[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හදිසි අනතුරුවලින් මිදීමට දහම පිහිට කරගනිමු

හදිසි අනතුරුවලින් මිදීමට දහම පිහිට කරගනිමු

ගැඹුරු බණ ඇසීමට වඩා සරල බණ කතා ඇසීමට බොහෝ දෙනා කැමැති ය. සරල බණ කතාව වුව ද විචාර පූර්වක ව සිතීමෙන්, විමසීමෙන් ගැඹුරු දහමක් දැන ගැනීමට හැකියාවක් ලැබේ. විචාරයෙන්, විමසීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි කතා පුවතකි, මෝර පිරිතේ නිදාන කතාව.

හිමාලය පර්වතය අසල හිරණ්‍යක නම් පව්වේ විසු එක්තරා සුවිශේෂී මොණරෙක් විය. ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවියන් නමදින මොනරා අනතුරුව සියලු සත් බුදුවරයන්ට වඳියි.

මෙසේ සොබා දහමට හිත මනාප ව උතුම් බුදුවරයන් වහන්සේලා ගැන සිහිපත් කොට තැන්පත් සිතින් පිටත්ව යන හෙයින් කිසිදු දඩයක්කාරයකුට හසු නො වී ආරක්ෂිතව ගොදුරු සොයා බැහැරට ගොස් යළි නවාතැනට පැමිණීමට මොනරාට බාධාවක් නො වී ය.

මෙසේ අනතුරට ලක් නොවී වෙසෙන මොනරා ගැන ඇසූ රටේ රජුගෙ අග බිසවට මොනරා අල්ලාගෙන අවුත් දැක ගැනීමට රිසි උපන. රාජකීය හේවායෝ මේ සුවිශේෂ මොනරා අල්ලා ගැනීමට කොතෙක් වෙහෙසුණත් ඒ හැම වෑයමක් ම සඵල නො වීය.

උපන් ආශාව නො සන්සිඳුණේ ම රජ බිසව ශෝකයෙන් මළා ය. මෙයින් කෝපයට පත් රජු මොනරාගෙන් පළි ගැනීමට සිතා අසවල් පර්වතයේ වෙසෙන සුවිශේෂී වූ මොනරා මරා දැමීම පහසු නො වන බවත්, යමෙකුට එසේ කළ හැකි නම් ඔහු අජරාමර වන බවත් තල් පතක ලියා තැබී ය. ඒ රජුගෙන් පසුව රජ වූ කිහිප දෙනකුම රජවරු මොනරා මරා දැමීමට උපා යෙදූ මුත් ඒ හැම අසාර්ථක විය. එක් රජෙක් මේ මොනරා ඝාතනයට විශේෂ උපායක් යෙදී ය.

එක්තරා දක්ෂ දඩයක්කාරයකු කැඳවා “නුඹ මොනරාගෙ ගැහැනු සතකු, සෙබඩක සොයාගෙන වුත් හිරණ්‍යයක පව්වේ වෙසෙන මොනරා ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවිඳුටත්, සත් බුදුන්ටත් වඳින විට මොනරාට ඇහෙන ලෙස සෙබඩව කෑ ගස්වන්නට සලස්වන්න. එවිට සෙබඩගේ කෑ ගැසීමෙන් සිත කලබලයට පත් කරගනු ලබන මොනරා ක්‍රමයෙන් වන්දනා කිරීම නවතා අවුල් සිතින් ගොදුරු සොයා වනයට යනු ඇත. ඔබට ලෙහෙසියෙන් ම මොනරා ග්‍රහණයට ගත හැකි වෙතැයි” උපදෙස් දී දඩයක්කරුවකු පිටත් කර හැරියේ ය.

රජු කී ලෙසින් ම දඩයක්කරු ද සෙබඩ ලවා කෑ ගැස් වූ නමුදු මොනරා වන්දනා සිදුකොට වනයට නික්මිණ. නිරතුරුවම ගැහැනු සතාගෙ කට හඬ ඇසෙන විට මොනරාට එය නො අසා සිටීමට නො හැකි විය. දිනපතාම උදෑසන ඇහෙන ස්ත්‍රී කටහඬට රාගික ව බැඳුණු මොනරාට බුද්ධ වන්දනාව, හිරු වන්දනාව නිසි පරිදි කළ නොහැකි වූයේ කෙමෙන් වන්දනාව නැවැත්වීය. දැන් හේ මහත් ආසාවෙන් සෙබඩගෙ කටහඬ අසයි. රාගයෙන් බැඳුණු අවුල් සිතින් ගොදුරු සොයා වනගත වෙයි.

රාග සිත කිලිටිය. අවුල් ය. විපත් ඇති කරවන සුළුය. එහෙයින් කිලිටි සිතින් වනගත වූ මොනරා පහසුවෙන් ම දඩයම්කරුගේ ග්‍රහණයට හසු විය.

