Print this Article


අපරිහානිය ධර්ම

අපරිහානිය ධර්ම

දෙවි මිනිසුන්ගේ අපමණ පැසසුම් ලැබූ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තුවෙන් එකම බණ පදයක් හෝ දේශනා නො කළ සේක.

අසරණ ලෝ සතුන් ගිලී සිටින නිමක් නැති දුක් සයුර වියළවීමේ අපේක්ෂාවෙන් ම පමණක් අමා දහම් වදාළහ. අප සියලුදෙන මෙලොවින් පරලොවින් නො පිරිහී නිවනින් සුවපත් වනු දැකීම ඒ භාග්‍යවතුන් වහන්සේගේ එකම අභිලාෂය විය.

යමකු සතු බාහිර වස්තු දේපළ විනාශ වී යාම බාහිර පරිහානියක් පමණි. එමගින් ඔහුට සුගතිය හෝ නිවන අහිමි නොවේ. එහෙත් යමෙකුගේ සීලාදී ගුණධර්ම පිරිහී යයි නම් ඔහුට සුගති සැපය ද, නිවන් සුවය ද යන දෙකම අහිමි වේ.

යම් ජන සමාජයක් යහපත් ආචාර ධර්මයන්ගෙන් නො පිරිහී පවතින තාක් ඒ තුළ ජීවත් වන්නන් ද නො පිරිහී සිටිනු ඇත. එබැවින් සාමූහික අපරිහානියට හේතු වන ධර්මතා හඳුනා ගැනීම හා දියුණු කිරීම සමස්ත මිනිස් වර්ගයාගේ ම යහපත පිණිස පවතී. එහිදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අපරිහානිය ධර්මයන් ඉගෙන ගැනීම හා අනුගමනය කිරීම දෙවි, මිනිසුන් සහිත ලෝ සතුන්ගේ ම අභිවෘද්ධිය පිණිස පවතී. මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වා ඇති අපරිහානිය ධර්ම අතරින් කිහිපයක් පහත දැක්වේ.

නිතර රැස්වීම අපරිහානිය ධර්මයකි. ගිහි,පැවිදි දෙපිරිස ම සාමූහිකව කටයුතු කළ යුතු අවස්ථාවන්හි දී එක්ව සාකච්ඡා කිරීම එමඟින් අදහස් කෙරේ. එහිදී ඔවුනොවුන්ගේ අදහස් විමසා බලා ගැටලුකාරී තත්ත්වයන්ට වඩාත් සාර්ථක විසඳුම් හඳුනාගත හැකි ය. සමඟිව රැස්වීම, සමගිව විසිර යාම හා සමඟිව කටයුතු කිරීම ද අපරිහානිය ධර්මයකි.

ඔවුනොවුන් උරණ වී අසමගිව රැස්වීමෙන් යහපතක් නොවේ. එවිට නිවැරැදි තීරණාදිය ගැනීමට ද අපහසු වේ. මෛති‍්‍රයෙන් යුතුව, පි‍්‍රය ඇසින් බලමින් එක් රැස් වී ඔවුනොවුන්ගේ අදහස් වලට සවන් දීම ද පුද්ගලිකත්වයට වඩා සාමූහිකත්වයට ඉඩදීම ද නිසා ආත්මාර්ථකාමී පවිටු අදහස් දුරු කරගත හැකි ය. එකතු වී ගනු ලැබූ තීරණ කි‍්‍රයාත්මක කිරීමේ දී කිසිවෙකුත් මඟහැර නොයා තම තමාගේ පුද්ගලික කටයුත්තක් සේ සලකා ඉටු කිරීම ද අපරිහානිය පිණිස පවතී.

අලුත් නීති රීති පනවා නො ගැනීම ද පනවා ඇති විනය නීති උල්ලංඝනය නො කර මනාව ආරක්ෂා කිරීම ද අපරිහානිය ධර්මයක් වේ. ගිහි සමාජය විසින් නව නීති පනවා ගැනීමේ දී බොහෝ විවාද හා අසමගිකම් ඇතිවිය හැකි ය. ඒවා ඇතැම්විට අනර්ථකාරී ද විය හැකි ය. එහෙත් දුරදිග බලා සමාජයක යහ පැවැත්මට උපකාර වන කරුණු වෙතොත් ඒවා නීති රීති ලෙස සම්පාදනය කර ගැනීම අවශ්‍ය වේ. පෙර විසූ ධාර්මික රජවරුන් විසින් පනවන ලද රාජ ධර්මයන් එලෙසින් ම ආරක්ෂා කරන තාක් එම ජනවර්ගයට සෙතක්ම සැලසේ. පරිහානියක් ඇති නොවේ.

ධාර්මික රජවරුන් සීලාදී ගුණධර්මයන්හි මෙන්ම සතර සංග්‍රහ වස්තූන්හි පිහිටා තීරණ ගෙන තිබීම ඊට හේතුව යි.

