Print this Article


සිල් මාතාවන් සීලයෙන් ගුණයෙන් ගොඩනැඟිය යුතුයි

සිල් මාතාවන් සීලයෙන් ගුණයෙන් ගොඩනැඟිය යුතුයි

භික්ෂුණී ශාසනය හා සිල් මාතා ආරාම කලක පටන් සාකච්ඡාවට භාජනය වූ මාතෘකාවකි. නුතන සමාජ මෙහෙවරට ද කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වයක් ලැබේ. කෙසේ නමුත් තවමත් නිසි ලෙස මෙහෙණි සස්න පිහිටුවීම පිළිබඳව හෝ දැනට පැවිදිව සිටින කාන්තාවන් සඳහා නිසි පිළිගැනීමක් නොමැති බව පෙනේ.

මෙහි දී මූලික වශයෙන් භික්ෂුණී ශාසනය පිහිටුවීම පිළිබඳව ඇති කතිකාව කා අතරත් ප්‍රකට වූවකි. සුද්ධෝදන රජු රහත් වී පිරිනිවී කල්හි යශෝදරා දේවිය පැවිදිවීමට සුදානම් වූවා ය. නමුත් මහා ප්‍රජාපති ගෝතමිය යශෝධරාව අමතා සඳහන් කළේ දියණියනි, සිද්ධාර්ථ කුමාරයා ඉපදි සත් දිනක් ගත වූ කල්හි මහාමායා දේවිය කාලක්‍රියා කළා. මහාමායා දේවිය කාලක්‍රියා කරන විට නන්ද කුමාරයා ඉපදී දවස් දෙකයි. නමුත් මම නන්ද කුමාරයා කිරි මව්වරුන්ට භාර දී සිද්ධාර්ථ කුමාරයා මම හදා වඩා ගත්තා.

තෙවරක් මම පැවිදිකම බුදුන් වහන්සේගෙන් ඉල්ලුව ද එය නොලැබිණි. සිද්ධාර්ථයන් මාලිගාවේ සිටිනා කල්හි ඔහු ඉදිරියේ දී යමක් කීමට පවා අසමත් වු ඔබ දැන් කෙසේ ද සෘජුව ම පැවිදි කම ඉල්ලන්නේ.

මේ නිසා මම පැවිදිකම ඉල්ලා ගන්නම්. මම පැවිදිකම ලබා ගත් පසුව ඔබට පුළුවන් පැවිදිකම ලබා ගන්නට.

පසුව හිසමුඬු කර, කසාවත් පොරවා, මැටි පාත්‍ර ද මිලදී ගෙන, පැවිදි වෙසින් සැරසුණු මහා ප්‍රජාපතී ඇතුළු ඒ උවැසි පිරිස බුදුරජාණන් වහන්සේ වැඩ විසු විශාලා මහානුවර කූටාගාර ශාලාව පනස් එක් යොදුනක් ම පා ගමනින් ම පැමිණියහ. මහා ප්‍රජාපති ගෝතමියගේ දැඩි ඉල්ලීම වූයේ ආනන්ද හිමියනි, තෙවරක් පැවිද්ද ඉල්ලූව ද එය නොලැබිණි. මෙවර කසාවත් හැඳ පැමිණියේ පැවිද්ද ඉල්ලා ගැනීමටමයි. මෙවර පැවිද්ද නොලැබුණොත් බුදුන් වහන්සේට ද මදිකමකි. මිනිසුන් බුදුන් වහන්සේට ද නින්දා කළ හැකි ය. අපට බුදු සසුනේ පැවිද්ද ලැබෙන්නේ නම් විහාරය ඇතුළට යන බවත් , එසේ නොවන්නේ නම් ආපසු යන බවත් ඇය පැවසී ය.

මේ බව ආනන්ද හිමියන් බුදුන් වහන්සේට දැන් වූ කල්හි තථාගතයන් වහන්සේ දේශනා කළේ ( අලං ආනන්ද මා තෙ මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයේ ආගරස්මා අනගාරියං පබ්බජ්ජා ) ආනන්ද, බුදුසසුනේ ස්ත්‍රීන්ගේ පැවිදිවීම ගැන උත්සාහ නොකරන්න යනුවෙනි.

