Print this Article


පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි ලෙස නම් කෙරේ

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමි ලෙස නම් කෙරේ

අගමැති අතින් අනුරාධපුරයේදී විවෘත කිරීම්

රජරට බෞද්ධ උරුමය හා පුරා වස්තු විනාශ කිරීමට ඇතැම් අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටී. විජිතපුර බලකොටුවේ සෙල්ලිපි පවා රැගෙන ගොස් නිවාසයන්හි තබා ගත් අය පසුගියදා අත්අඩංගුවට ගැනීම පවා සිදු කරනු ලැබුණි. අපේ ආදිකාලීන උරුමය බෞද්ධ උරුමය හා එක්ව බැඳී පවතින්නකි.

අගමැතිතුමා විසින් පොළොන්නරුව සොළොස්මස්ථාන පූජාභූමියක් කළ සන්නස වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමියන්ට පුද කළ අවස්ථාව.

අග්‍රාමාත්‍යතුමා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාව

ඒ බොදු උරුමයන් රැසක් තවමත් නිසි පරිදි ආරක්ෂාවකින් තොරව පැවතීම ගැටලුවක් බව තේරුම් ගත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය පූජාභූමි සංවර්ධනය කිරීමටත්, පූජා භූමි ලෙස ආගමික සිද්ධස්ථාන නම් කිරීමටත් කටයුතු කර ඇත.

ඓතිහාසික රජරට රාජධානියේ චාරිකාවක නියැළුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ‘පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන පූජා භූමියක්' ලෙස ප්‍රකාශයට පත් කිරීම පසුගිය 20 වැනිදා සිදු කළා. ඒ චාරිත්‍රානුකූල උත්සවයකදීය. ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි පාර්ශ්වයේ ගෙඩිගේ රාජමහා විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වෙත අදාළ සන්නස් පත්‍රය ප්‍රදානය ක‍රනු ලැබීය.

වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමා ඇතුළු ආරාධිත මැති ඇමතිවරුන්ට ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වූහ.

වත්මන් රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' රාජ්‍ය ප්‍රතිපත්තිය අරුත් ගන්වමින්, බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සලකමින්, ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීම හා ශ්‍රී ලාංකේය ඵෙතිහාසික උරුමයන් අනාගත පරපුර වෙත සුරක්ෂිත කොට දායාද කිරීමේ අරමුණින් පොළොන්නරු ඵෙතිහාසික සොළොස්මස්ථාන රජමහා විහාරස්ථානය අංක 2201/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහිදී වේඬරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ විසින් හා රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමා විසින් අගමැතිතුමාට සමරු සිහිවටන ප්‍රදානය කරනු ලැබුහ.එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන ද සහභාගි වූහ.

අගමැතිතුමා ඊට අමතරව පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාමයේ විවෘත කිරීම් කිහිපයකට ද සහභාගි විය. එහිදී ශ්‍රී පඤ්ඤාරංසි නා හිමි අනුස්මරණ දාන ශාලාව හා විහාරස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව හා වාහල්කඩ ද අගමැතිතුමා විසින් විවෘත කරන ලදී.

21 වැනිදා අනුරාධපුරයේ සංචාරයක නියැළුණු අගමැතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සුව දුක් විමසීමට කටයුතු කෙළේය.එහිදී රටේ ආර්ථික සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළව ධර්මානුකූලව කටයුතු කිරීම ගැන අටමස්ථානාධිපති නා හිමියන් විසින් අගමැතිතුමාට තම ආශිර්වාදය පිරි නමන ලදී.

එමෙන්ම අනුරාධපුරයේ සංඝමිත්තා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනය ද අගමැතිතුමා විසින් විවෘත කරන ලදී. එමඟින් දස සිල්මාතාවන්ට ත්‍රිපිටක ධර්ම ඥානය වර්ධනය කර ගැනීමට හැකිවනු ඇත. එම ආයතනයෙන් දින හතක නේවාසික පුහුණුව සඳහා සිල් මෑණිවරුන් තිස් දෙනකුට අවස්ථාව හිමි වේ.

පාඨමාලා අධීක්ෂණය, මෙහෙයවීම හා දේශන කටයුතු අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේලා මෙහෙයවති.මීට අදාළ සියලුම පහසුකම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සලසා දෙනු ඇත.

ත්‍රිපිටක අත්වැල සඳහා විද්‍යුත් ටැබ් 30 ක් කඩවල නන්දරතන හිමි හා කොත්මලේ කුමාර කස්සප හිමි විසින් මෙම පුහුණු ආයතනයේ ප්‍රයෝජනය සඳහා අගමැතිතුමා වෙත භාර දීම ද මෙහි දී සිදු විය. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු මෙහෙණින් වහන්සේ වැඩම කොට වදාළහ.

අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.