Print this Article


අභිමානයෙන් ජීවත් වන්නට තමන්ගේ හැකියාව හඳුනා ගන්න

අභිමානයෙන් ජීවත් වන්නට තමන්ගේ හැකියාව හඳුනා ගන්න

පින්වත් දුවේ පුතේ, ගංගා නම් ගඟ සොබා දහම ඇසුරු කරන මහා ගංගාවක්. දඹදිව පිහිටා තිබෙන යමුනා, අචිරවතී, සරභූ, මහී වැනි ගංගා අතර ගංගා නම් ගඟ අභිමානයෙන් යුතුව ගලා බසිනවා. ඒ, නැඟෙනහිරට බරවයි. ඒ කාලයේ මිනිස්සු පිරිසක් මේ විදිහට කල්පනා කරනවා.

“මේ ගඟ නැඟෙනහිර දෙසට ගලා යෑම ඒ තරම් යහපත් නෑ. බස්නාහිර දෙසට හරවන්නට ඕනෑ.”

මෙහෙම හිතලා උදලු, තාච්චි, කූඩ අරගෙන ගංගා නම් ගඟ විරුද්ධ දිශාවට හරවන්නට උත්සාහ කරනවා. ඉතින් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගෙන් මෙලෙස විමසනවා. “මහණෙනි, ඔය දේ කරන්න පුළුවන්ද?”

“භාග්‍යවතුන් වහන්ස, එය කිසිසේත් කළ නොහැකියි. ඉතිරි වන්නේ වෙහෙස පමණයි.”

භික්ෂූන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,

“මහණෙනි, නැඟෙනහිරට බරවුණු ගසක් තිබෙනවා. එහි මුලින් සිඳ දැමුවොත් ඒ ගස කඩා වැටෙන්නේ නැඟෙනහිරටමයි. අන්න ඒ වගේ තමයි. නරකට බරවුණු පුද්ගලයා ගමන් කරන්නේ නරකටමයි. යහපතට නොවෙයි. ඒ වගේම හොඳ පැත්තට බරවුණ පුද්ගලයා අයහපතට නැඹුරු වන්නේ නෑ. හරියට ගංගා නම් ගඟ ගලන දිසාව වෙනස් කළ නොහැකි වනවාක් මෙන්.” යනුවෙන්.

පින්වත් දුවේ පුතේ, පුංචි ඔබත් ඒ වගෙයි. පුංචි වයසේ දී නරකට යොමු වුණොත් එයින් ගැලවීම නම් ලෙහෙසි වන්නේ නෑ. යහපත් දෙයට යොමු වුණත් ඒ වගෙයි. කවදාවත් ඒ දරුවා වෙතින් නරක දෙයක්, අවැඩක්, අයහපතක් සිදු වන්නේ නෑ. ඒ නිසා මේ අවවාදය හොඳින් මතකයේ තබා ගන්නට ඕනෑ.

දරුවනේ, අවවාද ඇසුවේ නැති, අකීකරු පිරිස් බුද්ධ කාලයේත් සිටියා. ඒ අතර කවුරුත් දන්නා කෙනෙක් තමයි දෙව්දත් හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ වෙතින් ම පැවිද්ද ලබාගෙන, බුදුරජාණන් වහන්සේගේ ම දායකයන් පහදවා ගෙන සංඝ භේදය ඇති කරන්නට දෙව්දත් හාමුදුරුවෝ කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ සමඟ වැඩ සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ගැන වැරැදි කතා කියලා, භේද කරලා වෙනම වාසය කළා.

ඉතින් දුවේ පුතේ, දෙව්දත් හාමුදුරුවෝ උත්සාහ කළේ බුදුරජාණන් වහන්සේ වගේම වැඩ ඉන්නයි. බුදුරජාණන් වහන්සේ වගේම ධර්මය දේශනා කරන්න, ඉරියව් පවත්වන්න, බුද්ධ චීවරය වැනි ම චීවරයක් දරන්න, අවවාද අනුශාසනා කරන්න හැමවිටම උත්සාහ කළා. ඉතින් ඒ විදිහට අනුශාසනා කරන විට බොහෝ පිරිස් උන්වහන්සේට රැවටුණා. ඒ නිසාම ලාභ සත්කාර ලැබුණා.

ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙලෙස දේශනා කළා.

