Print this Article


හෙළ දෙරණ එළිය කළ සංඝමිත්තා තෙරණින් වහන්සේ

හෙළ දෙරණ එළිය කළ සංඝමිත්තා තෙරණින් වහන්සේ

ඕ තොමෝ ගිහි කල යස ඉසුරු සම්පත් ලද රාජ කුමාරියකි. තේජාභිමානයෙන් ලොවක් ජයගත්, ප්‍රතාපවත් රජකෙනෙකු ගේ අභිමානවත් දියණියකි. කුඩා කලම සව් කෙලෙසුන් නසා අරිහත් ධජය පැළඳු පුත් රුවනක ගේ ආදරණීය මවකි.

ගිහි සැප අත් හැර පැවිදි ව පැවිදි කිස මුදුන් පමුණුවාගත් ශ්‍රේෂට උත්තමාවියකි. අවිදු අඳුරෙහි ගිලුණු ලක්වැසි අප මුදවාලූ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ එකකුස උපන් එකම සොයුරියකි. තම මව් බිමින් ඈත්වී අපගේ සිරිලක් ධරණි තලයට වැඩම කොට පරෝපකාරයෙහි නියැලුණු උත්තමාවියකි. ආත්මාර්ථය සිදුකිරීමෙහි ලා විමුක්ති සාධනයෙහි නිමාවට පත්වූ අභිඥාලාභී මහ තෙරණියකි.

බුද්ධ වර්ෂ 206 දී හෙවත් ක්‍රි. පූ 337 දී අසෝක යුව රජ පිය තනතුරෙහි හා වේදිස සිටු දේවිය මව් පදවියෙහි තබා, උදේනි නගරයේ දී ජන්ම ලාභය ලැබවේය. කුඩා කල ආදරණීය මව්පියන් සහ සොහොයුරා ගේ ආදරය, කරුණාව මැද හැදී වැඩුණත් පාඨලි පුත්‍ර නගරයෙහි, රජ කළ තම අත්තා වූ බින්දුසාර රජුගේ අභාවයත් සමඟ අශෝක යුවරජ එම නගරයෙහි රාජ්‍ය ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් උදේනි නගරයෙහි නතර කොට පිටත් වූ හෙයින් වසර ගණනක් හුදකලා වී ඇත. එහෙත් සංඝමිත්තාවන්ට වයස අවුරුදු 12 දී ද, මහින්ද කුමරුට වයස අවුරුදු 14 දී එනම් ක්‍රි. පූ. 325 දී වේදිස දේවිය තම දරුවනට අනාගත දායාදය ලබා දෙනු වස් දෙදෙනාම අශෝක මහ රජු වෙත ට යොමු කරවී ය.

කාරුණික මවක වූ වේදිස දේවිය යටතේ හැදී වැඩුණු මෙම දෙදෙනාට අශෝක රජුගේ දික් විජය ප්‍රතිපත්තියේ බිහිසුණු බව මනාව දැනෙන්නට ඇත. පිය රජුගේ දරුණු ප්‍රතිපත්තිය ඉදිරියේ ඒ දෙස බලා සිටිනවා විනා කළ යුතු යමක් නොමැති ව, කළකිරී සිටින්නට ඇති බවද පරිකල්පනය කළ හැකි ය. ආදරණිය මව්තුමියගේ ඇසුරින් ඈත් ව,රටේ පැවැති යුද කෝලාහල මැද්දේ බිය, සැකය, බලාපොරොත්තු ආදී විවිධ මානසිකත්වය ඔස්සේ කාලය ගතකරන්නට ඇත.

බුද්ධ වර්ෂයෙන් 222ක් වූ තැනදී හෙවත් ක්‍රි. පූ. 321 දී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගෙන් බණ අසා, චණ්ඩාශෝකයන් ධර්මාශෝකයන් බවට පත්වු පසු භාරත දේශයට ලැබුණු ආලෝකය, රජ මැඳුර පුරාද පැතිරෙන්නට විය. නිතර නිතර ආර්ය මහ සඟරුවනේ කල්‍යාණ මිත්‍රත්වය රජ පවුලටම ලැබෙන්නට ඇත. මේ වන විට සංඝමිත්තා කුමරියට වයස අවුරුදු සොළස පිරුණු බැවින් භාරතීය සිරිතට අනුව ඇය ධර්මාශෝක රජුගේ බෑණනුවන්වූ අග්ගි බ්‍රහ්ම කුමරුවන් සමඟ විවාහ දිවියට පත්වූවා ය. සැදැහැබර උවසුවෙක්වූ අග්ගිබ්‍රහ්ම කුමරු විවාහ දිවියෙන් වසර දෙකක් ගතවූ පසු ධර්මාශෝක රජුගේ එක කුස උපන් සොහොයුරාත් අග්ගි බ්‍රහ්ම කුමාරයාත් සසුන්ගත වූහ.

මේ වන විට සංඝමිත්තාවන් අවුරුදු දෙකක් වයස ඇති පුතණු කෙනකුගේ ආදරණිය මවකි. වයසින් අවුරුදු 18 ක් වු ඇය නැවතත් විවාහ නොවූයේ පැවැදි වීමට ඇති සංසාර ගත පුරුද්දක් නිසා විය හැකිය.

ධර්මාශෝක රජ, අසූහාර දහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් අසූහාර දහසක් වෙහෙර විහාර කරවා, තමන් සසුනට ඇතුළත් දැයි මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් විමසා සිටි තැනේදී මහරජ, තමාගේ පුතකු හෝ දියණියක මෙම ශාසනයෙහි පැවිදි කරන්නේ නම් , ඔබ ඒකාන්තයෙන්ම ශාසනයට උරුමක්කාරයකු වනවායැයි, මොග්ගලී පුත්තතිස්ස මහ රහතන් වහන්සේ, ධර්මාශෝක රජුට දේශනා කළහ.

එවිට රජතුමා තමා බෙහෙවින් ආදරය කරන, දියණිය සහ පුතණුවන් දෙස බැලූ පමණින්ම සෙහොයුරු මහින්ද කුමරා සමඟ එක සිතින් ම පැවිදිවීමට කැමැත්ත පළ කළා ය. ඉන් පසු ඇයටද සසුන් ගතවන්නට හැකියාව ලැබිණි .

එම දෙදෙනා වහන්සේගේ ම අති උත්තම සේවාව ලැබූණේ භාරතයට නොව,අපගේ සිරිලක් මව් තුමියටය. සඟමිත් තෙරණින් වහන්සේ ඉන්දියාවේ ගතකළ කාලය පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත් එතුමියගේ මුළු ජීවිත කාලයම කැප කළේ ශ්‍රී ලංකා ධරණි තලයට ආලෝකය ලබා දීම පිණිස ය.