Print this Article


උතුම් නිවන් මඟ ස්පර්ශ කරන්නෝ

උතුම් නිවන් මඟ ස්පර්ශ කරන්නෝ

බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ ධර්ම ඥානයෙන් යුක්තව අර්ථ රසයෙන් හා ධර්ම රසයෙන් යුතුව මෙනෙහි කරන විට සිත තුළ පවතින ලෝභාදී කෙලෙසුන් යටපත් වීම, සංසිඳීම ආරම්භ වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආර්ය මාර්ගය තුළ කොටස් තුනකින් දක්වනවා. ඒ සීල, සමාධි, ප්‍රඥා හැටියටයි.ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් මේ යටතේ බෙදා තිබෙනවා. එයින් ප්‍රඥා කොටසට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මාර්ගාංග දෙකත්, සීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මාර්ගාංග තුනත්, සමාධියට සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ මාර්ගාංග තුනත් දක්වා තිබෙනවා.

මෙහි දී අප විසින් පැහැදිලි කරගත යුතු කරුණක් තිබෙනවා. එනම් සමාධිය යනු කුමක් ද?

සමාධිය හා ප්‍රඥාව කියන වචන දෙකේ දී, මූලික පියවරේ දී අපේ සිතට එන්නේ සමථය සහ විපස්සනාවයි. සමථයෙන් සිද්ධ කරන්නේ සිත දියුණු කිරීමයි. ප්‍රඥාවෙන් සිද්ධ වන්නේ නුවණ දියුණු කිරීමයි.

මෙහි දී සිත දියුණු කිරීම හැටියට දක්වන්නේ අකුසල අරමුණුවලින් සිත බැහැර කරමින් කුසල අරමුණුවල සිත පැවැත්වීමයි. එය චිත්ත සමාධිය හැටියට දක්වනවා.

කුසල අරමුණුවල සිත දිගට ම පවත්නා විට එය හඳුන්වනවා චිත්ත ඒකාග්‍රතාවය හැටියට. ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇතිවීම නිසා නිරාමිස පී‍්‍රතිය, සුඛය ඇතිවෙනවා. සමාධිය චිත්ත ඒකාග්‍රතාවය හැටියට දකින්නේ නම් කුසලාරම්මණයක සිත පිහිටුවීම අවශ්‍ය බව සඳහන් කළා. මෙහිදී නිවන අරමුණු කරන මඟකට යොමු කරමින් සිත කුසලාරම්මණවල පිහිටුවීම අවශ්‍යයයි. එහි දී සමථ භාවනාවෙහි දක්වා තිබෙන කර්මස්ථානවලින් අනුස්සති ධර්ම දහය උදාහරණ ලෙස දැක්විය හැකියි.

එනම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, මරණානුස්සති, කායගතාසති, ආනාපානසති හා උපසමානුස්සති ලෙසිනු යි.

මේ අනුස්සති ධර්මයක සිත පුරුදු කරන විට ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙසුන්ගෙන් සිත බැහැරවෙමින් අලෝභ, අදෝෂ, අමෝහ නම් වූ කුසලාරම්මණවල සිත පහළ වීම ආරම්භ වෙනවා. නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ ධර්ම ඥානයෙන් යුක්තව අර්ථ රසයෙන් හා ධර්ම රසයෙන් යුතුව මෙනෙහි කරන විට සිත තුළ පවතින ලෝභාදී කෙලෙසුන් යටපත් වීම, සංසිඳීම ආරම්භ වෙනවා.

අරහං ආදී බුදුගුණයන් තුළ විදර්ශනා ලක්ෂණ පූර්ව වශයෙන් මතුකර ගන්න පුළුවන්. එනම්, සසරේ ඇති භයානක බවයි. සසරේ බියකරු බව සකස් වෙන්නේ පුනර්භවය සමඟිනුයි. ඒ පුනර්භවයට පත්වෙන සත්වයා ස්කන්ධ පංචකයෙන් හෝ ස්කන්ධ කිහිපයකින් යුතුව සකස් වෙනවා. ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ, අනත්ත ති‍්‍රලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගන්නට සිහිය පිහිටුවීම ම විදර්ශනාවේ ලක්ෂණයයි.

එය අරහං ආදී බුදුගුණයේ පටන් දැනෙන්නට පුළුවන්. මේ නිසා සමාධිය වැඩෙන විට බුද්ධානුස්සතිය ආදී ආරම්මනයක හෝ කර්මස්ථානයක සිතේ ඇතිවන සංසිඳීම චිත්ත සමථය හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා. ඒ ලෝභාදී කෙලෙස් සංසිඳීමක්, යටපත්වීමක් සිදුවීම නිසයි.

මෙය පූර්ව අවස්ථාවේ හඳුන්වන්නේ පරිකර්ම සමාධිය හැටියටයි. තවදුරටත් ඒ අරමුණු ඔස්සේ සිත පිහිටුවමින් නැවත නැවත මෙනෙහි කරන විට සමාධිය දියුණු වෙන්නට පටන් ගන්නවා. ඒ අවස්ථාව හඳුන්වන්නේ උපචාර සමාධි අවස්ථාව හැටියටයි.

ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් බාහිර ව පැමිණෙන රූප, ශබ්ද ආදී අරමුණු නතරවී කුසලාරම්මනයෙහි සිත සිහිය පිහිටුවීම නිසා සංසිඳුණු මනස අලෝකමත්වීම ස්වභාවිකයි. නිමිති පහළවීමට හේතුවත් එයයි. තමන් සිත, සිහිය පිහිටුවන අරමුණ හෙවත් කර්මස්ථානයට අදාළව නො ඇලුණු, නො ගැටුණු මුලාවට පත් නොවුණු සිතිවිලි ඔස්සේ සංඥා පහළ වීම ස්වභාවිකයි.

තවදුරටත් සිත සමාධිය තුළ රඳවන විට අර්පණා සමාධිය හෙවත් විෂ්කම්භන සමාධිය ඇතිවිය හැකියි. මෙය ධ්‍යාන අවස්ථාවකුයි. කාමාදි කුසල ධර්ම බලවත් ලෙස යටපත් කරගෙන කුසලාරම්මනයේ සිත පිහිටුවාගෙන නැවත නැවතත් මෙනෙහි කරන විට සිත තුළ ඇතිවන්නේ ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් බැහැර වුණු, සංසි¼දීමකුයි. විවේකයකුයි. මේ අවස්ථාවෙහි සිත නිරාමිස පී‍්‍රතියටත් සුඛයටත් මනසේ ඇති වන එකඟ බවටත් පත්වීම සිද්ධවෙනවා. මෙය චිත්ත සමාධිය, චිත්ත සමතය, ධ්‍යාන අවස්ථාවක් හැටියට ධර්ම කතාවේ පෙන්නුම් කරනවා.

මේ සිව්වන ධ්‍යානයට පැමිණෙන විට උපේක්ඛා ස්වභාවයට පත්වෙනවා. සොම්නස්, දොම්නස් දෙකම බැහැරවන ස්වභාවයයි. එහි දී බලවත් ලෙස නිසල වූ විලක් සේ අපේ සිත සකස් වෙනවා. එනම් ඇලීමෙන් හෝ ගැටීමෙන් බැහැර ව ගැඹුරු ලෙස සිත සංසුන් ව පවතින අවස්ථාවක්.

පංච ධ්‍යාන කියන තැනට සිත පත්කොට සිතේ උපේක්ඛා ස්වභාවය විදර්ශනා නුවණින් දැක ගැනීමට අවස්ථාව තිබෙනවා. එනම් හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වෙන හැම ඵලයක් ම විපාකයක් ම හේතූන්ගේ විසිර යෑමෙන් නැතිව යනවා කියන ස්වභාවයයි. මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි දකින්නේ “සබ්බේ සංඛාරා අනිච්චාති“ කියන දහම් පෙළෙනුයි. එමෙන් ම “වයධම්මා සංඛාරා“ කියන දහම් පෙළෙනුයි. “යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති“ නම් වූ දහම් පෙළෙනුයි.

සම්‍යක් ප්‍රඥාව හැටියට දක්වන්නේ රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාන නම් වූ ස්කන්ධ පංචකය අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන තිලකුණුවලට යටත් කොට දැකීමයි.

රූපය විමසා බලමු. රූපය සකස් වෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම, ආහාර හා උප්පත්ති ලකුණු දැකීම් වශයෙනුයි. වේදනා, සංඥා, සංඛාර නම් ස්කන්ධ සකස් වෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම, පස්ස හා උප්පත්ති සලකුණු වශයෙන් දැකීමෙනුයි. විඤ්ඤාණ ස්කන්ධය සකස් වෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම, නාම රූප ධර්ම සහ උප්පත්ති සලකුණු දැකීම් වශයෙනුයි.

විසිපස් ආකාරයකට මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වී හේතූන්ගේ විසිර යෑමෙන් නැතිව යනවා කියන ස්භාවය නුවණින් දැකගත යුතු වෙනවා. මේ සම්‍යයක් ප්‍රඥාවේ අවස්ථාවකුයි.

සම්මා සමාධියේ දී විදර්ශනා අරමුණු කරගෙන මාර්ග චිත්තය සම්පූර්ණ කරමින් මාර්ගඵල ලැබීම සම්‍යයක් ප්‍රඥාවේ අවස්ථාවකි. එය ඵල චිත්ත, ඵල සමාධි, ඵල ප්‍රඥා හැටියට දැක්විය හැකියි. මෙහි දී අපි මතු කර ගන්නේ මේ අදහසයි.

නිවන අරමුණු කරන අවස්ථාවෙහි මාර්ගය පිළිබඳ විදර්ශනා නුවණ හෙවත් සම්මා ප්‍රඥාව පිළිබඳ ව යම් වූ ද නිවැරැදි අවබෝධයක් ශ්‍රාවකයා තුළ තිබිය යුතු බවයි. ඒ සම්‍යක් ප්‍රඥාවෙන් තොරව සමාධිය නිවන අරමුණු කරන ස්වභාවය ඇති කර ගැනීම අපහසුයි. නිවන අරමුණු කර ගන්නා වූ සම්‍යක් ප්‍රඥාවෙන් තොරව චිත්ත සමාධිය හෙවත් ඒකාග්‍රතාවයක් ඇති කර ගන්නේ නම් එය ලෞකික සමාධියක් බවට ම පත්වෙනවා.

මෙහි ඉතිරි කොටස උඳුවප් අව අටවක ජනවාරි 06 පත්‍රයේ පළවේ.