Print this Article


සැමට පිදේ බුහුමන්

සැමට පිදේ බුහුමන්

දිවමන් බුදුහිමි අබිසෙස් ගැන් වූ
සසුන දිලෙන මේ පහන් බිමයි
සිවු මුනි පහසින් වැලිකැට මිණිකැට
ලෙස තෙද ගැන්වෙන සුපින්බිමයි

පෙර රජ දරුවන් සම්බුදු සසුනට
පුද දී රැකගත් විජය බිමයි
ලංකා මව්බිම සුරැකෙන හැම විට
පළමුව තෙරුවන් සරණ ලබයි

අහසින් පොළොවෙන් ජලයෙන් මව්බිම
සුරකින තෙදබල විරුවන්ගේ
සේවය අදටත් අප වෙනුවෙන්මයි
නොබලති සිය ජීවිතයෙ අගේ

රෝ බිය රකුසා ගිලගත් මව්බිම
වෙත ජීවය දී ඉදිරි යුගේ
සුවපත් දැයකට රට ඔසවන ඒ
රණවිරු දෑතම මගේ මගේ

මරණයෙ අබිමුව සිටිනා ගිලනුන්
බේරා ගැනුමට කුලුණු සිතින්
සිය දිවි දෙවැනි ව ඉදිරියට ම යන
සුව විරුවන් සමරමු අදරින්

තෙරුවන් විරුවන් නැතිදා මව්බිම
හෙළනා පණ අවසන්
පණ දී පුද දී මේ බිම රකිනා
සැමට පිදේ බුහුමන්



කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි