Print this Article


රතන සූත්‍රයෙන් තෙරුවන් ගුණ හඳුනා ගනිමු

රතන සූත්‍රයෙන් තෙරුවන් ගුණ හඳුනා ගනිමු

ඛුද්දක නිකායට අයත් ඛුද්දක පාඨ හා සුත්තනිපාත යන ග්‍රන්ථද්වයෙහි ම අන්තර්ගත සූත්‍රයකි රතන සූත්‍රය. ‘රතන‘ යනු මැණික යන අර්ථයි. බුද්ධ, ධම්ම හා සංඝ යනු මිල කළ නොහැකි මැණික් තුනක් වන බැවින් ”තුණුරුවන්” යනුවෙන් අප සාමාන්‍යයෙන් ව්‍යවහාර කරනු ලැබේ.

එකී රත්නත්‍රයේ ගුණයන් අන්තර්ගත වූ සූත්‍රය රතන සූත්‍රයයි. බුදුන් දවස විශාලා මහනුවර ඇති වූ දුර්භික්ෂ, රෝග හා අමනුෂ්‍ය යන තුන් ආකාර වූ බිය දුරු කිරීමෙහි ලා දේශිත සූත්‍රයක් ලෙස මෙම සූත්‍රය ඓතිහාසික වූවකි. තව ද, මහාවංසයෙහි 37වන පරිච්ඡේදයෙහි සඳහන් පරිදි පළමුවන උපතිස්ස රජු දවස (ක්‍රි.ව 367-409) ලක්දිව දුර්භික්ෂ හා රෝග බියක් ව්‍යාප්ත විය. එම අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා රතන සූත්‍රය දේශනා කරමින් ගම් දනව් කරා ගොස් පිරිත් පැන් ඉස එම බිය සංසිඳවූහ. එයින් ද පැහැදිලි වනුයේ රතන සූත්‍රයෙහි ඇති ඓතිහාසික පසුබිමයි.

පිරිතක නියම පල ලබන්නට නම් එහි අර්ථය පිළිබඳ ව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. රතන සූත්‍රයෙහි ප්‍රථම ගාථාවෙහි ම දැක්වෙනුයේ එහි පල ලැබීම පිණිස අර්ථය දැන ශ්‍රවණය කළයුතු බවයි . ඒ අනුව රතන සූත්‍රයෙහි අරුත් පිරික්සීම කාලෝචිත ය.

මෙම සූත්‍රාගත ව බුදුන් වහන්සේ පිළිබඳව වූ ගුණයන් තුනක් ද, ධර්ම රත්නය පිළිබඳව වූ ගුණයන් දෙකක් ද හා සංඝරත්නය පිළිබඳ ගුණයන් හතක් ද වශයෙන් අන්තර්ගත ව පවතී. එකී පිළිවෙළ අනුව තුණුරුවනේ ගුණයන් රතන සූත්‍රය ඇසුරෙන් විමසනු ලැබේ.

ප්‍රථම ගාථාවට අනුව බුදුන් වහන්සේ හා සමාන වටිනාකම් සහිත වස්තුවක් ලොව නොමැති බව දැක්වේ. සුත්ත නිපාත අට්ඨ කතාවට අනුව සීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද උන්වහන්සේ හා සමාන කෙනෙකු නොවන හෙයින් ද, කිසියම් ධනයකින් මිල කළ නොහැකි බැවින් ද, දෙව්-මිනිස් සියල්ලන්ගේම පූජාවන් ලැබීම් ආදියෙන් කිසිවකු හා සම නොවන බැවින් ද බුදුන් වහන්සේ ලොව උතුම් ම වස්තුවකි.

මහා කරුණාවෙන්, නිවන් මඟ පෙන්වා දීමේ අරමුණින් යුතු ව බුදුහිමියෝ දහම් දෙසූහ. එම ධර්මය ගිම්හාන කාලයේ ගස් අතු අග තිබෙන්නා වූ මල්වලින් එම ගස් සමූහය එකම පඳුරක් මෙන් දිස්වන්නා සේ, බුදුන් වහන්සේගේ ධර්මය ද එකම වූ නිර්වාණගාමී මාර්ගය ඉලක්ක වූ බව දක්වයි. එවැනි වටිනා ධර්මයක් දේශිත බැවින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශේෂ්ඨතම රත්නය බව දක්වයි.

බුදුන් වහන්සේට ගුරුවරයකු නොමැති බව සත්‍යයකි. එහෙත් අන් අයට ගුරුවරයකු වශයෙන් සත්වයා සසර කතරින් එතෙර කරවීමෙහි ලා මෙහෙය වූ බුදුන් වහන්සේ හා සමාන වෙනත් ශ්‍රේෂ්ඨ උතුමකු නොවන බැවින් උන්වහන්සේ උතුම් වූ ශාස්තෘවරයෙකි.

