Print this Article


දීඝවාපි පුදබිමෙන් රන් කරඬු හතරක් හමුවෙයි

දීඝවාපි පුදබිමෙන් රන් කරඬු හතරක් හමුවෙයි

රන් කරඬු හතරක් එකවර හමු වූයේ ප්‍රථම වතාවටයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්

රන්පත්වල ලියැවී ඇති බ්‍රාහ්මීය අක්ෂර වසර 1800 ක් පැරැණි බව පුරා විද්‍යාවෙන් සොයාගෙන ඇත.


කැණීම්වලින් හමු වූ පුරා වස්තු

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ දීඝවාපි පුදබිම වසර 30කට ආසන්න කාලයක් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවෙන් ඈත්ව තිබුණි. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන නිසා ආගමික සංස්කෘතික කටයුතු කර ගැන්මට අවස්ථාවක් නොලැබුණා සේ ම, එහි ප්‍රතිසංස්කරණ කටයුතු පවා සිදු කළ නොහැකි විය.

අවස්ථා කිහිපයක දී පුරාවිද්‍යා කැණීම් මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නට උත්සාහ ගත්ත ද එය සාර්ථක නොවීය. එහෙත් පසුගිය 11 වැනිදා දීඝවාපියේ පුරා විද්‍යා කැණීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

එම ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා වැඩි දිනක් යාමටත් පෙර, එනම් නොවැම්බර් 18 වැනිදා දීඝවාපි දාගැබේ දකුණුපස වාහල්කඩ කැණීමේ දී අඟල් 18ක් පමණ උසකින් යුතු ශෛලමය මංජුසාවක් හමු විය.

එම මංජුසාව තුළ වටිනා පුරා විද්‍යා භාණ්ඩ හා බෞද්ධ වන්දනාවට අදාළ ධාතූන් වහන්සේ ඇති බවට විශ්වාස කෙරිණි.

ඒ අනුව එම මංජුසාව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගෙන ගොස් විවෘත කිරීමට තීරණය කෙරිණි. නොවැම්බර් මස 23 වැනිදා එය විවෘත කිරීම යොදා ගත් අතර, මංජුසාව විවෘත කර එහි ඇති පුරාවිද්‍යා වටිනාකම් ඇති පුරා වස්තු එළියට ගැනීමට පැය 12කට අධික කාලයක් ගත විය.

කැණීම්වලින් හමු වූ ධාතූන් වහන්සේ

පුරා වස්තු නිරාවරණය කිරීම සිදු කරන ලද්දේ දීඝවාපි විහාරාධිපති මහඔයේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එල්.එම්. බණ්ඩාරනායක, අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එස්.ඒ.ජී. ප්‍රියන්ත, අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක හා අම්පාර මල්වත්ත 24 සේනාංකයේ සේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ය. එමෙන්ම මේ අවස්ථාවට වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද එක්විය. ඊට අමතර ව ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයක නියෝජිතයන් සහභාගි විය.එහිදී මංජුසාව තුළ තිබී රන් කරඬු හතරක් සහ පළිඟු කරඬුවක් සොයා ගන්නා ලදී. රන් කරඬු හතරක් එකම මංජුසාවක තිබී හමු වූ ප්‍රථම අවස්ථාව මෙය බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා විසින් මෙහිදී පවසන ලදී.

එම කරඬු හතරේ රන් පත් ඉරුවලින් සකසන ලද කුඩා මංජුසා හයක ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබී ඇති බවත්, රන් කරඬු තුළ අලංකාර ආභරණ කොටස් බවට සැක කළ හැකි පළඟු දෙකක්ද දක්නට ලැබුණු බවත් ඔහු කීවේ ය. වෙනත් කිසිදු කරඬුවක මෙපරිදි පළිඟු දක්නට නොලැබුණු බවත්, මෙය විශේෂයෙන් හඳුනාගත් අවස්ථාවක් බවත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

දීඝවාපි පුදබිමේ සියලු පුරා විද්‍යා කැණීම් හා අනෙකුත් සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ පූර්ණ දායකත්වය යටතේ ය. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟ පෙන්වීම මත ය. ඉදිරි වසර දෙකක කාලයක් තුළ චෛත්‍යයේ හා පුදබිමේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිත ය.

දීඝවාපි විහාරස්ථානය පුදබිමක් ලෙස ගැසට් කරන ලද්දේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටි කාලයේ දී ය. එතුමා විසින්ම එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබීම ද අගය කළ යුතුමය.

දීඝවාපී චෛත්‍යයේ චූඩා මාණික්‍ය, කොත් වහන්සේ සහ විහාරගෙය ද, සඳහිරු සෑයේ සලපතල මළුව සහ විහාරගෙය ද, නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝ නායක අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නා උයන මහා භාරකාර මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට නියමිත ය. ඒ සඳහා රුපියල් මිලියන 76ක මුදලක් මේ වන විටත් ලබා දී ඇත.දීඝවාපී රාජමහා විහාරාධිපති, අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සංඝ කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත සාම ගී‍්‍ර සද්ධර්ම වාගීෂ්වර, සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියන්ගේ මෙහෙයවීමෙන් හා උපදෙස් මත විහාරස්ථානයේ සියලු කටයුතු සිදු කෙරේ.

පුරා වස්තු පරීක්ෂා කරමින්
 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් මහතා විසින් පුරා වස්තු පරීක්ෂා කරන අයුරු