Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

පින් බිමක සුවය

පවනේ අරුමය සිතට දැනේ
සනරාමර බුදු මහිම පෙනේ
බෝ මලුවේ සුදු සුදු අරලිය මල්
බවුන් වඩන මෙත් දසුන අනේ

සෙමින් හමායන වෙහෙර බිමේ
සුගන්දයෙන් මෙත් සිතැඟි තෙමේ
නිවන් මඟ කියන් රුවන් එළිය දෙන
පහන් වැටෙන් සිත් සතන් නිමේ

පවත්වනා දම් දෙසුම් ඇසේ
සැවත් නුවර සිරි දකිම් මෙසේ
කෙලෙස් නිවාලන දහම් හඬින් අද
මහත් නිරා දුක් දොරටු වැසේ


පැතුම...

වෙහෙරට ඇදෙන හේවිසි පෙරහර මැද්දේ
මලුවෙහි නැගෙන ගණ්ඨා නාදය මැද්දේ
මුවගින් නැඟෙන නෙක ගාථා හඬ මැද්දේ
බුදු හිමි සිටිය යුත්තේ හදවත මැද්දේ

තේ පැන් සිසිල් පැන් බත් දන්සල් ඇතුළේ
පන්සල් රැගෙන යන මල් වට්ටිය ඇතුළේ
රසවත් ලෙස ගැයෙන කවි බණ තැටි ඇතුළේ
නොව, බුදු හිමි සිටිය යුත්තේ හද ඇතුළේ


සිත ගැන

දුටු දුටු දේ ගැන ආසා කරනු එපා
දුටු දුටුවන් ගැන ආසා හිතනු එපා
හිත පෑරෙන දේවල් ගැන පතනු එපා
නිවනට යන මඟ අහුරා ගන්න එපා


පුදුමයක්

හැම
ක්ෂණයකම
මරණයක්
මළගමක්
නැති හැටි
පුදුමයක්
පරගම්මන
නන්ද


යහපත අගයමු

පවිටු මිසදුටු බවින්
ජීවත් වීම නොහොබී
දෙලොව ම අගතිය යි වන්නේ
සත් පුරුෂ දම් සදා අගයමු


කොවිඩ් ආයෙත් ඇවිල්ලා

මුව රැඳි ගස මල් උගුල්ලා
කඳුළක් අලුතින් ගෙනල්ලා
බිය කරමින් අප සියල්ලා
කෝවිඩ් ආයෙත් ඇවිල්ලා

බුදු හිමි දෙසූ බණ අහලා
ඒ මග දිගේ පිය නඟලා
සසරේ දුක් ගිනි දුරැලා
සැනසෙමු නිවනින් නිවිලා


මහ සෑ වන්දනා

නව චූඩාමාණික්‍යය පැළඳූ
නමදිමු රන්වැලි සෑ රජිදූ
දුටුගැමුණු මහ ඒ අප නිරිඳු
කරවූවාය රන්වැලි සෑ රජිඳු


සැකය

සැකය යන්න හදවතෙ බැදි බීජයකි
එය පැළ වුණොත් මුලු දිවියම විනාශෙකි
තේරුම් ගන්න බැරි වුවොත් පාපයකි
එය නොවැටහෙනා මිනිසා අද මෝඩයෙකි

තමා තමා යනු කවුරුද නොදන්නා
මිනිසා මිනිස්කම හරිහැටි නොදන්නා
මොළයක් තිබුණමුත් තෝරා නොගන්නා
තිරිසන් සතකු විලසට හිඳ මියෙන්නා