Print this Article


දුමින්දාගමනයෙන් ඔපවත් වූ හෙළ කත හා හෙළදිව

දුමින්දාගමනයෙන් ඔපවත් වූ හෙළ කත හා හෙළදිව

උඳුවප් පොහොය එළඹෙත් ම අපට දැනෙනුයේ මහත් අභිමානයකි. මහින්දාගමනය සිදුවී මාස හයකට පසුව ලක්දිව ඉතිහාසය වෙනස් කරමින් ලක්දිවට නව ආලෝකයක් එක් කරමින් සිදු වූ සුවිශේෂීතම මෙන්ම, ඓතිහාසික වැදගත් ම සිදුවීම නම් දුමින්දාගමනය හෙවත් සංඝමිත්තාගමනයයි.

ලක්දිවට බුදුදහම ලැබීමත් සමඟ මෙරට ජන චින්තනයේ අසමසම වෙනසක් ඇති විය. මෙරට ජනාවාස ආරම්භය සිදුවන්නේ විජයාගමනයත් සමඟ ය. මෙම ජනාවාසකරණයෙන් පසුව හෙළ සංස්කෘතිය ඔවුන්ගේ ආභාසය ඇති ව වර්ධනය වන්නට ඇත.

දෙවනපෑතිස් රාජ්‍ය කාලය තුළ සිදු වූ අතිශය වැදගත් සුවිශේෂි සිදුවීම් හේතුවෙන් එම සමාජ ක්‍රමය වෙනස් කරමින් හෙළ සංස්කෘතියට පුනර්ජීවන අවස්ථාවක් උදාවිය. මහින්දාගමනයත් සමඟ ඇති වූ සමානාත්මතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙරටට වැඩමවීම සිදු විය. එය ලක්දිව කාන්තා පරපුරේ විමුක්තිය ප්‍රායෝගිකව ලබා ගත් කාලච්ඡේදයක් වශයෙන් හැඳින්විය හැක. එතෙක් මෙරට පැවති බ්‍රාහ්මණ සංකල්ප බිඳහෙළමින් කාන්තා විමුක්තියත්, කාන්තාවගේ සැබෑ අවබෝධයත් නිවැරැදිව සමාජගත කරමින් ලාංකේය සමාජය වෙත මහඟු අවස්ථාවන් උදාකරවූවක් ලෙස දුමින්දාගමනය සිහිපත් කළ හැක.

උඳුවප් පොහෝ දින සිදු වූ සුවිශේෂී සිදුවීම් ත්‍රිත්වයකි. එනම් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීම, දහ අට කුලයක වෘත්තීමය පිරිසකගේ පැමිණිම යන සංසිද්ධීන් තුනම මෙහිදී වැදගත් වේ.

එබැවින් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ආගමනය මෙරටට සිදු වූ සංස්කෘතිකාගමනයක් ලෙස අර්ථගැන්විය හැක. බුදුරජාණන් වහන්සේගෙන් පවා පිදුම් ලැබූ උතුම් ඇසතු බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශ්‍රී ශාඛාව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීම පරිදි මෙරටට වැඩමවා, අනුරාධපුර මහමෙව්නාවෙහි රෝපණය කිරීම මෙම උතුම් පොහොය දිනට සමගාමිව සිදුවූ පූජනීය සිදුවීමකි. එම බෝධීන් වහන්සේ මෙරට රෝපණයෙන් පසුව මනාව පෝෂණය ලබනුයේ, පුදසත්කාර ලබමින් ලක්ධරණි තලයේ මුල් බැස ගන්නා ලදී.

එලෙස ම හෙළ සංස්කෘතිය ද එදා සිට මනාව පෝෂණය වෙමින්, මුල්බැස ගනිමින්, විශාල ප්‍රබෝධයකින් සංවර්ධනය වූ බව නොරහසකි. නූතන ලෝකයේ ප්‍රෞඩ ඉතිහාසයක් හා සංස්කෘතියක් ඇති එක ම ජාතිය ලෙස සිංහල ජාතිය ගෞරවයට පාත්‍ර වනුයේ මහින්දාගමනයේ හා දුමින්දාගමනයේ ප්‍රතිඵල නිසාවෙනි. හෙළ කාන්තාව ලැබූ සුවිශේෂි විජයග්‍රහණය වනනේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ආගමනයයි.

සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සමඟ තවත් භික්‍ෂුණින් වහන්සේලා වැඩි බව දීපවංසයෙහි සඳහන් වේ. උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, පබ්බතා, මත්තා, ධම්මදාසියා, මහාදේවී, හේමසා, අංජලී, පදුමා, සුබා යන තෙරණින් වහන්සේලා සඟමිත් තෙරණින් සමඟ මෙහි වැඩි අවශේෂ භික්‍ෂුණින් වහන්සේලා ය.

ඒ වනවිට මාර්ගඵල ලබා දසසිල් සමාදන් ව සිටි දේවානම් පියතිස්ස මහ රජුගේ සොහොයුරියක වන අනුලා දේවිය හා කුලකාන්තාවන් පන්සියයක් දෙනා පැවිදි කොට ලංකාද්වීපයෙහි භික්‍ෂූණි ශාසනය පිහිටු වීය. ලක්දිව කාන්තා පැවිද්ද මෙසේ ආරම්භ වීමත් සමඟ හෙළ කාන්තාවන් විෂයයෙහි ස්වකීය භාග්‍ය සාධනය විය.