පැවිදි සමාජයට ද එකී අපරිහානිය ධර්මය අදාළ වේ. බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති ශික්ෂාපද සීලය මනාව ආරක්ෂා කරමින් නො පනවා ඇති අලුත් නීතින් පනවා නො ගෙන සිටින තාක් සංඝ සාමගි‍්‍රය ආරක්ෂා වේ. භික්ෂූන් අතර වාද විවාද ඇති නොවේ.

වැඩිහිටියන්ට සැලකීම හා ගෞරව දැක්වීම ද ඔවුන්ගේ අවවාද අනුශාසනා ගරුකොට සැලකීම ද අපරිහානිය ධර්මයකි. වයසින් මෙන්ම සීලයෙන් ගුණයෙන් හා අත්දැකීම් වලින් වෘද්ධ භාවයට පැමිණි උතුමන්ට සවන් දෙන්නා වූ සමාජය කිසිදා පරිහානියට පත් නොවේ.

එහෙත් වයසින් පමණක් වැඩි වූ පමණින් ඔවුනට සවන්දිය යුතු යැයි නියමයක් නැත. වයසට සරිලන පමණින්වත් ශ්‍රද්ධා සීලාදී ගුණයන් දියුණු කරගෙන නැති මහල්ලන් පූර්වාදර්ශ කොට ගන්නා නවකයන් ද බොහෝ සෙයින් පරිහානියට පත්වේ. එහෙත් සීලාදී ගුණධර්ම ඇතත් නැතත් වයස්ගත උදවියට සැලකීම කාගෙත් යුතුකමකි.

භික්ෂූන් වහන්සේලා විසින් ද පැවිදි වී බොහෝ කල් ගත කළ සංඝපීතෘන් වන වෘද්ධ මහා ස්ථවිරයන් වහන්සේලාට ගරු බුහුමන් කිරීම උන්වහන්සේලාගේ අවවාදානුශාසනා ගෞරවයෙන් පිළිගැනීම සංඝ සමාජයේ අපරිහානිය පිණිස පවතී.

වැඩිහිටි භික්ෂූන් වහන්සේලා විසින් තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට මනාව ගුරුහරුකම් ලබා නො දේ නම්, ඔවුන් වැඩිහිටියන් වූ පසු විනය විරෝධී වැඩ සිදුකොට අධර්මවාදී අදහස් ප්‍රචලිත කරමින් මහත් වූ ශාසනික අර්බුදයන් ඇති කරනු ඇත. වත්මන් භික්ෂු සමාජයේ ඇතැම් භික්ෂූන් අශීලාචාරව හැසිරේ නම් ඊට වගකිව යුත්තේ ඔවුන්ගේ පැවිදි, උපසම්පදා ආචාර්යවරුන් ය. උපසපන් පැවිද්දෙකු අවම වශයෙන් වර්ෂ පහක්වත් විනයධර ගුරු ස්වාමීන් වහන්සේ නමක් ඇසුරේ වාසය කළ යුතු ය.

කාන්තාවන්ට හිංසා පීඩා නො කිරීම ද අපරිහානිය ධර්මයකි. ගැහැනිය යනු සමාජයක ඉතා වැදගත් චරිතයකි. මාතෘ පදවිය ලද හැක්කේ ගැහැනියකට පමණි. ඇය චරිතවත් වීම හේතුවෙන් දරු මුණුපුරු පරපුරත් ශිෂ්ටයන් වනු ඇත. ඇගේ චරිතවත් භාවය ආරක්ෂා කිරීම සඳහා උදව් වීම එම සමාජයේ ප්‍රබල වගකීමකි. යම් ජන වර්ගයක් භෞතිකව හා අධ්‍යාත්මිකව සංවර්ධනය වීම සඳහා කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය අංශ ගණනාවකින් සාකච්ඡා කළ යුත්තකි.

උපන් තණ්හාවට වසඟ නො වීම ද අපරිහානිය ධර්මයකි. තණ්හාවට වසඟ වූ ගිහියා ද, පැවිද්දා ද තමා ආශා කරන දේ ලැබීම සඳහා නොයෙක් පව්කම් කරති. ගිහියන් පස්පව් කරන්නේ බොහෝ සෙයින් තෘෂ්ණාවට දාස වී ලාමක ඕනෑ එපාකම් පිරිමසා ගැනීමට යාම හේතුවෙනි.

පැවිද්දෝත් තමන්ට ලැබෙන ධාර්මික සිව්පසයෙන් තෘප්තිමත් නොවී ලාභ, සත්කාර සෙවීමට යාම නිසා කෙලෙස් වනයේ වල්මත් වෙති. මෙලොව,පරලොව උභයාර්ථයෙන් ද උත්තම නිර්වාණාර්ථයෙන් ද පිරිහෙති.

පාපමිත්‍රයන් හා එකතු වන්නෙකු නො වීම ද එක් අපරිහානිය ධර්මයකි. සමාජයේ සෑම විපතකට ම මුල් වන්නේ පාප මිත්‍රයා ය. පස්පව් දස අකුසල් කරන්නෝ පාප මිත්‍රයෝ ය. ඔවුන් හා ඇසුරින් යහපත් පුද්ගලයන් ද අසත්පුරුෂයන් වේ. කෙබඳු ආකාරයේ වරප්‍රසාද ලැබුණත් පාපී මිත්‍රයන් හා එක් නො විය යුතු බව බුදුදහම තුළ අවධාරිත කරුණකි.

නින්දට වසඟ නොවී වීර්යයෙන් යුතුව කළමනා කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම ද ගිහි-පැවිදි දෙපිරිසගේ ම අපරිහානිය පිණිස පවතී. කුසීතයෝ ලෞකික ලෝකෝත්තර රැකවරණය නො ලබති.

යම් රාජ්‍ය බල ප්‍රදේශයක මාර්ගඵලලාභී උතුමන්ට ද සිල්වත් ගුණවත් උතුමන්ට ද, ආරක්ෂාව ලබා දී පහසුකම් සලසා දේ නම් එම රාජ්‍ය ද කිසිදා නො පිරිහෙනු ඇත.

එහෙත් එම පූජනීයයන්ට අවමන් කෙරේ නම් හෝ ඔවුනට නො සලකා හරියි නම් දිනෙන් දිනම පරිහානියට පත් වේ. සීලය-විනය හා ගුණය-දහම පිළිබඳ හිමිකරුවෝ වන්නේ රහත්හු ය. ඔවුන්ගේ ඇසුර ලැබෙන පමණින් ගිහියන් ද සුධීන් බවට පත් වේ.

පාපී බලාපොරොත්තු නැති බව එක් අපරිහානිය ධර්මයකි. ගිහි-පැවිදි සමාජයේ සාරධර්ම පරිහානියට ඍජුව ම හේතුවන දුර්ගුණයක් වන්නේ පාපිච්ඡාව යි. නැති ගුණ ප්‍රකාශ කිරීම හා පමණ ඉක්මවා ප්‍රත්‍ය සෙවීම පාපේච්ඡයාගේ ලක්ෂණයන් ය.

තමා කෙරෙහි මඳකුත් ශ්‍රද්ධාවක්, සීලයක් නැතිව ශ්‍රද්ධාවන්තයෙකුගේ, සීලවන්තයෙකුගේ ආකාරයෙන් පෙනී සිටීමෙන් සමාජය රවටන පුද්ගලයන් නිසා විශ්වසනීයත්වය බිඳ වැටේ. සොරකම් වංචා බහුල වේ. සාමය සමගිය නැති වී වෛරය හා පලිගැනීම් බහුල වී සභ්‍යත්වය හා සදාචාරය පිරිහී යයි.

දෙමාපියන්, ගුරුවරුන් හා පැවිද්දන් යන තෙපිරිස ම තම වගකීම හරිහැටි ඉටු නො කිරීමෙන් පාපිච්ඡාවෙන් යුතු පුද්ගලයන් බිහිවේ.

සීලාදී අල්පමාත්‍ර ගුණයකින් නතර නොවී මගඵල නිවන් සාක්ෂාත් වීම දක්වාම සීල-සමාධි-ප්‍රඥා දියුණු කිරීම ද එක් අපරිහානිය ධර්මයකි. ගුණධර්මයන්හි ස්ථාවර පිහිටීමක් ඇතිවීමට නම්, අවම වශයෙන් සෝතාපන්න විය යුතු ය. ඉන් මෙපිට කෙබඳු ගුණයක් වුව ද පිරිහීමේ අවධානමක් තිබේ. යමෙක් හැකි සෑම අවස්ථාවක ම සීලාදියෙන් උසස් වීමට කල්පනා කරයි නම් ඔහුගෙන් තමාට ද අනුන්ට ද කිසිදු විපතක් සිදු නොවේ.

ලැබෙන දෙයක් බෙදා හදා පරිහරණය කිරීම ද, මෙත්තා සහගත කාය, වාග්, මනෝ කර්මයන් එලවා ගැනීම ද අපරිහානිය ධර්මයන් ලෙස දක්වා තිබේ. ගිහියන්ගේ ද, පැවිද්දන්ගේ ද මානසික තෘප්තිය පිණිස එකට ජීවත් වන්නන්ගේ සමගිය හේතු වේ. සමගිය දියුණු වීමට නම් ත්‍යාගය හා මෛති‍්‍රය අවශ්‍ය වේ. ඔවුනොවුන් දෙස සානුකම්පිත ව බැලීම හා ඊර්ෂ්‍යාව, මසුරුකම බැහැර කිරීම මගින් පුද්ගලික ව තමාට ද, පොදුවේ ජනසමාජයට ද සෙතක් සැලසේ.

මහා කරුණාවෙන් තෙත් වූ හද මඬලක් ඇතිව අනන්ත ගුණ සුවඳීන් ලොව සුවපත් කළ බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා වදාළ අපරිහානිය ධර්මයන් ජීවිතයට ගළපා ගැනීමෙන් ඔබත් ශාන්ත සත්පුරුෂයෙක් වේවා! පිළිවෙතින් බුදු සිරි පා පුදන ශ්‍රාවකයෙක් වේවා!