Print this Article


පුලියන්කුලම රාජමහා විහාරය

පුලියන්කුලම රාජමහා විහාරය

 

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලියන්කුලම රජමහා විහාරස්ථානය පිහිටා ඇත.


විහාරාධිපති හිමි

බංගදෙනිය - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ බංගදෙනියේ සිට ආණමඩුව දෙසට ගිය විට හමුවන එකොළොස් වෙනි සැතපුම් කණුව අසලින් දකුණත දෙසට හැරී පුලියන්කුලම තම්මන මාර්ගයේ මීටර 200ක් ගිය තැන පුලියන්කුලම රාජමහා විහාර පින්බිම හමුවේ.

දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතර සිටි නන්දිමිත්‍ර යෝධයා විසින් මෙම විහාරය ඉදිකර ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.

දුටුගැමුණු - එළාර යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටුගැමුණු රජතුමා විසින් දැදුරු ඔය දෑල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු භාර දී ඇත්තේ නන්දිමිත්‍ර යෝධයාට බව කියැ වේ. එදා නන්දිමිත්‍ර යෝධයා විසූ ගම හඳුන්වන්නේ පල්ලම නමිනි. නන්දිමිත්‍ර යෝධයා විසින් දැදුරු ඔය දෑල විහාරස්ථාන හතරක් ඉදිකර ඇත.

පල්ලම නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරස්ථානය දැනට දැදුරු ඔයට (ජජ්ජර නදියට) සේදී යමින් විනාශ මුඛයට යන වෙහෙර ගොඩැල්ල විහාරස්ථානය, වෙහෙර බැඳිකැලේ රජමහා විහාරස්ථානය, පුලියන්කුලම රාජමහා විහාරස්ථානය එම විහාරස්ථාන වේ.

වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය උසුලනු ලබන්නේ කුඩා වැව විහාර පරම්පරාවේ ගල්කුලමේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ ය. මුන්නේශ්වරම, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ රොටුවේ සද්ධා නන්ද හිමිගේ ශිෂ්‍ය හිමි නමකි. පුත්තලම ආනන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරති. ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර මූර්ති කලාව පිළිබඳ විශේෂ උපාධියක් දිනා ගැනීමට සමත් වී ඇති උන්වහන්සේගේ චිත්‍ර මූර්ති කලාව පිළිබඳ දැනුම උපයෝගී කරගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරගෙන යයි.

දර්ශනීය දෙමහල් විහාර මන්දිරය සහිත චෛත්‍ය ඉදිකර ඇත. දැනට වයඹ පළාතේ ඉදිකර ඇති විශාලතම දෙමහල් විහාර මන්දිරය සහිත චෛත්‍ය පුලියන්කුලම රජමහා විහාරස්ථානයේ පිහිටි මෙම නිර්මාණය බව කියැවේ. ඇත් පවුර සහිත දර්ශනීය වළාකුළු බැම්ම ඉදිකර ඇත. විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස සම්පූර්ණයෙන් ම වටිනා දැව උපයෝගී කරගෙන දැවමය වාහල්කඩක් ඉදිකර ඇත. පරිසර හිතකාමී සෝනුත්තර හිමියන් විසින් විහාරස්ථාන භූමියේ වටිනා දුර්ලභ ඔසු පැළ සියයකින් පමණ සමන්විත “දීඝායු” නමින් ඔසු උයනක් පවත්වාගෙන යනු ලබයි. පර්චස් අසූවක පමණ භූමි භාගයක මෙම ඔසු උයන විසිරී පවතී. එදා නන්දිමිත්‍ර යෝධයා විසින් ඉදි කළ ‘කොට වෙහෙර’ සහ තැනින් තැන ගල් කණු විහාර භූමියේ පවතී.

පිහිටි බෝධීන් වහන්සේ ද ඉපැරැණි ය. අක්කර නවසිය අනූ නවයක් විහාරස්ථාන භූමිය පැවති බව සඳහන් වුව ද අද ශේෂව පවතින්නේ අක්කර අටක පමණ භූමි භාගයකි. විහාරස්ථාන භූමිය ද පොල් වගාවෙන්, වටිනා දැවමය ශාක වලින්, විසිතුරු මල් ගස්වලින් දර්ශනීය භූමියකි. විහාරස්ථ ශ්‍රී ධර්මපාල දහම් පාසල ප්‍රදේශයේ කීර්තිමත් දහම් නිකේතනයකි.

ප්‍රාදේශීය, දිස්ත්‍රික් සමස්ත ලංකා, දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම්වලදී ජයග්‍රහණය ලැබූ සිසු දරු දැරියෝ බොහෝ වෙති. විහාරස්ථානයේ දායක පවුල් තුන්සියයකි. පුලියන්කුලම රාජමහා විහාරස්ථ ශාසන වර්ධන දායක සමිතිය, උපාසක උපාසිකා සමිතිය, තරුණ බෞද්ධ සමිතිය ක්‍රියාත්මක වේ.