Print this Article


මෙවර කඨින මහා පුණ්‍යොත්සවයේ රාජ්‍ය උත්සවය සෝමවති චෛත්‍යරාජයා අබියසදී

මෙවර කඨින මහා පුණ්‍යොත්සවයේ රාජ්‍ය උත්සවය සෝමවති චෛත්‍යරාජයා අබියසදී

සම්බුද්ධ ශාසනයෙහි පවත්නා අටමහා කුසල් අතර අග්‍රතම කුසලය වන්නේ කඨින චීවර මහා පුණ්‍ය කර්මයෙන් ලැබෙන කුසලයයි. භික්ෂූන් වහන්සේට මෙන්ම දායක පින්වතුන්ට මෙම පුණ්‍ය කර්මය තුළින් උපනූපන් සෑම ආත්මයක දී ම උපභෝග පරිභෝග සැප සම්පත්තියත් අවසානයේ දී නිර්වාණ සම්පත්තියටත් හේතු වන්නකි.

කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝගත දානය, ධර්මය ලිවීම, කුඹුරු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා සෑදවීම, වැසිකිළි කැසිකිළි සෑදවීම යන කුසල් අතරින් ප්‍රධාන වන්නේ කඨින චීවර දානමය මහා පින්කමයි.

“අනු ජානාමි භික්ඛවේ වස්සං උපගන්තුං” මහණෙනි වැසි සමයෙහි වස් වැසීම අනු දනිමියි යන බුද්ධ දේශනාව අනුව ඇසළ පොහෝදින ප්‍රාතිමෝක්ෂ දේශනාවෙන් අනතුරුව පසු දින වස් සමාදන් වන භික්ෂූන් වහන්සේ තුන් මාසයකින් පසු එළඹෙන වස් පොහෝ දින පවාරණය කිරීමෙන් පසුව ඉල්පුර පසළොස්වක් පොහෝ දිනය තෙක්ම කඨින පින්කම් සිදු කිරීමේ කාලයයි.

බුද්ධ දේශනාව අනුව විනයානුකූල ව වසරකට එක් විහාරස්ථානයක එක් වරක් පමණක් ගිහි පැවිදි සහ සම්බන්ධයෙන් සිදු කෙරෙන කඨින චීවර පූජාව සමඟ භික්ෂූන් වහන්සේට අත්‍යවශ්‍ය වූ ද දායක පිරිසට කැමති දෙයක් කඨින චීවර පූජාවට යටත් කොට පූජා කළ හැකි වුව ද කඨින පින්කමේ ප්‍රධාන වන්නේ විනයානුකූල ව පවරන කඨින චීවරය පමණයි.

බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා වහන්සේ විසින් ම අගය කරමින් වර්ණනා කොට අනුදැන වදාළ මෙම කඨින චීවර පූජාව භාරතයේ පමණක් නොව මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීමේ පටන්ම භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වූ බවත්, මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාට “වස්සූපනායිකඛන්ධකය” දේශනා කිරීමෙන් පසු රජතුමා වස් වැසීම සඳහා භික්ෂූන් වහන්සේලාට ලෙන් සාදා පූජා කළ බවත්, වස්පවාරණයෙන් පසු භික්ෂූන් වහන්සේලාට කඨින චීවර, තුන් සිවුරු ආදිය පූජා කළ ආකාරයත් මහා වංසාදී ග්‍රන්ථයන් හි සඳහන් වේ.

දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ සිට සිංහල රාජධානිය අවසානය දක්වාත්, අද දක්වාත් රාජ්‍ය අනුග්‍රහය ලැබ හෝ නොලැබ සැදැහැවතුන් මුල් වී සෑම ගමක් හා විහාරස්ථානයක් පාසාම කඨින චීවර   පුණ්‍යොත්සවයක් වාර්ෂිකව ම සිදු කරන්නේ වෙනත් පින්කමකට වඩා කඨින චීවර පින්කමකින් ලැබෙන බලයත්, සත්‍යත්, ආශිර්වාදයත්, මහා පුණ්‍යස්ඛන්ධයක් නිසාම බව පැහැදිලි වේ.

කඨින චීවර මහා    පුණ්‍යොත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස මෙම වර්ෂයේ දී පැවැත්වෙන පොළොන්නරුවේ ඓතිහාසික සෝමවති චෛත්‍යරාජයා රුහුණේ රජ කළ කාවන්තිස්ස මහ රජතුමාගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණිතිස්ස රජතුමාගේ බෑණා වන ගිරිඅභය රජු විසින් ක්‍රි.පූ. 170 දී පමණ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන්කොට ඉදිකරන ලද බව ධාතුවංශ, ජිනකාලමාලී ආදී වංශ කතාවන්හි සඳහන් වේ.

දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු මහානාග කුමරු රෝහණයට යන විට මහවැලි ගඟින් එගොඩ වනවාත් සමඟම එතුමාගේ නමින්ම “නාගාරාමය” නමින් මෙම සෝමවති විහාරය මුලදී ඉදිකොට ඇත. මහානාග කුමාරයා යටාලතිස්ස ප්‍රදේශයේ රාජධානිය කරගන්නාවිට එතුමාගේ පුතා යටාලතිස්ස නම් විය. ඔහුගේ පුත් ගෝඨාභය රජු වූ අතර එතුමාගේ පුතා කාවන්තිස්ස හා දියණිය සෝමවතී නම් විය. එකල මහමුහුද ගොඩ ගැලිනි. කැලණිතිස්ස රජතුමාගේ දියණිය විහාරමහා දේවී මුහුදට පාකර හැරිය පසු කාවන්තිස්ස රජතුමාට හමු වී බිසව බවට පත්කර ගත් අතර ඔවුන්ගේ දෙටු පුත් දුටුගැමුණු කුමරා විය.

