය මනරම් ජීවිත පෙළක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. එලෙස නිවන් මඟට බැස කටයුතු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා!

අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් විමුක්ති ආයතන පහ ඇසුරිනි