Print this Article


දුටුගැමුණු රජතුමා - 12: දුටුගැමුණු රජතුමාට යෝධ ශක්තියක් වූ දසමහ යෝධයෝ

දුටුගැමුණු රජතුමා - 12:

දුටුගැමුණු රජතුමාට යෝධ ශක්තියක් වූ දසමහ යෝධයෝ

මේ අවස්ථාවේදි රජු සිටියේ ආයුධ ගබඩාවේ ය. කර්මාන්තකරුවන් පන්සියයක් පිරිවරාගෙන සාදන ලද කඩු මුවහත් තබමින් සිටියේ ය. රජු දාඨාසේනගෙන් තොරතුරු විමසා දක්ෂතා පිරික්සීම පිණිස කඩු හැටක් මුවහත් තැබීමට දුන්නේ ය. ඔහු එය සතුටින් භාර ගත්තේ ය.

රජතුමා ආයුධ ගබඩාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පැමිණෙන විට කඩු සියල්ල මුවහත් තබා රජුට පෙන්වී ය. රජු ඔහු ගැන පැහැදී තමා වෙත රඳවා ගත්තේ ය.

දාඨාසේන යෝධයා දක්ෂතා පෙන්වූ අවස්ථා දෙකක් මූලාශ්‍ර ග්‍රන්ථවල දැක්වේ. දුටුගැමුණු රජතුමා ගේ සේනාව ක්‍රමයෙන් එළාර රජු ගේ බලකොටු බිඳිමින් මහේල නගරයට පැමිණියේ ය. මේ බලකොටුව දැඩි අගල්වලින් පරිපූර්ණ සොළොස් රියන් පවුරුවලින් සමන්විත විය. දසමහ යෝධයන් සමඟ පැමිණි දාඨාසේන අන් අයකු විසින් කරන ලද විවරයකින් ඇතුළු නොවෙමියි පවසා අහසට පැන පවුර පාමුලට විලුඹින් ගාස පෙරළා නුවරට ඇතුළු වූයේ ය.

අනතුරුව අනුරාධපුරය ජය ගැනීම සඳහා පිටත්ව ගියේ ය. එහිදී පර්වත දෙකක් අතර මහා සටනක් සිදුවිය.

දෙතිස් දෙමළ බල කඳවුරු නසා දුටුගැමුණු රජතුමාට ජය ලබා දුන්නේය. දාඨාසේන යෝධයා ගැන පැහැදුනු රජතුමා ඔහුට මහත් සම්පත් ලබා දුන්නේ ය.

ඔහුට ලැබුණු සම්පත් ගැන ඊර්ෂ්‍යා කළ සතුරෝ ද වූහ. ඔවුහු රජු වෙත ගොස් කේළාම් කීහ. ඔබතුමා මරා රජකම ගැනීමට දාඨාසේන කුමන්ත්‍රණය කරතැයි කීහ. රජු එය පිළිගෙන දාඨාසේන මරවයි නියෝග කළේ ය. දාඨාසේන යෝධයාට මේ බව ආරංචි විය. ඔහු කළකිරීමට පත්විය. තමාට සම්පත් දුන් රජුට විරුද්ධ විය නොහැකි බව කල්පනා කළේ ය. මේ නිසා රට හැර ගොස් පැවිදිව රහත් විය.

දාඨාසේන යෝධයා රට, ජාතිය,ආගම අනතුරට පත් අවස්ථාවක තමාගෙන් ඉටු විය යුතු සේවය මැනවින් ඉටුකළ ජාතික වීරයෙකි. ඔහු මහා ශූරයකු වුව ද දස මහ යෝධ ගණයට එක්වී නැත.

මහානේල

මහානේල ගේ කතාවද දාඨාසේන ගේ කතාව මෙන්ම වංසකථාවලට ඇතුළත් වී නැත. මූලාශ්‍රවල මොහුගේ කතාව ආරම්භ වන්නේ පෙර භවයක තොරතුරු දැක්වීමෙනි.

රෝහණ ජනපදයේ කප්පකන්දර නදිය අසල වත්ථුර නම් විහාරස්ථානයක් තිබිණි. කුරුදේව නම් යාචකයෙක් එහි වෙසෙන භික්ෂූන් වහන්සේලාගෙන් ආහාර සිඟා ගෙන විත් ජීවත්විය. කිසිවකුගෙන් පිළිසරණක් නොලැබුණේ ය. දිනක් එම විහාරස්ථානයේ මහ තෙරුන්වහන්සේ ඔහු දැක කරුණාව උපදවා අනුශාසනා කළහ.

කුරුදේව, නුඹට ලැබෙන ආහාරයෙන් කුඩා හෝ කොටසක් සතෙකුට දන් පිණිස දෙව, පන්සිල් රකිවයි සමාදන් කරවූහ. මේ අනුශාසනාව අසා සත් දිනකට පසු මියගිය ඔහු මාගම අසල එක් ගමක මහා ධන සම්පත් ඇති පවුලක උපන්නේ ය. ඔහු උපන්දින මහනෙල් ගෙන අසල්වැසියන් ඔහු බැලීමට පැමිණි නිසා ඔහුට මහානේල යැයි නම් තැබී ය.

