[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බැංකිගේ ප්‍රතිකාරය

බැංකිගේ ප්‍රතිකාරය

ශ්‍රේෂ්ඨ ආචාර්ය බැංකිගේ භාවනා පන්තිය මුළු ජපන් රටේම ශිෂ්‍යයින්ගේ ආකර්ශනය ඇදගත් පන්තියක් විය. ඔහුගේ එක පාඨමාලාවක් පැවැත්වෙන අවස්ථාවක දී පන්තියේ එක් ශිෂ්‍යයෙකු කළ සොරකමක් සෙසු සිසුන් විසින් අල්ලා ගන්නා ලදී. එම සිදුවීම බැංකි ගුරුතුමාට සැල කරන ලදි.

කෙසේ වූවද ගුරුතුමා එය නොසලකා හැරියේ ය. දින කීපයකට පසු එම ශිෂ්‍යයා නැවතත් සොරකම් කරමින් සිටියදී හසු විය. එය බැංකි ගුරුතුමාට නැවතත් දැන්වුව ද ඔහු කිසිදු ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත. මෙය අනෙක් සිසුන් විශාල වශයෙන් වික්‍ෂිප්ත කරන්නක් විය.

එම සිසුහු වෙනම රැස්වූහ.

"අපි ගුරුතුමාට සොරකම් කරන සිසුවා අල්ලා දුනිමු. එක වරක්වත් සොරකම් කිරීම පිළිබඳව ගුරුතුමා ඔහුගෙන් කිසිවක් විමසුවේ නැහැ. ඔහුට කිසිම දඬුවමක් ලබා දුන්නේ නැහැ.

මේ ආකාරයට අපි කොහොමද එකට පන්තියෙ ඉන්නෙ? ඊළඟ දවසෙ අපේ සියලු දේ සොරකම් කරගෙන පැනල යාවි. අපි මේ පිළිබඳව දැඩි පියවරක් ගන්න ඕන. අපි ඔක්කොම අත්සන් කරල පෙත්සමක් ලියමු. පියවරක් ගත්තෙ නැත්නම් අපි සියලු දෙනාම පන්තියෙන් යනව කියමු.”

පසුව සොරකම් කරන ලද ශිෂ්‍යයා පන්තියෙන් අස්කරන ලෙස දන්වා පෙත්සමක් ලියා සියලු දෙනා අත්සන් කළේය. සොරකම් කරන ලද ශිෂ්‍යයා පන්තියෙන් අස් නොකළහොත් අනෙක් සියලුම දෙනා පාඨමාලාවෙන් ඉවත්ව යන බව පවසමින් පෙත්සම ගුරුතුමාට භාරදුන්හ.

ගුරුතුමා පෙත්සම කියෙව්වේ ය. ඉන්පසු සියලුම සිසුන් කැඳවූයේ ය.

”මාගේ ආදරණීය සිසු දරුවනි, ඇත්තෙන්ම ඔබ හැමදෙන බුද්ධිමතුන් ය. හරි දෙයෙහි සහ වැරදි දෙයෙහි වෙනස ඔබ හැම දෙනම දනිති.

එහෙත්, මේ අසරණ ශිෂ්‍යයා නිවැරැදි දෙය කුමක්ද? වැරැදි දෙය කුමක්ද? යැයි නොදනී. මම ඔහුට එය කියා දෙන්නේ නැත්නම් කවුද එය කියා දෙන්නේ? ඒ නිසා මම තීරණය කළා ඔබ හැම දෙනම පාඨමාලාවෙන් ඉවත්වුවත් ඔහු මගේ ළඟ තියාගන්න” යැයි ගුරුතුමා පැවසී ය.

සොරකමේ නියැළුණු, මුළා වූ ශිෂ්‍යයාගේ මුහුණ දිගේ කඳුළු ගලා ගියේ ය. ඔහුට සොරකම් කිරීමේ ආශාවක් ඉන්පසු නොවී ය.

ආදර්ශය :

වරදකරුවකුට සංවේදීව, කරුණාවෙන් එම වරද අවබෝධ කළ යුතු ය.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]