Print this Article


අසිරිමත් උඳුවප් පොහොය

අසිරිමත් උඳුවප් පොහොය

උඳුවප් පොහොය දිනය හා සම්බන්ධ ව පවත්නා ඉතා වැදගත් ඓතිහාසික සිදුවීම් නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්ෂුණී සමාජය ආරම්භවීමත් ය.

දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා එකොළොස් නමක් විසින් වැඩම කරවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබී ය.

ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධීන් වහන්සේ එහි සිට අනුරාධපුර මහමෙව්නා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත.

මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්, පුද සත්කාර, පිණිස නතර කොට තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ පුද පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.

මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද , තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ. මේ අනුව ලංකාවේ සියලුම ප්‍රභූ ජන නායකයින් ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස බෝධි රෝපණ මහෝත්සවය සිදු වී තිබේ.

සතියක් පුරාම පැවති මෙම උත්සවයේ දී නගරවාසීන් නටමින් ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබෙන බැව් සිංහල බෝධි වංසයෙහි මෙසේ දැක්වෙයි.

නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින්, බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින්, එළුසන් ඔල්වර හඬ ගසමින්, අත් පොළසන් දෙමින්, දහස් පිළි ඉස් මුදුනෙහි නටවමින්, ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථීයෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙව්නා උයනට පමුණුවා බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වූ පළමු බෝධි පූජාව දේවානම්පියතිස්ස රජු විසින් සිදුකරන ලදී. එම පළමු බෝධි පූජාව නම් බෝධින් වහන්සේ වැඩම වූ නෞකාව නැංගූරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන් කොට, තුන් වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීමයි.

ඉක්බිතිව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ද සංඝමිත්තා මහ රහත් තෙරණිය ද,රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙලින් පූජා පැවැත්වූ බව සිංහල බෝධි වංසයෙහි දැක්වෙයි. මෙම ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදාතුර ඒ හා සම්බන්ධ විවිධාකාර වූ පුද පූජා සේ ම උත්සව සිදු කෙරිණි.

දුටුගැමුණු රජු විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වැනි පරිච්ඡේදයේ දැක්වෙයි. භාතිකාභය රජු ඉතා සිත්ගන්නා සුළු බෝධි පූජාවක් සිදු කොට තිබේ.

ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවනපෑතිස් රාජ්‍ය සමයේ සිදුකළ ආකාරයේ අසිරිමත් බෝධි පූජා පෙරහරක් ද, බෝධියට විශේෂ නානු මුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නො කොට බෝධි පූජා පැවැත්වී ය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බෝධි පූජා උත්සවය කිහිපයක්ම පවත්වා තිබේ.

ආභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනිම බෝධි පූජා කිහිපයක්ම පැවැත්වූහ. ඪම වන මහින්ද රජු බෝගෙයක් ඉදි කිරීමට ගිය අවස්ථාවක දී බෝ අත්තක් කැඩී යාම නිසාද මහා බෝධිපූජාවක් සිදු කළේ ය. මිහින්තලයේ සිට මිහිඳු මා හිමියන්ගේ ප්‍රතිමාවක් අනුරාධපුරයට වැඩමවා ගෙන ගොස් එය එක්තරා විශේෂ ගෘහයක් තුළ තැන්පත් කොට, පසුව මහ බෝ මළුවට වැඩමවා ගෙන අවුත් තෙමසක් මුළුල්ලේ පුද පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක් ද එකල පැවතුණි.

අනුරාධපුර යුගයේ පටන් ම වැස්ස ලබා ගැනීමට ද, රටට ආරක්ෂාව ලබා ගැනීමට ද රාජ්‍ය මහා මාත්‍යාදීන් ගේ පටන් සාමාන්‍ය මහ ජනතාව ද බෝධි පූජා සිදු කළහ. ස්ථාන අටක හා දහසයක බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේ ය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන අංග ලෙස කුඩ කොඩි එසවීම , තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැතිවීම, හේවිසි වාදනය, සුදුවැලි ඉසීම, බෝධිය නෑවීම හා චීවර පෙරවීම යනාදිය පෙන්වාදිය හැකි ය.

සිරිමහ බෝ සමිඳු සිරිලකට වැඩමවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධ ව ඉතා වැදගත් තැනක් ගනියි.

සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට සැපත්වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා, දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා, මහාදේවී,පදුමා, හේමසා, උන්නලා, අංජලී, සහ සුමා යන භික්ෂුණීන් ද සිටි බව දීපවංසයෙහි සඳහන් වෙයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත් වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.

දීපවංසයෙහි සඳහන් පරිදි අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමා, ධම්මපාලා. මහිලා, ඝණ්හා, කාලි, උත්තරාධම්මා සහ සෝභනා යන කාන්තාවෝ සිටියහ. දේවානම්පියතිස්ස රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණූ මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැඟිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලා ගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එහිම වාසය කළා ය.

මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන් අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත්, කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. එහෙත් උත්තිය රජුගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් නව වන වසරේදී සංඝමිත්තා තෙරණිය ගේ පරිනිර්වාණයත් සමඟම එහි පරිහාණියක් දක්නට ලැබෙයි. දුටුගැමුණු රාජ්‍ය සමය මෙරට භික්ෂුණී සමාජයේ දීප්තිමත් යුගයක් විය.

ලාංකික භික්ෂුණීහු අධ්‍යාපනික කටයුතුවල සේ ම, සමාජ සේවාවන්හි ද නිරත වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඔවුනගේ සේවාවන් මෙරටට පමණක් සීමා නොවීය. 5 වන සියවසේ දී මහානාම රජ දවස චීනයේ භික්ෂුණී සමාජය පිහිටවූයේ ලංකාවෙන් චීනයට වැඩම වූ දේවසාරා භික්ෂුණිය ප්‍රමුඛ දූත කණ්ඩායමයි. අනුරාධපුර යුගයේ මෙරට භික්ෂුණී සමාජය කෙතරම් දියුණුව පැවතියේ ද යන්න එමඟින් පැහැදිලි ය.

ධර්මාශෝක යුගයෙන් පසු දඹදිව භික්ෂුණී සමාජය පිරිහී ගිය ද ලක්දිව එය දිගින් දිගටම ව්‍යාප්ත වුණි. එහෙත් අනුරාධපුර යුගයේ පරිහානියත් සමඟ අනුක්‍රමයෙන් සමාජය ද පිරිහීමට පටන් ගත්තේ ය.පොළොන්නරු යුගයේ මුල් භාගය වන විට එය මුළුමනින් ම අභාවයට ගියේ ය. මහා විජයබාහු රජුගේ කාලයට පෙර එය අභාවයට යන්නට ඇතැයි. අනුමාන කළ හැකි ය. පෙර භික්ෂුණීන් සමාජය සිහිගන්වමින් දැනට ලංකාවේ පවත්නා” දසසිල් මාතා සංවිධානය” ක්‍රමානුකූකල ව සකස්කොට එය දියුණු කිරීමට පියවර ගැන්ම කාලීන වශයෙන් බෙහෙවින් ම යෝග්‍ය වන්නේ ය.