මහානේලට සහෝදරයෝ සත් දෙනෙක් වූහ. ඔවුහු ගොවිතැන් කටයුතු කරමින් වෙහෙස මහන්සි වී වැඩ කළ ද මහානේල කා බී කෙළි දෙලෙන් කාලය ගත කළේ ය. දිනක් ඔහුගේ සහෝදරයෝ සත් දෙනා මව්පියන් වෙත පැමිණ මහානේලගේ ක්‍රියා කලාපය පිළිබඳ පැමිණිලි කළහ. මව්පියන් මේ පිළිබඳව මහානේලගෙන් විමසා ඔහුට දොස් නැ¼ගූහ. රැකියාවක් කිරීමට මව්පියන් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප කළේ ය. එයින් අසතුටට පත් මව්පියෝ, ඔහු කැඳවාගෙන ගොස් දුටුගැමුණු රජතුමාට භාර කළේ ය. ඉදිරි කාලයේදී සිදුවිය හැකි සාගතයක් ගැන නැකැත්කරුවන් විසින් සඳහන් කිරීමෙන් පසු රජතුමා රටවාසීනට ආහාර නිෂ්පාදන කටයුතුවල යෙදීමට නියෝග කර තමාද උදලු, කැති, පොරෝ ආදී වූ උපකරණ රැගෙන සිය අතින්ම ඇළවේලි බඳින්නට විය. ඒ අවස්ථාවේදී, කිහිලි දෙකෙහි අත් බැඳ ගෙන ඒදෙස බලා සිටි මහානේලට තමා සමඟ එක්ව ඒ කටයුත්තට සහභාගි වන ලෙස රජු කළ ඉල්ලීම ද, තමාට නොහොබිනා එකක් බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු එඩිතර වී ඇත.

රජු ඔහුට ඒ ගැන කිසිවක් නොකියා තම කටයුත්තෙහි යෙදී තිබේ. එහෙත් ඊට පසු අනුරාධපුරයෙහි සිටි වෙළෙන්දෙකුට පණිවුඩයක් යැවීමට රජුට අවශ්‍ය වූ විට, ඒ කාර්යය ඉතාම හොඳින් ඉටු කර ඇත. ඉන් පසුව රජුට සේවය කළ ඔහු යුද්ධයට සහභාගි වීමෙන් පසු ආගමික ජීවිතයක් ගත කර තිබේ.

බුලතා

මේ දොළොස් මහ යෝධයන්ට අමතරව තවත් යෝධයෙක් ගැන ජනප්‍රවාදයේ සඳහන් වෙයි. රජතුමාට බුලත් මෙහෙ වැඩූ ඔහු ‘බුලතා’ ලෙස හැඳින්වේ.

දුටුගැමුණු රජතුමාට දිනකට හත් වතාවක් බුලත්විට පිළිගැන්වීම ඔහු ගේ රාජකාරියයි. මෙසේ බුලත්විට පිළිගන්වමින් රාජකාරිය කරන අතරතුරදී මහියංගනය ප්‍රදේශයේ ගල් කඳු දෙකක් අතරින් විශාල දොළ පාරක් ගලාබසින අයුරු ඔහු දුටුවේ ය. මේ ගලාගෙන යන දොළ පාර හරස් කර බැම්මක් බැඳගතහොත් හොඳ වැවක් සාදා ගැනීමට හැකි බව බුලතාට වැටහිණි. ඒ වැවෙන් ප්‍රදේශයේ විශාල කුඹුරු ප්‍රමාණයක් වගාකළ හැකි බවත් ඔහුට කල්පනා විය. බුලතා මේ වැව බැඳීමට තීරණය කළේ ය.

රජතුමාට බුලත් මෙහෙ වඩන අතරවාරයේ ලැබෙනු සුළු විවේක කාලයේ දී වැව බැඳීමේ වැඩ ආරම්භ කළේ ය. බුලත් මෙහෙ වඩන ගමන් වැවේ වැඩත් කරගෙන ගියේ ය. මිනිසුන් විශාල ප්‍රමාණයකට කරන්න බැරි වැඩක් බුලතා යෝධයා තමන්ට ලැබෙන සුළු විවේකයේදී කරගත්තේ ය. වැවට වතුර පුරවා අවසන් කළේ ය.

මේ අතරතුර කාලයේදි මහියංගණ සෑය වැඩ අවසන් කර කොත් පැළඳවීමේ උත්සවයට දුටුගැමුණු රජතුමා පැමිණියේ ය. එම කටයුතු අවසන් වු පසුව බුලතා යෝධයා තමන් කළ වැඩ පෙන්වන්නට රජතුමා කැඳවාගෙන ගියේ ය. බුලතා යෝධයා තනිවම කළ මේ වැව දුටු, දුටුගැමුණු රජතුමා ඇතුළු පිරිස පුදුමයට පත්විය.

රජතුමාට කළ යුතු රාජකාරිය කිසිම අඩුපාඩුවක් නැතිව කළ මේ බුලතා යෝධයාට මෙවැනි විශාල වැවක් නිම කිරීමට කාලය වෙන්කර ගැනීම ගැන රජතුමා මවිතයට පත්විය.රජතුමා ඔහු ගේ මේ ක්‍රියාව පිළිබඳ බොහෝ ප්‍රසාදය පළ කළේය.

“නුඹගේ මේ හරබර වැව් කර්මාන්තය ගැන මම ඉතාම සතුටට පත්වෙනවා’ යනුවෙන් පැවසී ය. රජතුමා එදා හරබර වැවක්’ ලෙස පැවසු නිසා එය පසු කලෙක සරබර වැව සොරබොර වැව ලෙස ප්‍රසිද්ධ වූ බව පැවසේ.

එහෙත් ඇතැම් ජනප්‍රවාද පවසන්නේ රජතුමාට රාජකාරිය කරන අතරතුරේ ම හොරොන් ගිහින් මේ වැව බැන්ද නිසා ‘සොරබොර වැව‘ යයි නම් ලැබු බවයි.