මෙහිදී ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රියක් ගිහිගෙයින් නික්ම බුදුසසුනේ පැවිදි ව සෝවාන් ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ ලබන්නට සාමර්ථ වන්නේ ද, එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්ද ස්ත්‍රියක් ගිහිගෙයින් නික්ම බුදුසසුනේ පැවිදි වී සෝවාන් ඵලය ද, අනාගාමි ඵලය ද රහත් බව ද ලබන්නට සාමර්ථ වන බව යි ( චුල්ලවග්ග භික්ෂුණික්ඛන්ධකය)

ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් හතරවෙනි වරද කාන්තාවන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියදී බුදුන් වහන්සේ , ( සචේ ආනන්ද

මහාප්‍රජාපතිගෝතමි අට්ඨගරු ධමෙම පතිගණ්හාති සාවස්ස හොතු උපසම්පදා) ආනන්ද, ඉදින් මහාප්‍රජාපති ගෞතමිය අෂ්ටගරු ධර්ම පිළිගන්නේ නම් ඕ හට පැවිදි උපසම්පදාව වේවායි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මේ වටිනා සංවාදය අතරෙහි මහා ප්‍රජාපති ගෝතමියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගෝතමිය, භික්ෂුන් හා සාධාරණ ව භික්ෂුණීන් හට යම් ඒ ශික්ෂාපද හික්මෙන්නාක් මෙන් තෙපි ද හික්මෙව් යනුවෙනි.

ඉන් පසුව බුදුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමිය ප්‍රධාන පිරිසට චාරිත්‍රානුකූලව කර්මස්ථාන දුන් සේක. ඒ බුද්ධ වචනය පිළිගත්තා වූ භික්ෂුණි සමුහය සර්ව කෙලෙස් නසා රහත් වූහ.

මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ටගරු ධර්මය පිළිගෙනැ බුදු සසුන්හි පැවිදි උපසම්පදා ලැබීමෙන් පසු මෙහෙණි සස්න ආරම්භය සිදු විය. ප්‍රජාපති ගෝතමිය මෙතරම් බැගෑපත්ව ඉල්ලා සිටිය දී ස්ත්‍රියට පැවිදි උපසම්පදාව දීමට තරමක් හෝ ප්‍රමාද වූයේ එහි වටිනාකම තව දුරටත් වැඩි කරනු අටියෙනි.

ඒ සමඟ ම උත්පත්තියෙන් ම ඉතා ම චපල වු , කාමය, කෝපය ආදිය ඉවසන්නට ශක්තියක් නොමැති කාන්තාවන්ට එකවරම පැවිදි උපසම්පදාව ලබා දීමට කටයුතු කළේ නම් බොහෝ භික්ෂුණින් ද ශාසනය ලිහිල් කොට සලකනු ඇත.

කෙසේ නමුත් චිර බුද්ධ කාලයේ දී භික්ෂුණි ශාසනය ආරම්භ වු අතර ක්‍රි . පු තුන්වන සියවසේ දී ලක්දිව මෙහෙණ සස්න ආරම්භ වූයේ ධර්මාශෝක රජුගේ ධර්ම දූත සේවාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කොට අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන් පැවිදි කිරිමෙන් පසුව ලක්දිව භික්ෂුණි ශාසනය ආරම්භ විය. එය 11 වන සියවස දක්වා ම පැවති බවට සාක්ෂි ඇත. හයවන සියවසේ දී ලංකවෙහි භික්ෂුණි ශාසනය ඉතා දියුණු මට්ටමක පැවතිණි. ලංකාවෙන් චීනයට ගොස් එහි භික්ෂුණි සාසනය පිහිටුවීමට තරම් ලංකාවේ භික්ෂුණි ශාසනය දියුණු මට්ටමක පැවතිණි.