මහණෙනි, විශාල කැලෑවක පස් පියුමෙන් සුසැදි විලක් තිබුණා. මල් පිපිලා හරිම සුන්දරයි. මී මැස්සන්, බමරුන් රොන් ගෙනයනවා. පැන් පවස නිවා ගන්නට මුව රංචු, ඇත්පන්ති මේ විලට එනවා. මේ මහා විලට බසිනා ඇතුන් සොඬයෙන් නෙළුම් දඬු උදුරා ගන්නවා. ඒ වායෙහි මඩ සෝදා, සපා ආහාරයට ගන්නවා. මේ නිසා ඒ ඇතුන්ගේ ශරීර බොහොම පැහැපත්. ඒ විතරක් නොවෙයි. පිරිසුදු නෙළුම් දඬු ආහාරයට ගත් නිසා කිසිම ඇතෙක් අකාලයේ මිය ගියේ නෑ. සතුටින් ජීවත් වුණා.

මේ අතර අකීකරු ඇත් සමූහයක් ද සිටියා. ඔවුන් අර යහපත් ඇතුන් අනුකරණය කළා.එහෙත් වැරැදි විදිහටයි. ඒ ඇතුන් විලට බසිමින්, නෙළුම් දඬු උදුරා ගනිමින් මඬ පිටින් ම ආහාරයට ගත්තා. විලට බැසගත් විට මුළු විලම විනාශ කරනවා. මේ ඇතුන්ගේ ශරීර පැහැය වෙනස් වුණා. සමහර ඇතුන් රෝගාතුර ව මරණාසන්න වුණා.

පෙනෙනවා නේද දරුවනේ, අකීකරු අය ගුණයහපත් පිරිස් අනුකරණය කරන්න ගියවිට සිදුවන දෙය. තමන් නොදැනීම තමන්ගේ ම විනාශය ළඟා කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, මා අනුකරණය කරන දෙව්දත්ටත් සිදු වන්නේ අර ඇතුන්ට සිදු වූ දෙයමයි. වැඩිකල් නොගොස් ඔහු ද අසරණ ව මිය යනවා.”

දරුවනේ, මේ සමාජයේ බොහෝ පිරිස් අනෙක් අය අනුකරණය කරනවා. අනුන් වගේ කතා කරන්න, ඇවිදින්න පුරුදු වෙනවා. අනුකරණය කිරීම හොඳ දෙයක් නොවෙයි. යහපත් පුද්ගලයන්ගේ ශ්‍රේෂ්ට චරිත පරමාදර්ශයට ගෙන තමන්ගේ හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමයි කළ යුතු වන්නේ.

සෑම දරුවකුට ම පරමාදර්ශී බවක් තිබෙන්නට ඕනෑ. මා මේ වගේ හොඳ කෙනෙක් වෙනවා කියලා තමන්ගේ හිතේ සනිටුහන් කරගන්නට ඕනෑ. මා මගේ අම්මා, තාත්තා වගේ ගුණ ගරුක වෙනවා. ගමේ පන්සලේ හාමුදුරුවෝ වගේ වෙනවා. දුටුගැමුණු රජතුමා වගේ, ජාතික වීරවරයන් වගේ වෙනවා. මෙවැනි අධිෂ්ඨානයක් තිබෙන්නට ඕනෑ. දරුවනේ, සමහරු ටෙලිනාට්‍යවල එන චරිත අනුකරණය කරනවා. කාටුන් චරිත අනුකරණය කරනවා. ඒත් මේ තුළ කිසිදු නිර්මාණාත්මක දෙයක් බිහි වන්නේ නෑ. ඒ විතරක් නොවෙයි. වැඩි කලක් යන්නට පෙර ඒ පුද්ගලයා අසරණ වෙනවා. අනාථ වෙනවා. ඇයි? අලුත් දෙයක් නොසිතන නිසා.

සමහරු විවිධ ගායක ගායිකාවන් අනුකරණය කරනවා. එය හොඳ දෙයක් නොවෙයි. කළයුතු වන්නේ ඒ ගීත පරමාදර්ශයට ගෙන, තමන්ගේ හොඳ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමයි. අනුන් අනුකරණය කිරීම තුළ සිදුවන්නේ අර අකීකරු ඇතුන්ට සිදුවුණා සේ දුක්ඛිත තත්ත්වයට පත් වීමටයි.

දරුවනේ, තමන්ට තමන්ගේ හැකියාවන් ගැන හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනෑ. මට මේ දෙය පුළුවන් කියලා. එය මාන්නයක් නම් නොවෙයි. අභිමානයක් විය යුතු යි. පරමාදර්ශී ලෙස කටයුතු කරන්නට පුළුවන් වටිනා දරු පිරිසක් වෙන්නට මේ මොහොතේ සිටම සිතට ගන්න.