Print this Article


අවුල් සහගත සිත නිරවුල් කරන හැටි

අවුල් සහගත සිත නිරවුල් කරන හැටි

බුදු රජාණන් වහන්සේ සොයා දුන් නිවන් මඟ ලැබීමට, ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් ප්‍රතිපත්ති මඟට බැස ප්‍රඥාාව දියුණු කර ගැනීමෙන් පුළුවන්කමක් ඇත. මෙහිදී ගිහි පක්ෂයට වඩා පැවිදි පක්ෂයට එය ඉක්මන් වන්නේ, සැහැල්ලු දිවි පෙවෙතත් සමඟ ය. පැවිදි පක්ෂය හංසයාගේ ගමනටත්, ගිහි පක්ෂය මොණරාගේ ගමනටත් සංසන්දනය කර ඇත්තේ එබැවිනි.

නමුදු පැවිදි පක්ෂය වුව ද බැඳීම් වැඩි කරගත් කල්හි නිවන් ලැබීම ප්‍රමාද වනු ඇත. ගිහි පක්ෂය වුව ද බැඳීම් අඩු කර ගත් කල්හි නිවන් ලැබීම ඉක්මන් වනු ඇත. මෙහිදී පුහුදුන් මනස පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත.

පුහුදුන් යනු කෙලෙස් සහිත පිරිසයි. ඔවුන්, හඳුන්වා ඇත්තේ ,'සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා' පුහුදුන් සියල්ලෝ ම උම්මත්තකයන් බවයි. එයින් පැහැදිලි වන්නේ, පුහුදුන් සත්වයින් කෙලෙස් වලින් පිරිපුන් බවත්, ඔවුන්ගේ මනස නිරන්තරයෙන් අවුල් වී ඇති බවත් ය. බුදුරදුන් දෙසූ දහම් මඟ පිළිබඳ කෙනකු ප්‍රඥාාවෙන් දකින්නේ නම්, ශ්‍රද්ධාවත් ඇතිව මාර්ග හා ඵල වලට පත් වීමට අපහසු නැත. එහිදී පුහුදුන් පුද්ගලයින්ගේ ප්‍රභේදයන් පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇත. ඒ අනුව ඔවුන්ගේ මූලික ස්වභාවය වන්නේ, ඒ මගේය ඒ මම වෙමි ඒ මාගේ ආත්මයයි යනුවෙන් ගැනීමය.

ස.නි රාධ සංයුත්තයෙහි සත්ත පඤ්හ සූත්‍රයට අනුව පෘථජ්ජන පුද්ගලයා ප්‍රිය ජනක රූප , ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ යන අරමුණු කෙරෙහි ඡන්දයකින්, රාගයකින්, නන්දියකින් , ප්‍රීතියකින් යුක්ත වන බව දක්වා ඇත. ඒ අනුව අරමුණුවල තදින් ඇලී, ගැලී බැඳී සිටීම ඔහුගේ ස්වභාවයයි.

එයින් මමායනය ඇති වී භවගාමී ව දුකින් දුකට පත්වේ. සංඝ රත්නය වුව ද මාර්ගඵලාදියට පත් නොවූ පිරිස සම්මුති වශයෙන් ගණන් ගැනේ. (සංඝ නාමයෙන් සම්මත වූ ව්‍යවහාර වූ අදහස ගෙන දේ.) ඔවුන් කාල තුනටම අයත් වන අතර, ආර්ය සංඝ ගුණ පරාමර්ශනය කොට සම්මුති සංඝයාට දන් දීම චාරිත්‍රය යි.

අරහත්ත ශ්‍රාවක යනු සතර මඟ, සතර පල වලට පත් වූ පිරිසයි. ඔවුන් දක්ඛිනෙය්‍ය කියා හඳුන්වනු ඇත. ඔවුන් සූත්‍ර පිටකයේ හඳුන්වා ඇත්තේ ,සුත්වා සාවකෝ ආරියානං දස්සා වී අරිය ධම්මස්ස කෝවිධෝ අරිය ධම්මෙ සුවිනීතෝ සප්පුරිසානං දස්නාවී සප්පුරිය ධම්මෙ කෝවිධෝ සප්පුරිස ධම්මෙ සුවිනීතෝ , ආදී වශයෙනි.