නමුත් ලංකාවේ මෙහෙණ සස්න අභයගිරි නිකායට අයත් භික්ෂුන් විසින් පිහිටුවන ලද්දක් බැවින් ථේරිය භික්ෂුහු එය පිළිගැනීමට කැමැති නොවුහ. තවමත් සියම් , බුරුම, කාම්බෝජ, ලාඕස ආදි රටවල ථෙරවාදි මහා තෙරුන් වහන්සේලා චීන මෙහෙණ සස්න පිළිනොගනිති.

පොළොන්නරු කාලයේ දී ලංකාවේ පමණක් නොව ලෝකයේ ම භික්ෂූණී සාසනය නොතිබු බව සාරිපුත්ත ටීකාචාර්යන් වහන්සේ සඳහන් කරති. (ඉමස්මිංච කාලේ භික්ෂුණි සංඝො නත්ථි) මෙ කල භික්ෂුණී සංඝයා නොමැත. එමෙන් ම අනුරාධපුර යුගයෙන් පසුව කිසිදු රජ කෙනෙක් මේ සඳහා උනන්දු වී නොමැති බව පෙනේ.

වර්ෂ 1996 දී දඹදිව බරණැස ඉසිපතනාරාමායේ දී භික්ෂුණි උපසම්පදා විනය කර්මයක් සිදු කළ බවට පුවතක් සඳහන් වේ. උපසම්පදාවට අදාළ විනය ප්‍රඥප්තින් කෙසේ යොදා ගත්තේ ද යන්න සඳහන් නොවේ. නමුත් මහායාන සම්ප්‍රදායට අයත් භික්ෂුණීන් විසින් සිදු කළ විනය කර්මය ථෙරවාදිහු පිළිනොගනිති. 1988 වර්ෂයේ දී අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මා හිමියන් ඇතුළු තෛ‍්‍රනිකායික මහානායක මා හිමිපාණන් වහන්සේලා 300 නමකගේ ප්‍රධානත්වයෙන් සම්මත කරන ලද ලේඛනයෙහි දැක්වෙන ආකාරයට රජය කළ යුතු වන්නේ දැනට සිටින දසසිල් මෑණිවරුන්ට පවතින අඩුපාඩුකම් සොයා බලා අවශ්‍ය පහසුකම් සලදා දීමයි.

භික්ෂුණි යන්න නැතත් ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කරගත හොත් මාර්ගඵල ලාභීන් බවට පත් වීමට කිසිදු බාධාවක් නොමැති බව යි.

මෙහි දී අවධාරණය කර ඇත්තේ ධර්ම විනයට පටහැනිව පිහිටවිය නොහැති මෙහෙණි සස්න ගැන කතා කරනවාට වඩා දස සිල්

මෑණිවරුන් සීලයෙන් ගුණයෙන් අනූන පිරිසක් ලෙස ගොඩ නැඟිය යුතු බව යි.

කෙසේ නමුත් භික්ෂුණි ශාසනය බුද්ධ කාලයේ දී ම ආරම්භ වීම වු කලි කාන්තා විමුක්තිය සදහා බෙහෙවින් ම ඉවහල් වු බව පෙනේ. බුද්ධ කාලයේ ආරම්භයේ දී පුරුෂාධිපත්‍යය පැතිර තිබිණි. කිසිදු සමාජ වගකීමක් නොදි සිටි ඇයට යම් ආකාරයකින් පවුලක ගැහැනු දරුවකු ලෙස ඉපදීම අභාග්‍යක් සේ සැලකිණි. බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අනතුරුව පුරුෂයාට මෙන් ම, ස්ත්‍රියට ද යුතුකම් පහක් හඳුන්වා දීම සිදුකළ සේක.

එසේ ම බුදුන් වහන්සේ රහතන් වහන්සේ හා මව් පිය දෙදෙනා පින් කුඹුරු වශයෙන් හඳුන්වා දෙන ලදි. සිවුවණක් පිරිසෙන් භික්ෂුණී හා උපාසික යන පිරිස ගැන දක්වමින් පෙන්වා දී ඇත්තේ කාන්තාවන් ද ශාසනයෙහි වැඩි බරක් දරන බවකී.