Print this Article


ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ

ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ

ධම්මදින්නා මහරහත් තෙරණිය මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ හංසවති නුවර දුගී පවුලක දියණියක් ව උපන්නා.

මේ දුගී දියණියට නිවසක මෙහෙකාර සේවයට යාමට සිදුවුණා. ඇය දිනක් මහමඟ යනවිට පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සුජාත මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දුටුවා. ඇගේ සිත සතුටු වුණා. ප්‍රීති සිතින් ඇය තමාගේ ළඟ තිබූ රසකැවිලි ඒ සුජාත මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ එතැන තිබූ ගසක් මුල වැඩ සිට ඒ රස කැවිලි වැළඳූ සේක.

සතුටු සිතින් ඇය රහතන් වහන්සේට “ස්වාමිනි, හෙට දිනයේ මම සේවය කරන නිවසට දානයට වඩින සේක්වා!” කියා ආරාධනා කර තමාට හැකි ශක්ති ප්‍රමාණයෙන් ප්‍රනීතව, දානයක් සකස් කර පූජා කළා. ඇයගේ ක්‍රියාව දුටු ඒ ස්වාමි දියණිය සතුටට පත්වුණා. “ඔබ කළ ක්‍රියාව ඉතා යහපත් දෙයක් . අද සිට මම ඔබ ව දාසි භාවයෙන් නිදහස් කරනවා. අද සිට ඔබ මේ නිවසේ ලේලිය කරනවා” යැයි කියා සිටියා. දාසියක් ලෙස විඳී අප්‍රමාණ දුක් දෝමනස්සයන් ඇගේ ජීවිතෙන් ඉවතට ගියා. ඒ ඇය කළ දානමය පිනෙහි විපාකය යි.

පැතුම. . .

ඉන්පසු ඇය නැන්දණියත් සමඟම පහන් සිතින් මහා සංඝ රත්නය උදෙසා සිව් පසයෙන් උපස්ථාන කළා. නිතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට යනවා. ධර්මය ශ්‍රවණය කරනවා. දවසක් ඇය දුටුවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ සම්බුදු සසුනේ වැඩ සිටි එක්තරා භික්ෂුණීන් වහන්සේ නමකට ධර්ම කථික භික්ෂුණීන් අතර අග තනතුරු පිරිනමනවා. එය දුටු ඇයට සිතුනා “මටත් මේ වගේ භික්ෂුණියක් වෙන්න තිබෙනවා නම්” කියා. ඒ පැතුමත් සමඟ ඇය පදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇතුළු සංඝ රත්නය නිවසට වඩමවා ප්‍රනීතව සැකසූ දානය පූජා කළා.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේට වන්දනා කර කියා සිටියා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මමත් ආසයි අනාගතයේ පහළ වන සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ශාසනයේ ධර්ම කථික භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබන්න.” සම්බුදුරජාණන් වහන්සේ තව කල්ප ලක්ෂයක් ගිය තැන ඇගේ පැතුම ඉටුවන බව දුටුවා. “පින්වත් දියණිය තව කල්ප ලක්ෂයකින් මේ ලෝකයේ පහළ වන ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ධර්ම කථික භික්ෂුණි සංඝයා අතර අග්‍ර භාවයට පත්වන්නේ ඔබයි” කියා ඇයට නියත විවරණ ලබා දුන්නා.

ඇය ඒ ජීවිතයේ බොහෝ සේ පින් දහම් කළා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දන් පැන් පූජා කළා. බොහෝ ම ශ්‍රද්ධාවෙන් සිව්පසයෙන් උපස්ථාන කළා. මරණයෙන් පසු තව්තිසා දෙව්ලොව උපන්නා. එහිදී ඇය අප්‍රමාණ සැප වින්ඳා. නැවත ඇය ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ ධනවත් සිටු පවුලක දියණියක් ව උපන්නා. කාලයාගේ ඇවෑමෙන් ඇයට ධාර්මික, යහපත් සැමියෙක් ලැබුණා. ඒ දෙදෙනා එකතුව ඒ ඵුස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ පින් දහම් කරමින් ඒ ජීවිතය යහපත්ව ගත කළා. ඒ ජීවිතයෙන් චුතවෙලා ඇය නැවත දෙව්ලොව උපන්නා. නැවත කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ බරණැස කිකී රජුගේ හයවන දූ ලෙස උපන්නා. ඇය සුධම්මා යි. ඇය සහෝදරියන් පස් දෙනා සමඟ නිරන්තරයෙන් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නට යනවා. ධර්මය අසනවා. ඒ දහම් ප්‍රතිපදාව අනුගමනය කරනවා.දිනක් ඇයට සිතෙනවා “මේ ගිහි ජීවිතය හරි බරක්. මම පැවිදි වෙන්න ඕනේ” කියා සිතා කිකී පිය රජතුමාට ඒ බව දන්වා අවසර ඉල්ලුවා. නමුත් රජතුමා එයට අවසර දුන්නේ නැහැ. එනිසා මේ සුධම්මා කුමරිය තීරණය කළා බඹසරව ගිහි ගෙදර වාසය කරන්න. ඇය අවුරුදු විසි දහසක් කුමරි බඹසර ආරක්ෂා කළා. නොයෙක් ආකාරයෙන් පින් දහම් කර මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නා.