එම පාඨයට අනුව පෘථජ්ජන තත්වයෙන් මිදුන ශ්‍රාවකයාගේ ලක්‍ෂණ පැහැදිලි කිරීමක් කර ඇත. එනම්, ශ්‍රැතවත් බව, ආර්යයන් දැකීම, ආර්යය ධර්මයෙහි ඇලීම, සත්පුරුෂයන් දැකීම, සත්පුරුෂ ධර්මයෙහි ඇලීම හා සත්පුරුෂ ධර්මයෙහි සංවර වීම ය.

ශ්‍රාවකයන්නෙන් ශ්‍රැතවත් පුද්ගලයා අදහස් කෙරේ. ශ්‍රාවක යන පදයට පරියාය පද වශයෙන් අරිය ශ්‍රාවක, ශ්‍රාවක සංඝ, යන්න යෙදී ඇත. ශ්‍රාවක යන්නෙන් අසා සිටින, අසන, ඇසූ යන අදහස් ද ගෙන දේ. මෙහිදී බුද්ධ දේශනාව අසා සිටින යන අර්ථය ගෙන දේ.

නො ඇසූ පුද්ගලයා පෘථජ්ජන යන්නට අයිති වේ. බුද්ධ දේශනාව ඇසූ පුද්ගලයා ඒ මගේ නොවේ.

ඒ මම නොවෙමි. ඒ මගේ ආත්මය නොවේ යනුවෙන් ගනියි.

දි.නි. ගෝපිකා උපාසිකාව , චිත්තගහපති වැනි අය උසස් තත්වයට පත් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ය. ගෝපිකා සෝවාන් ඵලයට පත්ව සිටි අතර, ගහපති ද එවැනි තත්වයක සිටියේ ය. ගෝපිකාව මිය ගොස් තව් තිසා දෙව් ලොව උපත ලැබී ය. ඇතැම් නොතේරෙන දහම් කරුණු අසා ගැනීම සඳහා භික්‍ෂූන් වහන්සේලා චිත්ත ගහපති ළඟට පවා ගිය බව ද සඳහන් වේ.

ශ්‍රාවකයන් පිළිබඳ විමසා බැලීමේ දී ඔවුන් ,යං කිංචි සමුදය ධම්මං - සබබං තං නිරෝධ ධම්මං” යන පාඨයට අනුව ඇතිවෙන සියල්ල නැතිවෙන බව අවබෝධයෙන් යුක්තව ජීවත් වූවන් ය.

ඒ අතර අනාථ පිණ්ඩික, සේනිය, බිම්බිසාර, විශාකා වැනි අය විශේෂත්වයෙහිලා සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේගෙන් පවා ප්‍රශංසාවට ලක් වුන දෙදෙනෙකු හැටියට පුරාණ සහ ඉසි දත්ත හැඳින්විය හැකි අතර, ඔවුන් සෝවාන් වී සිටි බව ද සඳහන් වේ. එසේම අනාගාමි වූවන් ලෙස සිරිවඩ්ඩ, මාරදින්නන් වැනි අය ද, අරහත්ත තත්වයට පත් වූවෙක් ලෙස බාහිය දාරුචීරිය ආදීන් පෙන්වා දිය හැකි ය.

පුහුදුන් සත්වයින් සියල්ලෝ ම තම පුහුදුන් බවෙන් නිදහස් වීමට උත්සාහවත් විය යුතු අතරම, අවුල් වූ පුහුදුන් මනස භාවනාව තුළින් නිරවුල් කොටගෙන දුර්ලභව ලැබූ මිනිසත් බවේ දී අඩුම වශයෙන් සෝවාන් වීමටවත්, වීර්ය කිරීම ප්‍රඥාගෝචර වන්නේ ය.