Print this Article


විඩාබර ජීවිතය අස්වැසූ බුදු ගුණ

විඩාබර ජීවිතය අස්වැසූ බුදු ගුණ

ජනකවි ගායනාවන් තුළ අන්තර්ගත වන්නේ හුදු රසවින්දනයක් පමණක් ම නොවේ. ඒ තුළින් පුද්ගල ජීවිතයෙහි යථාර්ථය ද ඉස්මතු කරන බව පැහැදිලි වේ.

ගැමි ජනයා සිය ජීවනෝපාය පවත්වාගෙන යාමේ දී මෙන් ම, එදිනෙදා තම කර්තව්‍යයන් සිදු කිරීමේ දී සිය දුක්බර ජීවන තොරතුරු දක්වමින් ප්‍රකාශයට පත් කරන ලද ගායනා ජන කවි වශයෙන් හඳුනාගත හැකි වෙයි. මේවායෙහි අන්තර්ගත වනුයේ ජීවිතයේ සුඛ, දුක්ඛ වේදනාවන් ය. නිශ්චිත නිර්මාණකරුවකු හඳුනාගත නො හැකි මෙම ගායනාවන් තුළින් අව්‍යාජ බව මෙන් ම, පුද්ගල ජීවන යථාර්ථය පිළිඹිබු කෙරේ.

ඉතා සංවේදී මෙන් ම නිර්මාණාත්මක කලා අංගයක් වන ජන කවිය තුළින් ජනතා සිතුම් පැතුම් , අභිලාෂයන් ඉතා සංවේදී ව නිරූපණය කරන්නට සමත් වී ඇති අයුරු සුවිශේෂි වෙයි. ගැමි ජීවන රටාව හෙළි කරනු ලබන්නා වූ මෙම කාව්‍යයන් මෙරට සංස්කෘතිය හා බද්ධව නිර්මිත වී තිබේ. ජනතාවගේ සදාචාරවත් බව මෙන් ම, රසාත්මක බව පෝෂණය කරනු ලබන සාහිත්‍යය කලාව මෙරට ආගමික පසුබිම තුළින් නිර්මාණයට ලක් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනයවීමත් සමඟ මෙරට සංස්කෘතියේ සියලු අංගයන් බෞද්ධ මුහුණුවරක් ගන්නා ලදී එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙරට ජනයාගේ රසවින්දනය ඇති කරනු ලබන කලා මාධ්‍යයට ද එය එක්වීම නිසාවෙන් කාව්‍යය මාධ්‍යයට ද වස්තු විෂය ලෙස බොදු සිරිතත්, බොදු දහමත් එක්වන ලදී.

හෙළ ඉතිහාසයෙහි සැඟවුණු තැන් මතු කරනු ලබන , ගැමියාගේ හද ගැස්මෙහි රාවය පිළිඹිබු කෙරෙන ජන කවිය ජන අවිය සමඟ බද්ධ වූවකි. විවිධ ග්‍රාමීය ජීවිකා වෘත්තීන් ආශ්‍රය කොටගෙන ප්‍රභවය ලබා ඇති ජන කාව්‍ය නිර්මාණ පසක් කරනුයේ ඔවුන් තුළ පැවති මනුස්සකම ය. එම මානුෂීය භාවය ඔවුන් තුළ ගොඩනැඟීමට පාදක වූයේ සංස්කෘතික බලපෑමයි.

ගැමියා තුළ වූ ප්‍රතිභාව තුළින් සිය ජීවන අත්දැකීම් නිසාවෙන් ලද පන්නරයත්, අව්‍යාජභාවයත් හුදු සරලබවින් ප්‍රකාශයට පත්කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ. සම්භාව්‍ය කාව්‍යය තුළින් විදග්ධයින්ගේ තෘප්තිය ඇති කළ අතර, සාමාන්‍ය ජනයා තුළින් බිහි වූ ජන කවිය තුළින් පොදු ජනයාට තෘප්තියක් ඇති කරන ලද්දේ වෙයි.

සිය පාළුව, කාන්සිය මඟහරවා ගනිමින් දෛනික දිවියේ තමන් විඳිනු ලබන දුක්ගැහැට කවිය තුළින් මඟ හරවා ගැනීමට ගැමියා කටයුතු කළේ ය. මෙහි දී ඊට බෞද්ධ ස්වරූපයක් ආරෝපණය කිරීම තුළින් බුදු දහමින් උගන්වනු ලබන මෛත්‍රිය, උපේක්ෂාව, තාදි ගුණය හෙවත් අට ලෝ දහමින් නො සැලෙන බව ප්‍රකට කිරීම සිය අරමුණු වූ බවට මෙහි දී පසක් වේ. ඒ අනුව පෙනී යන්නේ බුදු දහමත්, සිය ජීවිතයත් අතර අන්‍යොන්‍ය සබැඳීයාවක් එකල ජනයා අතර පැවතුණු බව විය.