තම අභිමතය පරිදි කුසල් සිදුකිරීමත්, සසුන්ගතවීමත් වරප්‍රසාද හිමිවීමත් සමඟ දහස් ගණනින් හෙළ කාන්තාවෝ පැවිදි වූහ. විශේෂයෙන් ම මෙලෙස පැවැදි වූ මුල් ම කාන්තාවන් පන්සියය දෙනා මෙන් ම පසුකාලීන ව පැවිදි වූ විශාල පිරිසක් රාජකීය කාන්තාවන් විය. එමෙන් ම අන්තඞපුර ස්ත්‍රින්, ප්‍රභූ කාන්තාවන් හා සමාන්‍ය කාන්තාවන් ද තම සිතැඟි පරිදි සසුන්ගත වී විමුක්ති සුවය ලබා ගන්නා ලදී.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඇරඹි මෙරට භික්‍ෂුණි ශාසනය අනුරාධපුරයේ පටන් පොළොන්නරු යුගයේ මුල් භාගය දක්වා පැවතිනි. මෙලෙස පැවිදි වූ භික්‍ෂුණීන් වහන්සේලා හෙළ සමාජයෙහි උන්නතිය විෂයෙහි විශාල සේවයක් කළ බව ඓතිහාසික මූලාශ්‍රය කරුණු දක්වයි.

හත්ථාළ්හක මෙහෙණවර නම් ආරාමය මෙරට ඉතිහාසයේ ප්‍රාරම්භ භික්‍ෂුණි ආරාමයයි. පසුව ලක්දිව විවිධ ප්‍රදේශයන්හි ආරාම ඉදිකිරීමත් සමඟ භික්‍ෂුණි ශාසනය මෙරට සීඝ්‍ර ව්‍යාප්තයක් විය. දීපවංසයට අනුව මහිලා, සමන්තා, ගිරිකාලි, දාසි, කාලි යන භික්‍ෂුණින් වහන්සේලා ප්‍රධාන කොටගෙන විසිදහසක් භික්‍ෂුණින් වහන්සේලා රුහුණේ සිට අනුරාධපුරයට වැඩම කොට විනය ඉගැන්වූ බව ද, උක්ත විනයධර භික්‍ෂුණින් වහන්සේලා විනය ඉගැන්වීමේ දී ඉතා ප්‍රශස්ත මට්ටමකින් එම කටයුතු සිදුකළ බව ද දක්වා ඇත. සිව් වනක් පිරිසටම වැදගත් වන ‘විනයො නාම සාසනස්ස ආයු’ යන න්‍යායෝපගත ව විනයට ම ප්‍රමුඛත්වයක් දෙමින් ලක්දිව මෙහෙණි සස්නට මඟ පෙන්වා ඇත.

භික්‍ෂුණි ශාසනයෙහි ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකි දුටුගැමුණු රාජ්‍ය කාලයෙහි සිය දහස් ගණනින් භික්‍ෂුණීන් වහන්සේලා මෙරට වැඩසිටියහ. මහාථූප පූජෝත්සවය සදහා වැඩම කළ භික්‍ෂුණින් වහන්සේලාගෙන් දහහතර දහසක් ම රහත් තෙරණින් බව මහා වංසය පවසයි.

ජය කොන්තය ස්ථාපිත කොට නිම වූ මිරිසවැටි පූජෝත්සවයට භික්‍ෂුණින් වහන්සේලා අනූපන් දහසක් ද සහභාගී වූහ. මේ අයුරින් මෙරට සියදහස් ගණනින් භික්‍ෂුණින් වහන්සේලා වැඩ සිටි බවට ද දුමින්දාගමනයෙන් ලද භාග්‍ය හේතුවෙන් මෙරට කතුන්ට විමුක්තිය ද සාධනය වූ බව ද මේ අනුව පැහැදිලිය.

එසේම දුමින්දාගමනයත් සමඟ මෙරටට සිදු වූ සාධනීය දේ බොහෝ ය. ඒ අතර උන්වහන්සේ සමග පැමිණි පිරිසෙන් ව්‍යාප්ත වූ වෘත්තීය දහ අට මෙරට සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික සියලු අංශයන්ගේ නව පිබිදීමක් ඇති කළහ.

සමුදුර පරයන මහා වැව් ද, අහස් කුස දක්වා නැඟි මහා ථුපයන් ද, ගද්‍ය පද්‍ය සාහිත්‍යය ද, ගත සිත නිවන සාමාධි ප්‍රතිමා ආදී කලා කෘති ද නිර්මාණය වීම ම දුමින්දාගමනයෙන් ලක් දිව ලැබූ අසිරිමත් ප්‍රතිඵලයන් ය.

උඳුවප් පොහොය දින සිදු වූ දුමින්දාගමනයත් සමඟ ඇරඹි ලාංකේය භික්‍ෂුණි ශාසනයෙහි විශාල පිබිදීමට සඟමිත් තෙරණියගේ මඟපෙන්වීමත්, මෙරට කුල කතුන්ගේ පුණ්‍ය බලයත් හේතු වූ බව පැහැදිලි ය. සියවස් ගණනාවක් තිස්සේ පැවත එන භික්‍ෂුණි ශාසනය ද, සිය දිවි දෙවැනි කොට ලක්දිව රැකි විහාරමහා දේවී, සෝමා දේවී වැනි රට රැකුමට පුතුන් තැනූ අනුස්මරණිය කාන්තා පෞරුෂය ද, හෙළ දිව සියලු අංශයන්ගේ ස්වයංපෝෂිත කිරීමට ඉවහල් වූ වෘත්තීය නිපුණත්වය ද දුමින්දාගමනයෙන් ලද දායාද ලෙස ප්‍රතිපත්තිමය කෘතවෙදීත්වයෙන් සිහිකරමු,