මේ කතාවෙන් ගත හැකි පාඩම ඉගෙන ගන්න. හිත කිලිටි වූ විට බාහිර බලවේගවලට, අඳුරු සෙවනැලිවලට ළංවීමට පුළුවන. යම් විටෙක හිත පිරිසුදු වේ ද, එවිට මාර්ග අනතුරුවලින් මිදී ගමන නිම කළ හැක. පටන් ගනු ලබන ව්‍යාපාර සාර්ථක වනු ඇත. මුල්ගල් තබා අරඹන ඉදිකිරීම් සිතූ ලෙසින් නිමවනු ඇත.

මේ කතාවෙන් කී උපදේශනය දැන හෝ නො දැන පැරැන්නෝ මෙවැනි සත් පිළිවෙත් අනුගමනයෙන් උවදුරුවලින් මිදුණාහ. ජීවිත සාර්ථක කර ගත්හ. ගමනක් පිටත්වීමට පෙර සුබ දසුනක් හමුවන තුරු මදක් රැඳෙන සිරිත එදා පැවතිණ. රියැදුරු එක්වරම රිය පණ නො ගන්වා හඳුන්කූරක් දල්වා දෑත් එකතු කොට සුක්කානමට වැඳ මොහොතක නිහැඬියාවෙන් අනතුරුව රිය පණ ගන්වා ගමන පිටත් විය.

මුල් ගලක් තබයි නම් මුල් ගල අතේ තබාගෙන නියම කර ගත් වෙලාව උදාවනතුරු නිහඬව සිටීමේ හැකියාව තිබිණ. කුමන දෙයක් කිරීමට ඇරඹුවත් මොහොතක නිහඬව සිටීමේ පුරුද්ද පැරැන්නන් තුළ තිබිණ. සංකීර්ණ සමාජ රටාව තුළ කාර්ය බහුල බැවින් සිහි නුවණින් තොරව කටයුතු , ගමන් බිමන් ඇරඹීමේ අමිහිරි ප්‍රතිඵල අපි දිනපතාම අසමු. පිරිසුදු සිත දවස පුරාම රඳවා ගත නො හැකි නම්, ආරම්භයේදීවත් පිරිසුදු සිතින් ශක්තිමත් විය යුතුයි. මේ අවස්ථාවටම ගැළපෙන කතාවක් මහා භාරතයෙ එයි.

නල දමයන්ති ප්‍රේම කතාවේ දී දමයන්තිය සරණ පතා වූ ස්වයංවර විවාහයේ දී සුර අසුර මිනිසුන් මැඳ දමයන්තිය නල කුමරු තෝරා ගත්තා ය. ස්වයංවරයට පමා වී පැමිණි ද්වාපර අසුරයා සුර අසුරයන් අමතක කොට නල කුමරුන් තෝරා ගැනීම ගැන වෛරයෙන් නල දමයන්ති දෙදෙනාගෙන් පළිගැනීමට වසර දොළහක් ම පසු පසින් සිටියේ ය. වරදක් ද්වාපරට නො පෙනිණ.

දිනක් නල කුමරු වැඩ අධික වේලාවක කැසිකිළියට ගොස් පිරිසුදු නොවී දෙවොලට පිවිසියේ ය. ඒ වරද අවුල් සිතින් සිදු වූ විටම ද්වාපර ආරූඪවී නල කුමරුන් විරූප ගන්වා දමයන්තියගෙන් නල කුමරු වෙන් කළේ ය.

මෝර පිරිතේ මොනරා ද විපතට පත් වූයේ වන්දනාව නවතා රාගයෙන් සිත කිලිටි වූ විටයි. නල කුමරුට ද්වාපර ආරූඪ වී විපත් පැමිණෙව්වේ ද, අවුල් සිතින් ද, අපිරිසුදු කයින්ද, දෙවොලට ඇතුළු වූ විට ය. එහෙයින් බුදු දහමින් ලැබිය හැකි පිළිසරණ තේරුම් ගන්න. සිහි නුවණින් තොරව, අවුල් මනසින්, කිලිටි සිතින් අරඹන ගමන බිමන මෙන්ම අනෙකුත් කටයුතු ද අතර මඟ නැවතී ජීවිතයේ අඳුරු සෙවණැලි වැටීම නො වැළැක්විය හැකි බව සිතන්න.

යන එන ගමන් බිමන් , කරන කියන කටයුතු අරඹන්න පෙර මොහොතක් නිහඬවන්න අපිරිසුදු සිතිවිලි බැහැර කරන්න. සුබවාදීවත් අසුබවාදීවත් නො සිතා සැබෑ ලෙසින් අරඹන දෙය ගැන සිතන්න. ඔබ අරඹන හැම දෙයින්ම ශුභඵල ලැබෙනු ඇත. සැබෑ ලෙසින් සිතීම නම් විදර්ශනාවයි. විදර්ශනාව බුදු දහමේ ඉගැන්වෙන මූලිකම පාඩම බව අමතක කරන්න එපා.

  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]