Print this Article


සංවර ජාතකය ඇසුරිනි: සංවර රජු දෙව්ලොව උපදියි

සංවර ජාතකය ඇසුරිනි:

සංවර රජු දෙව්ලොව උපදියි

මෙම ලිපියේ ඉතිරි කොටස වප් පුර පසළොස්වක පෝ දා (ඔක්තෝබර් 30) පත්‍රයේ පළවිය.

උපෝසථ නම් වැඩිමහල් කුමාරයා අනෙකුත් සහෝදර කුමාරවරුන් තමා සමීපයට කැඳවා මෙසේ ප්‍රකාශ කළා. “සහෝදරවරුනි, අප බාල මලණුවන් වන සංවර රජ දරුවන් ඉක්මවා යන්නට සමර්ථයෙක් නැත, ඔහු අපට බාල සොහොයුරු වුවත් අපට සතුරුකම් නොකොට පියා සන්තක වස්තුව අප සැමට එවා අප හා සටන් නොකරන බවට පණිවිඩ එවා ඇත.

අනෙක් අතට අපි සැවොම එකවිට අභිෂේක නොවන්නෙමු. කෙනෙක් ඇවෑමෙන් කෙනෙක් අභිෂේක වෙමු. එබැවින් සංවර රජතුමාටම රාජ්‍ය දී අපගේ ජනපදවලට ම යමුයි. ” සම්මත කර ගත්තා.

පසුව ඔවුන් සැම දෙනා යහපතැයි ගිවිස්වාගෙන සතුරු නොවී සංවර රජතුමාගේ සත්කාර සම්මාන ලබා මහා පෙරහරින් රජගෙට පැමිණියා. පැමිණ සංවර රජුට වැඳ ආචාර දක්වා මිටි වූ අසුන්වල ඉඳ ගත්තා. අපගේ පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ඇවෑමෙන් සිතාමතාම සංවර කුමාරයාට රාජ්‍ය ලබා දුන්නේ ”යැයි සිතා මෙසේ විචාළා.

“ මහ රජතුමනි, අපගේ පිය රජතුමා එකුන් සියයක් පමණ වූ කුමාරවරුන්ට කුඩා ජනපදවලින් සංග්‍රහ කොට තමන්ගේ ඇවෑමෙන් දැන දැනම නුඹට මේ රාජ්‍ය දුන්නේ ද? නුඹත් අප පියාණන් ජීවමාන ව සිටියදී ම රාජ්‍ය පැතුවා ද? නැතහොත් රජතුමාගේ ඇවෑමෙන් අමාත්‍යන් හා ජනපද වාසීන්, නුඹගේ නෑයෝ ඔවුනොවුන්ගේ උවමනා එපාකම් සඳහා නුඹව රාජ්‍යත්වයට පැමිණ වූවා ද? රජතුමනි, නුඹගේ කවර නම් ශීලව්‍රත සමාදානයකින් නුඹ කෙරෙහි හටගත් කවර ගුණයකින් මෙතනට රැස් වූ එකුන් සියයක් වූ කුමාරවරුන් ආදි කොට ඇති සියලු නෑයෝ කෙසේ නම් හික්මෙවුවෝ ද? ඒ බව අපහට කියා දෙන්න”

එබස් ඇසූ සංවර රජතුමා මෙසේ ප්‍රකාශ කළා. “ එම්බා රාජ කුමාරයෙනි, මම කිසි සත්වයකුගේ යසස් දැක ඊර්ෂ්‍යා නොකළෙමි. තවද ශාන්ත ඉඳුරන් ඇති මහත් සීලස්ඛන්‍ධයෙන් යුක්ත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දුටු කල පසඟ පිහිටුවා වැන්ඳෙමි. දාන මානාදියෙන් ද ධාර්මික වූ රක්‍ෂාවරණයෙන් ද හැමවිටම ඔවුන් පිදුවෙමි. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මා කෙරෙහි පැහැදී ‘මේ දේ කරවයි මේ දෙය නොකරවයි’ මා යහපතෙහි පිහිටුවාලී ය. එබස් මනාව ඇසූ මම ද අයහපතෙන් වෙන් ව කුසලයෙහි හැසිරෙමින් යහපත් දෙයම සිදු කළා.