පින්වන්ත දියණියකගේ ඉපදීම. . .

ඒ බුද්ධාන්තර කල්පය ගෙවී යද්දී මේ ලෝකයට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ඒ කාලයේ රජගහ නුවර සිටු පවුලක පින්වන්ත දියණියක් උපන්නා. ඉතාමත් ප්‍රියමනාප, සුන්දර මේ සිඟිති දියණියට මව්පියෝ ධම්මදින්නා යන නම යෙදුවා. කාලයාගේ ඇවෑමෙන් තරුණ වියට පත් ඇය ඒ මව්පියන් විශාඛ නම් සිටුවරයාට විවාහ කර දුන්නා. මේ දෙදෙනා ම ඉතාමත් ධාර්මික යි. ශ්‍රද්ධාවන්ත යි. සතුටින්, සමඟියෙන් පවුල් ජීවිතය ගත කළා.

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පළමුවරට රජගහනුවරට වැඩම කළ දිනයේ බිම්බිසාර රජු සමඟ මේ විශාඛ සිටුවරයාත් ධර්මය අසන්නට ගියා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මනාකොට ශ්‍රවණය කළ විශාඛ සිටුතුමා අනාගාමී ඵලයට පත්වුණා. ඔහු එදා නිවසට ගොඩවෙද්දී ධම්මදින්නාවට වෙනසක් තේරුණා. වෙනදා මෙන් කතාබහක්, සිනහවක් තිබුණේ නැහැ. නිහඬව වුවත් ඉතා ප්‍රසන්න ඉඳුරන් සහිතව යි ඔහු සිටියේ. ඔහු දෙස හොඳීන් බලා සිටි ධම්මදින්නා අසනවා,

“ස්වාමිනි ඔබ යම් අසනීපයකින් ද ඉන්නේ? නැතිනම් මෙසේ ඔබ කතාබහ නැතිව සිටින්නෙ මගෙන් යම් අඩුපාඩුවක්, වරදක් වුණා ද? "

ධම්මදින්නා මට ඔබෙන් කිසිම වරදක් වුණේ නැහැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවා. තිසරණයේ පිහිටි මම අනාගාමි ශ්‍රාවකයෙක් බවට පත්වුණා. මට දැන් මේ කිසිම දෙයක ඇලීමක්, ගැටීමක් නැහැ. අපට තිබෙන මේ සියලුම වස්තුව මම ඔබට දෙනවා. මේ සියලු ධනය ඔබගේ නිවසට ගෙනගොස් සුවසේ ජීවත් වෙන්න.”

ධම්මදින්නා කුමරිය ඉතා ප්‍රඥාවන්ත යි. ශ්‍රද්ධාවන්ත යි. ඇය විශාඛ සිටුතුමාට කියනවා

“පින්වත, ඔබ යමක් ද එපා කියා බැහැර කරන්නේ? ඒ දේ මමත් ගන්නේ නැහැ. ඔය කියන දහම් මඟ මාර්ගඵල අවබෝධය පුරුෂයන්ට පමණක් උරුම දෙයක් ද? ස්ත්‍රීන්ට මාර්ගඵල ලබන්නට බැරිද?”

“ධම්මදින්නා, මේ බුද්ධ ශාසනයේ ස්ත්‍රී, පුරුෂ කතාවක් නැහැ. නුවණැති වීර්ය ඇති ඕනෑම කෙනකුට එය කරන්නට පුළුවන්.”

“පින්වත, අනේ එහෙමනම් මටත් අවසර දෙන්න ඒ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි බව ලබා ගන්න”.

එය ඇසූ විශාඛ උපාසක ඉතාමත් සතුටු වුණා. ඔහු ඇය රන්සිවි ගෙයක නංවාගෙන මහ පෙරහරකින් භික්ෂුණි ආරාමයකට කැඳවාගෙන ගොස් උතුම් පැවිදි බව ලබා දුන්නා.

