Print this Article


බ්‍රහ්ම ලෝකයේ උපත ලැබූ ධනඤ්ජානි බමුණාගේ කතාව

බ්‍රහ්ම ලෝකයේ උපත ලැබූ ධනඤ්ජානි බමුණාගේ කතාව

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සමයේ එනුවර ධනඤ්ජානි නමින් බමුණෙක් ජීවත් වුණා. ඔහු බමුණු මත කරපින්නාගෙන සිටි මිසදිටු ආගම වැලඳ ගත් තැනැත්තෙක්.

රාජ්‍ය බලය පාවිච්චි කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ගේ, රජුගේ ධනය පැහැර ගත් අධික තණ්හාධික තැනැත්තෙක්. ඔහුටත්, බිරියටත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ.

දිනක් මේ බමුණාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසුණා. පිළිසