Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 29 කොටස: වෙසක් පින්කමට මෝටාර් ප්‍රහාරයක්

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 29 කොටස:

වෙසක් පින්කමට මෝටාර් ප්‍රහාරයක්

ජේ. ආර් රජීව් සාම ගිවිසුම ක්‍රියාත්මක වූ සමයේ කොටි සංවිධානය තම කටයුතු එළිපිටම සංවිධානාත්මකව සිදු කරන ලදී. ඔවුන් යළි යුද්ධය ආරම්භ කළ 1989 වකවානුවේ පහසුවෙන් ප්‍රහාර එල්ල කරන්නට හැකිවූයේ ආරක්ෂිත ව ප්‍රහාර එල්ල කරන්නට අවශ්‍ය පසුබිම සකස් කර ගෙන තිබූ නිසා ය.

උතුරට ගොඩබිමින් පැමිණිය හැකි සියලු මාර්ග ත්‍රස්තවාදීන් විසින් අවහිර කරන ලදී. අලිමංකඩ ඇතුළු සියලු පාලම් පුපුරවා දමන ලදී. දිනපතාම නා හිමියන් සහ පදුමකිත්ති හිමියන් පාංශුකුල පිණිස වැඩම කරන ලදී.

නාගදීපයේ තිබූ නාවික හමුදා කඳවුර හැරෙන්නට අනෙක් කිසිදු ආරක්ෂක අංශයකට විහාරස්ථානයට දන් පිරිනැමීමට නොහැකි විය.

පාංශුකූල පිණිස ස්වාමීන් වහන්සේ වැඩම කරවන ලද්දේ නාවික හමුදා යාත්‍රා මඟිනි. ඒ වෙනුවෙන් විශේෂ ප්‍රහාරක යාත්‍රාවකින් ආරක්ෂාව සලසන ලදී.

කරිකුට්ටුවාන් ජැටියට නිරතුරුවම කොටි සංවිධානයේ පිරිස් පැමිණීම නිසා කරෙයිනගර් හරහා හමුදා කඳවුරුවලට යන්නට ආරක්ෂක අංශ කටයුතු කළහ. කරෙයිනගර් බලා යද්දී කොටි ත්‍රස්තවාදීන් එම යාත්‍රාවලට ප්‍රහාර එල්ල කළ හැම අවස්ථාවක දී ම නාවික හමුදා ආරක්ෂක යාත්‍රාවෙන් ආරක්ෂාව සපයා දෙන ලදී.

එමෙන්ම ගවයන්, එළුවන් වැනි සතුන් වතුරේ ගිල්වා, උන්ගේ සිරුරේ බෝම්බ සවිකර එවන්නට ත්‍රස්තවාදීහු කටයුතු කළහ. එමෙන්ම මිය ගිය අයගේ සිරුරුවලට ද බෝම්බ සවි කර මුහුදේ පා කර නාවික බෝට්ටු දෙසට එවන ලදී. ඒ ගැන හොඳීන් දත් නාවික නිලධාරීන් එම මළසිරුරු වලට ප්‍රහාර එල්ල කළහ. ඒවා පුපුරා ගියේ දෝංකාර දෙමිනි.

එමෙන්ම මුහුදු පතුලේ එල්ලෙන බෝම්බ ද ඔවුහු යොදා තිබුණි. එහි මතුපිටට වන්නට ජලයට ඔරොත්තු දෙන වයර් එළීමට යොදා ගන්නා බට දිගේ ඉහළට එවා තිබුණි. වයරයේ කොණ ගෑවුණු කල්හි පතුලේ ඇති ජල බෝම්බය පුපුරා යන්නේ ය. එවන් අවස්ථා කිහිපයක් ම පදුමකිත්ති හිමියෝ දුටුවහ. එහෙත් ඒ එකදු බටයක් හෝ හිමිවරු ගමන් ගත් බෝට්ටුවේ නොගැටුණි. අලුයම් කාලයේ ධීවරයන් සේ පැමිණ මේ බෝම්බ එළා දමන බව නාවික හමුදාව විසින් පවසන ලදී.

එසේ ප්‍රවේශමෙන් ගමන් කරන යාත්‍රාවට කොටි ත්‍රස්තවාදීහු සැඟවී සිට වෙඩි තැබූහ. ඒ වෙඩි නොවැදුණ ද, බෝට්ටුව අසලට වැටී නාහිමියන් සහ පදුමකිත්ති හිමියන් වතුරෙන් නැහැවී ගියේ ය. බෝට්ටුවේ යන්තම් ගෑවී නොගෑවී ගිය උණ්ඩවලින් සුළු තුවාල ලැබූ අවස්ථාද විය.

කරෙයිනගර් නාවික කඳවුරට පැමිණි විට ක්ෂණයකින් පලාලි සිට හෙළිකොප්ටර් යානයක් ගොඩ බස්වනු ලැබේ. උන් වහන්සේ හමුඳා කඳවුරු කිහිපයකටම ගොස් පාංශුකූලය ලබා දුන්නේ ලුණු වතුර සහිත වතුර බේරෙන සිවුර දරාගෙන ය. එසේම හෙළිකොප්ටර් යානා ඉහළට පියාසර කරන්නේ කරණම් ගසමිනි. ඒ ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඉලක්කයක් කර ගැනීම අපහසු කරන්නට ය. එසේ හෙළිකොප්ටර් යානයෙන් ගොස් ගොඩබසින විට හිස පුපුරන්නට තරම් කකියන විට පදුමකිත්ති හිමියෝ නාහිමියන් අසලට වැඩම කොම උන් වහන්සේ ගැන සොයා බලති.

එසේ දහදුක් විඳීමින් පාංශුකූලය ලබා දෙන්නට හිමිවරුන් කටයුතු කෙළේ රට ආරක්ෂා කර ගන්නට හමුදාව දරණ වෑයම දන්නා නිසා ය. එමෙන්ම නාගදීප විහාරස්ථානයේ සියලු ආගමික වතාවත් නිසි පරිදි ඉටු කරන්නට පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී.


පදුමකිත්ති හිමියන් නාගදීප නාවික කඳවුරේ වැඩ සිටි අවස්ථාවක්

ත්‍රස්තවාදීන්ගේ බිම් බෝම්බවලට හසුවන හමුදා වාහන සුන්බුන් වී ගිය අතර එහි ගමන් කළ හමුදා සාමාජිකයන්ගේ සිරුරු ද එම තත්ත්වයට පත් විය. එම නිසා මිය යන හමුදා සාමාජිකයන් වෙනුවෙන් පලාලි ආරක්ෂක හමුදා ජනපදයේ දී පාංශුකූලය ලබා දීම මෙන්ම දානමය පින්කම් ද පවත්වන ලදී.

ඒ ලෙසින් මිය ගිය යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ විශේෂ පින්කමක් 1990 වසරේ අගභාගයේ දී පවත්වන ලදී. ඒ සඳහා ධම්මකිත්ති නා හිමියන්ට හා පදුමකිත්ති හිමියන්ට පලාලි වෙත වැඩම කිරීමට හෙළිකොප්ටර් යානාවක් දූපතට ගොඩබස්වන ලදී. එසේ දූපතට හෙළිකොප්ටරයක් ගොඩ බස්වන ලද්දේ ත්‍රස්තවාදී යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට ය. හෙළිකොප්ටර් යානය බලා ගැන්මට සැලකිය යුතු පිරිසක් එම ස්ථානයට රොක්වන්නට විය. පලාලිහි දී පැවැති එම පින්කමේ දී පදුමකිත්ති හිමියන්ට ඉස්තරම් වර්ගයේ ‘බෙඩ් ෂීට්‘ දෙකක් ලැබුණි. පැවිදි දිවියට පත්වීමෙන් පසුව පදුමකිත්ති හිමියන්ට ලැබුණු වටිනාම පිරිකර එය විය. උන් වහන්සේ එයින් එක් පිරිකරක් ආරක්ෂිත ව තැබූහ.

පින්කමෙන් පසු ධම්මකිත්ති නා හිමියන් ගුවන් මඟින් කොළඹට වැඩම කළ අතර, පදුමකිත්ති හිමියන් හෙළිකොප්ටර් යානයෙන් ම යළි නාගදීපයට වැඩම කළ හ. හෙළිකොප්ටරය ආපසු පැමිණෙන බව සැල වී දූපතේ වැසියන්ගෙන් අතිවිශාල පිරිසක් එය නැරැඹීමට එතැනට පැමිණ සිටියහ. හෙළිකොප්ටරයෙන් බැස ගත් පදුමකිත්ති හිමියන්ට සිහි වූයේ පෙර වසරේ පැවැති අවුරුදු උත්සවයට සහභාගි වු ජනතාවයි. එතරම් පිරිසක් එහි පැමිණ සිටියහ. හෙළිකොප්ටරයෙන් තනිවම වැඩම කළ පදුමකිත්ති හිමියන්ට ගෞරවනීය ආඩම්බරයක්ද දැනුණි.

එම වසරේ වෙසක් දිනය උදා විය. පෙර වසරේ මෙන් එදින පින්කම් පැවැත්වීමට හැකියාවක් නොවී ය. කිසිදු වන්දනාකරුවකු නැත. එම නිසා නාගදීපයේ නාවික හමුදාව සමඟ එක්ව පූජාවක් පැවැත්වීමට නා හිමියන් සහ පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී.