ජන කාව්‍යය නිර්මාණයන් දෙස අවධානය යොමු කිරීමේ දී පොදු ජනතාව සිය දිවි පෙවෙතත්, බුදු දහමත් අතර අවියෝජනීය සබැඳීයාවක් පවත්වන ලද බව හඳුනාගත හැකි වෙයි. විශේෂයෙන් ම කාව්‍යය නිර්මාණයේ දී සිය චිත්තාභ්‍යන්තරයෙහි බුදුන් වහන්සේ උදෙසා පවතිනු ලබන ගෞරවය ඔවුන් තුළින් මතු වූයේ නිරයාසයෙන් ම වෙයි.

එවැනි බොහෝ කාව්‍යය නිර්මාණයන් රැසක් දැකිය හැකි අතර විශේෂයෙන් ම කෘෂිකර්මාන්තය සිය ජීවිකාව කොටගත් ජනයා අතර, නිපන් කවීන් තුළින් එය වඩාත් පැහැදිලි වනු ලැබේ.

ගොයම් නෙළන කල ජනයා විසින් සිය විඩාව යටපත් කරලීම උදෙසා ගායනා කරන ලද බොහෝ කාව්‍ය ගායනාවන් බුදුන් සහ දෙවියන් කෙරෙහි වූ ශ්‍රද්ධාව හා භක්තිය පෙන්නුම් කරන්නක් විය.

බුදුන් තිලෝකෙට උත්තම වන්නේ
යොදුන් ගණන් බුදුරැස් විහිදෙන්නේ
සඳුන් සුවඳ මල් පුද කරවන්නේ
බුදුන් සරණ සිහිකර කියමින්නේ

තුන් ලෝකයට ම අග්‍ර කොට සලකනු ලබන, සවණක් ගණරැස් විහිදුවමින් බබළන බුදුන් වහන්සේ කෙරෙහි වූ අපරිමිත ග්‍රද්ධාව ගැමියා සිය කවියෙන් හෙළි කරනු ලබන අතර, එහි දී බුදුන් වහන්සේට මල් ආදී වූ පූජා ද්‍රව්‍යයන්ගෙන් පූජා කරමින් ජනයා පතනුයේ සිය කාර්යන් හි සඵලත්වයයි.

සිය ජීවන රටාවෙහි කවර ආකාරයේ හෝ සුබ කටයුත්තක් මෙන් ම වැදගත් යමක් සිදු කිරීමේදී නිරන්තරයෙන් බුදුන් වහන්සේගේ ආශිර්වාදය ගැමියා විසින් ප්‍රාර්ථනා කරන ලදි. විශේෂයෙන් ම සහල් බුද්ධ භෝගයක් ලෙසට පැරැන්නන් විසින් සලකනු ලැබූ නිසා වැඩි වශයෙන් කමත ආශ්‍රිත ව ගොඩ නැඟෙන ලද ජන කාව්‍යයන් තුළ බුදු ගුණ හා බුද්ධ භක්තිය ඇතුළත් බවක් දැකගත හැකි වෙයි.

කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
සෙනසුරා නොවෙද වැසිපල නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ

සිය ජීවිතය මෙන් ම අඹු දරුවන්ගේ කුසගිනි නිවීම උදෙසා කෙතරම් අපහසු කටයුත්තක් වුවත් ගොවිතැන් කටයුතු සිදු කරන ගොවියා වැසි අපේක්ෂාවෙන් එය සිදු කරනු ලබයි. වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදය පතමින්, අපේක්ෂාවන් රාශියක් සිය සිත්හි තබා සිදු කරනු ලබන මෙකී කර්තව්‍යයට අපේකෂා නො කළ පරිදි නියඟයෙන් බාධා ඇති වී විනාශයට පත් වේ. මෙහි දී ගොවියාට සිදු වන අලාභය ඉවසා දරාගත නො හැකි කල ඔහුට මතකයට නැඟෙනුයේ සිය සසර ගමන ඉතා දුෂ්කර වූ, වේදනාවෙන් පිරුණු ගමනක් බව යි. එවිට බුදු බණ මතකයට නැඟෙන ගොවියාට බුදුන් දැක නිවන් දැකීමට සිත් පහළ වේ. තමන්ට දුකක්, කරදරයක් ඇති වූ විට දී බුදුන් වහන්සේ සිහිපත් වීම එකල ජනයාගේ ආවේණික ගති ලක්ෂණයක් බවට ඉතා පැහැදිලි වේ.

පෝයට සිල්ගෙන ගිං තොට නැන්දා
ගෙයි පැදුරේ ඉඳ බණ රස වින්දා
ගෙදර කෙල්ල ගෙයි මුට්ටිය බින්දා
ඒකට ඒකිගේ කෙස් ටික සින්දා

ජනකවි ගායනාවන් තුළ අන්තර්ගත වන්නේ හුදු රසවින්දනයක් පමණක් ම නොවේ. ඒ තුළින් පුද්ගල ජීවිතයෙහි යථාර්ථය ද ඉස්මතු කරන බව පැහැදිලි වේ.