තවද මා නුවණැති මන්ත්‍රනයේ දක්‍ෂ අමාත්‍යයෝ ද, පිරිවර ජනයෝ ද ලැබුවෙමි. නුඹලා වනාහි එසේ ප්‍රාඥ වූ පණ්ඩිතවරුන් නොලද්දෝ ය. එසේ ම අපගේ ආචාරීන් වහන්සේ ද නුවණැති හා උපායේ දක්‍ෂ බැවින් රාජ්‍ය ලබා ගැනීමට අනුශාසනා කළා. සහෝදර කුමාරවරුනී, මා අභිෂේක කළ තැන් පටන් “අපගේ රජ්ජුරුවෝ ධාර්මිකැයි සැමගේ මුවින් පිට වුණා. එසේ ම සතර පෝයෙහි දී ම වර්ෂාව ද ලැබුණා. බරණැස් නුවර ආදි වූ බොහෝ රටවලින් වෙළෙන්දන් මෙහි පැමිණ ඉතා වටිනා මිණි මුතු ආදි වූ වස්තුන් ආරක්‍ෂා සහිතව වෙළඳාම් කළා. එයින් මගේ රට වැසියෝ ද යසසින් වැඩුණා. මෙවැනි හේතූන් නිසා ඔබ හැමට බාල වූ මා රාජ්‍යත්වයට පැමිණියා.” යැයි සංවර රජතුමා සැමටම කාරණා පැහැදිලි කළා.

ඉක්බිති සංවර රජුගේ ගුණ ඇසු අනෙක් කුමාරවරු “ සප්තවිධ රත්නයෙන් සමන්විත වූ තව්තිසා වැසි දෙවියන් පිරිවර කොට ඇති සක්‍ර දේවේන්ද්‍රයන් ව අසුරයන් විසින් ජයගත නොහෙන්නා සේ නුඹත් පරසතුරන් විසින් මැඩලිය නොහෙන්නේ ” යැයි කියා රාජ්‍ය පවරා තම ජනපද කරා නික්මීමට සූදානම් වුණා. සංවර රජ්ජුරුවෝ තම වැඩිමහල් සොහොයුරන් වූ රාජ කුමාරවරුන්ට මහත් සම්පත් දී පිටත් කොට හැරියා. සංවර රජතුමා ද තවදුරටත් බෝධිසත්වයන්ගේ අවවාදයෙහි පිහිටා මනා කොට රාජ්‍ය පාලනය කර ආයු කෙළවර දෙව්ලොව උපන්නා.

සර්වඥයන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙන හැර දක්වා නුඹ එසේ අවවාදයෙහි පිහිටා රාජ්‍ය කළ නමුත් දැන් කුමක් පිණිස වීර්යහරනේ දැයි වදාරා චතුසත්‍ය දේශනාව කොට සංවර ජාතකය දේශනා කොට වදාළා.

එම දේශනාව කෙළවර පසුබට වීර්ය ඇති තෙරුන් වහන්සේ සෝවාන් ඵලයෙහි පිහිටියා.

“එදවස සංවර රජ්ජුරුවෝ මේ වීර්ය අත්හළ භික්‍ෂුවයි. එසමයෙහි උපෝසථ කුමරු නම් මේ සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යි. අවශේෂ අට අනුවක් වූ කුමාරවරුන් දැන් අසූ මහා සවුවන් හා අනුරුද්ධ ස්ථවිරයෝ යි. එසමයෙහි රජ පිරිස නම් දැන් මේ බුදු පිරිසයි. එදා සංවර කුමරුට අවවාද ලබා දුන් අමාත්‍යයෝ නම් ලොවුතුරා බුදු වූ මම් ම නොවේ දැ” යි වදාරා දේශනාව නිම කළා.