Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ වාසය කරන අවධියේ දී උදේන රජු ගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නො තකා අසරණ, කොට අත් හරින ලද අතර, තැන තැන යෙමින් දුක සේ කල් යැවුවා ය. මෙම ඇතින්න ශක්තිමත් සමයෙහි රජු ගේ මඟුල් ඇතින්න වැ සිට මහත් සත්කාර ලැබුවා ය. යුද්ධවලදී ද රජුට ජය ලබන්නට සහාය වුවා ය. එහෙත් මෙම ඇතින්න මහලු ව දුර්වල ව කිසිත් කරන්නට නො හැකි වූ විට රජු අන් ඇතකු මඟුලැත් තනතුරට පත් කොට ඇය නො සලකා හැරියේ ය. එතැන් සිට එම ඇතින්න සුදුසු පමණ අහරක් හෝ ඉන්නට නිසි තැනක් හෝ නො ලැබ තැන තැන ඇවිදිමින් දුක සේ කල් ගෙවුවා ය.

එක් දිනෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬුසිගා වඩින්නා දැක මෙම භද්‍රවතිකා ඇතින්න උන් වහන්සේ වෙත අවුත් පා මුල වැටී තමා විඳීනා දුක අඟවනු රිසියෙන් ශබ්ද නඟා හැඬුවා ය. ඇය ඇඟැවු අදහස භාග්‍යවතුන් වහන්සේ දුටු සේක.ඉන්පසු ව ‘සිතට දුක් නොගන්න මම ගොස් පළමුවෙන් ඔබට ලැබී තිබුණු ලෙසට ම සත්කාර සලසවන්නෙමි' යි වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදේන රජුගේ මාලිගාවට වැඩි සේක. රජු ද බුදු පාමොක් සඟනට දන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ දන් වළදා අවසන “මහරජ,ඔබේ භද්‍රවතිකා ඇතින්න කොයි දැ යි විචාළ සේක. එවිට රජ නො දනිමි'යි භාග්‍යවතුන් වහන්ස, යැයි සැල කළේය.

එ විට භාග්‍යවතුන් වහන්සේ රජුට අවවාද කරන සේක් , ‘ මහරජ තමනට උදවු කළ අයට ශක්තිමත් කාලයේ දී සත්කාර සම්මාන කොට,උන් මහලු වූ කල එය පැහැර හැරීම නො වටී. ඔබ හැම කළගුණ දන්නවුන්,කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කරන්නවුන් විය යුතය. භද්‍රවතිකා දැන් මහලු ය. ජරා ජීර්ණ ය.අසල වනෙහි වැටකේ ආදී නීරස දෑ කමින් අනාථ වැ කල් ගෙවයි. මහලු වූ ඇය අනාථ වන්නට ඉඩ හැරීම ඔබට නො වටී.පෙර සේ ම ඇයට සත්කාර කරන්නැ ‘යි වදාළ සේක.

එවදන් ඇසූ රජ තම වරද පිළිගෙන වහා ම කෙනෙකු යවා ඇතින්න ගෙන්වී ය. ඇයට පළමු සේම සත්කාර සැලැස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ භද්‍රවතිකා ඇතින්නට සෙත සලසා ඝෝෂිතාරාමයට වැඩි සේක.

මෙම සිදුවීම පාදක කොට ගනිමින් මෙවර බුදුසරණ කවරය සිතුවම් කොට ඇත.