Print this Article


මකුලෑවේ විමල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත්වෙති

මකුලෑවේ විමල නා හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත්වෙති

මීරිගම, මිණිඔලුවේ විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති, ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල නා හිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර අග්ගමහා පණ්ඩිත, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව විසින් එම නිකායේ අනු නායක පදවියකට පත් කර ඇත. විමල හිමියෝ මේ වන විට උපතින් දෙ සැත්තෑ වියද, පැවිද්දෙන් සැට වසරක් ද, උපසම්පදාවෙන් පණස් වසරක් ද ගත කර ඇත. දැන උගත් ශික්ෂාකාමි යතිවරයන් වහන්සේ නමකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුවිජ්ජක දිශා පාලක, කාරක සංඝ සභික, ජෙට්ඨාතුවිජ්ජක, උපරිමානු විජ්ජක නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි, සංඥා ලේඛකාධිකාරි, මහෝපාධ්‍යාය ආදී විවිධ නිලතල හොබවා අනුනායක පදවියට පත්වන විට අධිකරණ නායක පදවිය ද හෙබ වූ නා හිමි නමකි.

මීරිගම , මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ මකුලෑවේ නා හිමියෝ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය , කැලණිය විශ්ව විද්‍යාලය ආදී ආයතන තුළින් උසස් අධ්‍යාපනය ලබා ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති ආදි උපාධි හිමි කරගෙන ඇති අතර, බුරුම (මියන්මාර්) රාජ්‍යයෙන් පිරිනමන අග්ගමහා පණ්ඩිත උපාධිය ද හිමිකරගත් යතිවරයාණන් වහන්සේ නමකි. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජික ධුරයක් මෙන් ම, කාරක සභික ධූරයක් ද හොබවන විමල හිමියෝ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ ද යාවජීව සාමාජිකයන් වහන්සේ නමකි. බුද්ධ ශාසන උපදේශක සභාවේ ද, ජනාධිපති උපදේශක සභාවේ ද සාමාජිකත්වය දරන උන්වහන්සේ දේශනයෙන් ද ලේඛනයෙන් ද සමාජයට වැදගත් සේවයක් සිදුකරන අතර, පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් ද, පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නො මැකෙන සේවයක් ඉටුකර ඇත. මකුලෑවේ විමල අනු නා හිමියන්ට තව තවත් ලෝ සසුන් සේවය සඳහා තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සැලසේවා .