Print this Article


දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ

දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ

(ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අපවත් වී වදාළ අතිපූජ්‍ය ශ්‍රී දවුල්දෙණ ඤාණිස්සරාභිධාන මහ නාහිමිපාණන් වහන්සේගේ 105 වන ජන්ම දින ගුණ සැමරුම් නිමිත්තෙනි.)

1915 දෙසැම්බර් 31 වන දින ඌව වෙල්ලස්ස දවුල්දෙණ ග්‍රාමයේ උපත ලැබ මෙකල මිනිස් ආයුෂ කල්පය වූ වසර සියය ද ඉක්මවා, ඉතාමත් නිරෝගීව 101 වසරකට වැඩි තෙමසක් ද ආයු විඳ 2017.04.03 වන දින අපවත් වූ සේක. දේශිත සද්ධර්මය, ව්‍යක්තව, විශාරදව හා බහුශ්‍රැතව එසේ දරාගත් ධර්මයට අනුගතව තම පැවිදි බව රැක ගත් උන්වහන්සේ පෙර අපරදිග භාෂා, ශාස්ත්‍ර ඤාණ සම්භාරය හා ඉටුකර තිබූ ශාසනික මහ මෙහෙවර සලකා අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියෝ ලැබූ දෙස්, විදෙස් ගෞරව ශීර්ෂ සැම අටලොසකට වැඩි බව මගේ දැනීමයි. බුරුම රජයෙන් පිරිනැමූ අග්ගමහා පණ්ඩිත උපාධිය, භාෂා ශාස්ත්‍රහැදෑරූ කොළඹ විද්‍යෝදය පිරිවෙන වෙතින් පිරිනැමූ ශ්‍රී සුමංගල විද්‍යාව තංස යන ගෞරව නාම හා සමස්ත අමරපුර පාර්ශ්ව 22 එක් ව පිරිනැමූ උත්තරීතර මහානායක පදවිය ආදී විශේෂය.

සත්පුරුෂ ධර්මයෙහි නිරතුරුව හැසිරුණු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන පාලි ත්‍රිපිටකය අර්ථ, ධම්ම රසයනට හානි නොවන පරිදි සරල සිංහලට පරිවර්තනය කරන මණ්ඩලයේ සම්පාදකත්වයත් සභාපතිත්වයත් බොහෝ කාලයක් දැරීමෙන් සම්පාදක අනෙක් මහා සංඝයා වහන්සේත් අපගේත් සමීප ඇසුරට හේතුªවුණි. මේ මණ්ඩල හමුවේ ඇතිවන ඇසුර අද මෙන්ම එදත් සත්‍යය වශයෙන් ම සත්පුරුෂ ධර්ම කතා කරයි. කලණ මිත්‍ර හමුවෙකි. මේ ඇසුරෙන් අපවත් වී වදාළ මහානායක, අනුනායක, නායක, ස්ථවිර ආදී සත්පුරුෂ මහා සංඝරත්නය 30 කට වැඩි ප්‍රමාණයකට උපස්ථාන කරමින් කලණ මිතු ඇසුරක් පවත්වා ගැනීමට හැකි වීම පෙර පිනක්ම ය. ජන්මලාභයෙන් 105 වන වසරද, අපවත්වීමෙන් වසර 04 ට ළංවෙන අපේ මහා නාමිපාණන් වහන්සේට මේ මොහොතේ සසර ගමනේ ඉක්මන් මොහොතක උත්තම නිර්වාණයට පත්වේවායි අපි පුණ්‍යානුමෝදනා කරමු.