කැලණියේ කැලණිතිස්ස රජුගේ බෑණනුවන් සමඟ විවාහ වූ සෝමවතී දේවිය ගිරි ජනපදයේ රාජ්‍ය කරන විට දුටු ගැමුණු කුමරු පැමිණීමෙන් පසු එම ගිරි ජනපදයත්, ස්වර්ණමාලි දියණියත් දුටුගැමුණු කුමරුට භාර කොට සේරු ජනපදයට ගොස් මහවැලි ගඟ සීමා කොට සෝම නගරය පිහිටුවා ගන්නා ලදී.

එම සෝමපුරයෙහි භික්ෂූන් වහන්සේලා 60 නමක් වාසය කළ, මහානාග රජතුමාගේ නමින් ඉදිකරන ලද නාගාරාම විහාරය විය. චෛත්‍යයක් නොමැති නිසා සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු එහි වැඩ විසූ දෙවැනි මිහිඳු රහතන් වහන්සේගෙන් අවසර ලබාගෙන දාගැබ ඉදිකිරීමේදී ධාතූන් වහන්සේ නමකගේ අවශ්‍යතාවය දෙවැනි මිහිඳු හිමියන්ට සිහිපත් කළහ.

උන්වහන්සේ තමන්වහන්සේ වෙත ලැබී තිබූ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පරිත්‍යාග කරන ලදින් බුද්ධරශ්මිමාලා විහිදීම ආදී ආශ්චර්යමත් සිද්ධින් සියසින් දකිමින් එම දළදා වහන්සේ නිදන් කොට සෝමවතී නමින් දාගැබ ඉදිකළ බවත් ඒ සමඟ සෝම නම් පස් පිළිම විහාරය, මනි අගිය නම් පෝය සීමාව ඇතුලු සියලු විහාරාංග ගොඩනංවා බස්නාහිර දෙසට අඩි 600 හා නැගෙනහිර දෙසට අඩි 1000 ට ඈතීන් ප්‍රාකාරයක් ඉදිකොට නැගෙනහිර ප්‍රාකාර බැම්මෙන් පිටත සංඝාවාස ආදිය ඉදිකොට මිහිඳු හිමියන් ප්‍රධාන 60 නමක් වූ භික්ෂූන් වහන්සේට පූජා කළ බවත් සඳහන්ය. එකී ගොඩනැගිලි නටඹුන් අද දක්වාම පවතී.

මෙම වර්ෂයේ කඨින චීවර මහා  පුණ්‍යොත්සවයේ  රාජ්‍ය උත්සවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආශිර්වාදාත්මක අනුග්‍රහයෙන් 2020 නොවැම්බර් 7 සහ 8 දිනයන්හි පෞරාණික චාරිත්‍රානුකූල ව විනයානුගතව පැවැත්වීමට කටයුතු කෙරේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරු වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පොළොන්නරුවේ මහ දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් හා මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා හා නීතිඥ නිලනොලත් මහෙස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය ඇතුළු සෑම දෙනාගේම සහ සම්බන්ධතාවයෙන් 2020 නොවැම්බර් 07 දින වන විට වියා නිමකරන ලද චීවර වස්ත්‍රය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත රතනසූත්‍ර දේශනාව මධ්‍යයේ සෝමවති රජමහ විහාරය සමීප පොලිස් නිල නිවාසයේ තැන්පත් කිරීමට නියමිතව තිබිණි.

එදින සවස දකුණු දළදා වහන්සේ උදෙසා අෂ්ඨපාන ගිලන්පස සම්බුද්ධ පූජාව පවත්වා, කොරෝනා මහා වසංගතයෙන් ශ්‍රී ලාංකික ජනතාව ඇතුළු සකල ලෝක ජනතාවටම සිදුව ඇති මහා ව්‍යසනය, විපත්තිය දුරු වී අපමණ ශාන්තියක් සිදු වේවා යන ප්‍රාර්ථනයෙන් මහා රතන සූත්‍ර දේශනාව පැවැත්වීමටත්, අද දින එකී චීවර වස්ත්‍රය විහාරස්ථානයට වැඩමවා මහ සඟරුවනට පිළිගන්වා සිවුරක් බවට පත් කරවා ගෙන මල්වතු අස්ගිරි මහානායක මාහිමියන් වහන්සේලාගේ අනුශාසනා අනුව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මල්වතු අස්ගිරි හා පොළොන්නරු ප්‍රදේශයේ මහ සඟරුවන වැඩමවාගෙන සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමෙන් පසු විනයානුගත, පෞරාණික චාරිත්‍රානුකූලව කඨින චීවර, රාජ්‍ය මහා  පුණ්‍යොත්සවය හා රතනසූත්‍ර දේශනාව පැවැත්වීමට නියමිත ය. ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සකල ලාංකේය ජනතාවටත්, සකල ලෝකයාටත් කොරෝනා නමැති මහා වසංගත ව්‍යසනයෙන් විනිර්මුක්තව නිදුක්ව නිරෝගීව සුවසේ කටයුතු කිරීමට ලැබේවා.

ඒකීය ශ්‍රී ලංකාද්වීපය තුළ මහ සඟරුවන ඇතුළු සකල ලාංකික ජනතාවට අසීමිත ශාන්තියක් සිද්ධවේවා යන උදාරතර ප්‍රාර්ථනා සමුදායෙන් ශ්‍රී දකුණු දළදා සමිඳුගේ ආශිර්වාද පෙරටුව සිහිපත් කරන අතර මේ සඳහා සම්බන්ධ වන අගමැතිතුමා ප්‍රධාන සියලුම සාධූන්ට සඟමොක් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.