පොහෝදින සිල් සමාදන්වීම අතීතයේ පටන් බොදු ජනයා විසින් සිදු කරනු ලැබූවක් වෙයි. වර්තමානයෙහි පවා එය සිදු වෙතත් සිය ජීවිතය තුළට එය ආරෝපණය කරගනු ලැබූවන් ඉතා අල්ප වේ. කෙතරම් සීලයෙහි පිහිටුවා ගැනීමට ඉටා ගත්ත ද, සිය චරිතාංගයන් යටපත් කරගත නො හැකි අයුරු කවියා නිරූපණය කරන ආකාරය දැක්වෙන ඉහත කවිය එහි ලා වැදගත් වෙයි. ගැමියන් නිතර පන්සල් ගොස් විහාරස්ථානයෙහි ඇසුර ලබන්නට වුවත්, ඔවුන් අතර ද සිටි ඇතැම් පිරිස් නමින් බෞද්ධයින් වූහ. රසවින්දනයත් සමඟ ම කවියා එහි එළිසමය පිහිටුවා ඇති ආකරය අපූර්වත්වයෙන් යුතු වෙයි. එකල සිටි ගිංතොට නැන්දා වැනි පිරිස් මෙකල ද සිටීම සමාජ පසුබිම තුළ පුද්ගල චර්යාවන් සම තත්ත්වයක් පවතින බවට පැහැදිලි කර දෙනු ලබයි.

වයිර ගොනා දණ ගහලා අදින කොට
මයිල ගොනා පැන්නයි පස්සට හොරට
මොකද කරන්නේ පූරුවෙ කළ පවට
පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට

බුදු බණ පිළිබඳ අසා දැන සිටි එකල නූගත් ගැමියා තුළ පින-පව පිළිබඳ යහපත් වූ වැටහීමක් පැවත තිබේ. සියල්ලම සිදු වනුයේ පෙර සිදු කරන ලද කුසල අකුසලයන් හේතුවෙන් බවට වූ පිළිගැනීම ඔවුන් තුළ පැවත තිබේ.

තමන්ගේ දිවිය සාරවත් කරලීම උදෙසා ගැමියාට පිහිට වන ගවයාට ජනයා සලකන ලද්දේ මහත් ගෞරවයකින් විය. පුද්ගලයින්ට පමණක් නොව සත්ත්වයින්ට ද එහි විපාක අත්විඳීමට සිදු වන බව දක්වන කවියා තුළින් ගම්‍යමාන වනුයේ එකල ජන සමාජය තුළ බුදු දහම කෙරෙහි දැක්වූ සබඳතාවය ම වෙයි.

දාරක ප්‍රේමය හා සමාන අයුරින් ගවයා ප්‍රමුඛ කොටගත් සත්ත්වයින්ට ළෙන්ගතු වූ ගැමි ජනයා තුළ එකී ස්වභාවය ඇති වූයේ අව්‍යාජ බව හේතුවෙන් වෙයි.

තමන් සුරතලයට බාල වියේ දී පටන් ඇති කරන ලද තලගොයි පැටියකුගේ මරණයෙන් පසුව එම දුක දරා ගත නො හැකිව වැළපෙන කවියා එම ශෝචනීය අවස්ථාවේ දී සිදු කරනු ලබන ප්‍රාර්ථනාව මෙහි දී වැදගත් වෙයි. තව ද බුදු දහමෙහි සඳහන් වන මාර සංකල්පය ද එකී කාව්‍යය තුළින් මතු කරන්නේ වෙයි. එම සත්ත්වයාට පවා නිර්වාණය අවබෝධ කරගැනීමට හැකි වේවා යැයි පතන ගැමියා කෙතරම් නම් අහිංසක තැනැත්තෙක් ද යන්න වටහාදීමට එය ම ප්‍රමාණවත් වන්නේ ය.

මා බාලේ ඇතිකළ තල ගොයි පැටියා
මගෙ තනියට මිදුලේ පෙම් කළ සිටියා
උගෙ මරුවා ඇවිදින් ඌ අරන් ගියා
නිවන් පුරේ දැකපන් තල ගොයි පැටියා

තුන් සරණ ප්‍රාර්ථනා කරන සිංහල ගොයම් කවි අතර පහත කවිය වැදගත් මෙන් ම ජනයා අතර බෙහෙවින් ප්‍රචළිත කවියක් වෙයි. සියලු සතහට මෙත් සිත් පතුරුවාලමින් කරුණා භක්තියෙන් යුක්ත වූ ජනයා නිරන්තරයෙන් බුදු දහම හා බද්ධ ව සිටි බවට පැහැදිලි වන තවත් කාව්‍යයක් පහත පරිදි වේ.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි

ලාංකික සංස්කෘතියෙහි සියලුම අංගයන් වනාහි බුදු දහමින් පෝෂණය වූවකි. මහින්දාගමනයත් සමඟ සිදු වූ එම සබැඳීයාව මෙවන් වූ සරල කාව්‍යය නිර්මාණයන්ට පවා පාදක වනු ලැබුවේ එතරම් දුරට බුදු දහම හා අවියෝජනීය බවක් ජනයා තුළ වූ, බැවිනි. අව්‍යාජ වූ,අහිංසක බවින් යුතු ගැමියා සිය පිහිට නිරන්තරයෙන් පතන ලද්දේ දෙවියන්ගෙන් හා බුදුන්ගෙනි.