එබැවින් බුදුරජාණන් වහන්සේ සියල්ල දත් නුවණින් යුක්තයි. නිර්වාණය අවබෝධ කළ හෙයින් ‘වරඤ්ඤු‘ යනුවෙන් ද, සත්වයාට සසරින් මිදීමේ සුවය ලබා දුන් බැවින් ‘වරදො‘ ලෙස හා සසරින් මිදීමේ උතුම් පිළිවෙත පෙන්වූ හෙයින් ‘වරාහරො‘ යනුවෙන් ද දක්වනුයේ මෙකී ගුණයන් සහිත බුදුන් වහන්සේ ගුරුවරයකු වශයෙන් සත්වයා සසරින් මිදවීමෙහි ලා කිසිවකු හා සමාන නොවන බැවින් උතුම් වූ රත්නයකි.

රතන සූත්‍රාගත බුද්ධ රත්නයේ ගුණයන් පිළිබඳ ව විමසූ අප දැන් විමසිය යුත්තේ ධර්ම රත්නයෙහි ගුණ සමුදායයි. එහිදී නිවන් අවබෝධය පිණිස රාගාදීය නැවත හට නොගන්නා ලෙසටම නැති කරන බැවින් ”ඛයං විරාගං” නම් වේ. නැවත උපතක්, පැවැත්මක් හෝ මරණයක් නොවන හෙයින් ‘අමතං‘ නම් වේ. ඒ සඳහා තමා විසින් අවබෝධ කරනු ලැබූ ධර්මය වෙන කිසිවක් හා සමාන නොවන බැවින් ‘පණීතං’ නම් වේ.

ඒ අයුරින් ජාති, ජරා, ව්‍යාධි හා මරණ සංඛ්‍යාත වූ සංසාර දුක කෙළවර කිරීමෙහි ලා සමත් ඛය, විරාග හා අමත, පණීත යන ගුණෝපේත වූ ධර්මයක් වේ ද එම ධර්මය වෙන කිසිදු ධර්මයක් හා සමාන නොවන බැවින් උතුම් වූ රත්නයක් බව දැක්වෙයි.

යමකුගේ සිතෙහි උසස් වූ සමාධියක් වේ නම් ඉන් ලැබෙන ඵලය නොවෙනස් ව ලැබෙන්නේ ද එය ආනන්තරිය සමාධි නම් වේ. මෙය ලෞකික ධ්‍යාන මට්ටම ඉක්මවූවකි. එනම් ලෞකික ධ්‍යානයකට පත්වූවකු එයින් පිරිහීමට මෙන්ම සතර අපායට වුව ද එළඹිය හැකි ය. එහෙත් එසේ නොවන ආනන්තරිය සමාධිය හෙවත් අරහත් ඵලය ලැබීම පිණිස ඉවහල් වන සමාධියක් වේ ද එකී සමාධිය කරා යොමු කරවන බුදුන් වහන්සේගේ ධර්මය හා සමාන වෙනත් රත්නයක් ලොවෙහි නොමැත.

ධර්ම රත්නයේ ගුණයන් පිළිබඳ ව විමසූ අප දැන් විමසිය යුත්තේ සංඝ රත්නයෙහි ගුණ සමුදායයි. ‘සංඝ‘ යන වචනය නිර්වචනය කරගැනීමෙහි ලා ද රතන සූත්‍රාගත ”යෙ පුග්ගලා අට්ඨ සතං පසත්ථා” යන ගාථාව තුළින් අවකාශ ලැබේ. එය හුදෙක් භික්ෂූන් වහන්සේලා පමණක් අදහස් නොකරන බව කිව යුතු ය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අරහත් යන මාර්ගයන්හි ගමන් කරන්නා වූ මෙන්ම ඒවා අධිගමනය කරන ලද ඕනෑම පැවිදි-ගිහි පුද්ගලයකු ‘සංඝ‘ යන්නෙන් අදහස් කෙරේ. එකී ආර්ය පුද්ගලයෝ දක්ඛිණෙය්‍ය හෙවත් යමකුට පින් පැමිණවීමේ අරමුණින් දෙනු ලබන දානාදිය පිළිගැනීමට සුදුස්සන් වෙති.

ඔවුන් කෙරෙහි පවතින ගුණය සහ සීලය ගණන් කළ නොහැකි බැවින් එවැනි උතුමන්ට දෙනු ලබන දානයෙහි ආනිසංස අප්‍රමාණ ය. මෙම කරුණු මත පදනම් ව සංඝයා වහන්සේලා උතුම්ම වූ රත්නයක් බව දැක්වේ. ‘සුප්පයුත්තා‘ යන්නෙන් කය හා වචනය සංවර කර ගැනීම (සීල සංවරය) අර්ථවත් වේ. ‘මනසාදළ්හෙන‘ යනු සංවර කොට ගත් සිතයි (සමාධි). ‘නික්කාමිනො‘ යන්නෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදීම කෙරෙහි වූ නුවණ (ප්‍රඥාව) අපේක්ෂා කෙරේ. මේ සියල්ල සහිත ව බුදු සසුනෙන් විනා වෙනත් සසුනකින් විමුක්තියක් නොපතා මේ සසුනෙහි ම පැමිණිය යුතු (පත්තිපත්තා) නිවනට පැමිණෙන්නේ ද, එය සංඝයා සතු වූ උතුම් වූ ගුණයකි. එබැවින් සංඝරත්නය උතුම්ම වූ රත්නයකි.