පස්වරු 6.30ට පමණ ආරම්භ වූ බෝධි පූජාවට නාවික කඳවුරේ සිටි පිරිසෙන් ඉතා සුළු පිරිසක් හැරෙන්නට සෙසු සියලු දෙනා සහභාගි වූහ. නමස්කාරය කියා ගතවූයේ ටික වේලාවක් පමණි. මහ හඬ නංවමින් මෝටාර් වෙඩිල්ලක් විහාරස්ථානය අසලට වැටුණේ එම භූමියේ පස් උඩ විසි කරවමිනි. කුරිකට්ටුවාන් ජැටියේ සිට කොටි ත්‍රස්තවාදී හු මෝටාර් එල්ල කළහ. කඳවුරේ සිටි නාවික හමුදා භටයෝ ප්‍රතිප්‍රහාර එල්ල කළහ. දෙවන පන්සිල් පදය කියනවාත් සමඟ ම තවත් මෝටාර් උණ්ඩයක් පතිත වුණි. ඒ සමඟම නාවික භටයෝ කිහිප දෙනෙක් පන්සිල් ගැනීම පසෙක තබා කඳවුරට දිව ගියහ.

තුන්වැනි සිල් පදය කියන විටම තවත් මෝටාරයක් අසලින්ම පතිත විය. ඉතා සුළු පිරිසක් පූජාවට ඉතිරි විය. එහෙත් සිවුවැනි සිල් පදය පවසන විටම වැටුණු උණ්ඩ නිසා කිසිදු අයකු පූජාවට සිටියේ නැත. පදුමකිත්ති හිමියන් පස්වන සිල් පදය තනිවම පවසා කඩිනමින් ඉතිපිසෝ ගාථාව ඇතුළු ගාථා කිහිපයක් වදාරා විහාරස්ථානයට ගියේ හතර වටින්ම මෝටාර් නාගදීපයට එල්ල වෙද්දී සහ නාවික කඳවුරෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙද්දී ය.

එදින ප්‍රහාරයෙන් පසු දිනපතාම මෙන් නාගදීප නාවික කඳවුර ඉලක්ක කර ත්‍රස්තවාදීහු ප්‍රහාර එල්ල කළහ. එම නිසා විහාරස්ථානයේ වහල මුදුනේ ද මෝටාර් විදිනයක් සවිකරන්නට නාවික හමුදාවෝ කටයුතු කළහ. ත්‍රස්තවාදීන් කුරිකට්ටුවාන් ජැටියේ සිට ප්‍රහාර එල්ල කරද්දී නාවික කඳවුරෙන් එල්ල කරන ප්‍රතිප්‍රහාරවලට අමතර ව එම මෝටාර් විදිනයෙන්ද ප්‍රහාර එල්ල කරන ලදී.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ නාගදීපයේ තල් ගස් පොල් ගස් දෙකට කැඩී ගියේ කෙසෙල් ගස් කඩා වැටෙන්නාක් මෙනි. නාගදීප විහාරයේ සවි කළ මෝටාර් විදිනයට උණ්ඩ පිරවීමට සහාය ලබා දුන්නේ පදුමකිත්ති හිමියන් විසිනි. කාලයක් යන විට එය ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පදුමකිත්ති හිමියන්ට දැනුණි. නාගදීපය බේරා ගෙන අනාගත බෞද්ධයන්ට ලබා දීම තම යුතුකමක් බව උන් වහන්සේට වැටහුණේ කිසිවකු නාගදීප විහාරස්ථානය තිබෙනවාද යන්න පවා නොසැලකූ හෙයිනි.

වාරියපොළ සුමංගල හිමියන් දඹුල්ල කැලෑවේ දළදා වහන්සේ රඳවා ගෙන සිටි ආකාරය පදුමකිත්ති හිමියන්ගේ මතකයට නැඟුණේ ය. ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ජීවිතය බේරා ගෙන යුද්ධය කවදා හෝ අවසන් ව ජනතාව යළි නාගදීපයට පැමිණෙන දිනය තමන්ට දැක ගන්නට ලැබුණහොත් එය ජීවිතයේ ලැබිය හැකි උපරිම තෘප්තිය බව ද උන් වහන්සේ අධිෂ්ඨාන කර ගත්හ.

ඇතැම් දිනවල නාවික හමුදා කඳවුරේම රැය පහන් කරන පදුමකිත්ති හිමියන් වැඩ සිටින්නේ හමුදා බංකරය තුළ ය. නාවික සෙබළුන් දිරිමත් කරනු පිණිස උන් වහන්සේ එසේ කටයුතු කළහ. ශ්‍රී ලංකාවේ අනෙක් හිමිවරුන් රැය පහන්වන තුරු පිරිත් සඡ්ඣායනා කළහ.