නිකෙලෙස් වීම. . .

ඒ තෙරණින් වහන්සේ ධර්මය හා විනය හොඳීන් ඉගෙන ගත්තා. ඇය දිනක් කල්පනා කළා,

“මගේ ස්වාමියා ගිහි ගෙදර බැ¼දීම් සහිතව සිටියදීයි මේ ධර්මය අවබෝධ කර මාර්ගඵල ලබා ගත්තේ. නමුත්, මම දැන් පැවිදි වූ කෙනෙක්. මට කිසිදු බැඳීමක් නැහැ. ජීවිතයේ බරක් නැහැ. සිව්පසය ලැබෙනවා. ඒ නිසා මම තවදුරටත් කෙලෙස් සහිතව සිටීම සුදුසු දෙයක් නොවේ” සිතා වන සෙනසුනකට වැඩ කෙලෙස් තවන වීරියෙන් යුතුව ධර්මයේ හැසිරුණා. විදර්ශනාව ප්‍රගුණ කළා. කෙටි කලකින් සියලු කෙලෙස් දවා මහතෙරණින් වහන්සේ නමක් බවට පත්වුණා.

දිනක් එතුමිය කල්පනා කරනවා “මම දැන් සියලු ක්ලේෂයන් දුරු කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා. මගේ පැවිද්ද සම්පූර්ණ යි. තව කළයුතු දෙයක් නැහැ. මේ සෙනසුනේ නොසිට මම රජගහනුවරට ගොස් මගේ ඤාතින්ට, උපකාර කරන්න ඕනේ” සිතා නැවත රජගහ නුවරට වැඩම කළා.

තෙරණින් වහන්සේ රජගහ නුවර වැඩම කළ බව විශාඛ සිටුතුමාට අසන්නට ලැබුණා. ඔහු සිතනවා “තෙරණින් වහන්සේ පැවිදිවීමට ගොස් එ තරම් කාලයක් නැහැ. ඇය නැවතත් රජගහ නුවරට වැඩම කළේ ඇයි? පැවිදි ජීවිතයට සිත ඇලෙන්නේ නැතිවා ද? සිත් කළකිරීමකින්වත් ද? මම ඒ ගැන තෙරණින් වහන්සේගෙන් ම අසා දැන ගන්නට ඕනේ “ සිතා රජගහනුවර තෙරණිය වැඩහුන් ආරාමයට පැමිණියා.

තෙරණින් වහන්සේට වන්දනා කළා. එතුමියගේ ධර්ම ඥානය විමසන්නට සිතා දහම් පද එකින් එක විමසුවා. තෙරණින් වහන්සේ ඒ ප්‍රශ්නවලට කිසි පැකිලීමක් නැතිව මනාකොට පිළිතුරු ලබා දුන්නා. ඉන් පසුව එතුමිය වදාළා උපාසක, ඔබ කැමැතිනම් මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේටත් ඉදිරිපත් කරන්න. මම දුන් පිළිතුරුත් කියන්න. එවිට ඒ පිළිතුරු හරි ද? වැරැදි ද? කියා භාග්‍යවතුන් වහන්සේ කියාදෙයි” කියා.

විශාඛ සිටුතුමා ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ධම්මදින්නා තෙරණින් සමඟ යම් කතාබහක් ඇතිවුණා ද ඒ සියල්ල ඒ ආකාරයෙන් ම කියා සිටියා. එය අසා සිටි භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් විශාඛ, ධම්මදින්නා තෙරණිය පණ්ඩිත යි. මහා ප්‍රඥා සම්පන්න යි. ඔබ ඔය ප්‍රශ්න මගෙන් අසා සිටියා නම් මම ලබාදෙන පිළිතුරුත් එයමයි කියා.

අග තනතුරු ලැබීම. . .

පසු කලෙක භාග්‍යවතුන් වහන්සේ භික්ෂුණින් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේදී මහණෙනි, මගේ මේ ශාසනයේ ධර්ම කථික භික්ෂුණීන් අතරින් ධම්මදින්නා භික්ෂුණින් වහන්සේ අග්‍ර වන්නේ කියා වදාළ සේක. ඒ තෙරණින් වහන්සේ උදානයක් ලෙස මෙසේ වදාළා.

“නිවන් දකින්නටම යි සිතේ ආශාව ඇතිවුණේ. වෙන දෙයකට වසඟ වුණේ නැහැ. මනසින් නිවන ස්පර්ෂ කර ගත්තා. කාමයන් පිළිබඳ සිත බැ¼දී නැති ජීවිතයක් ඇති කෙනා තමයි උඩුඟං බලා යන්නේ”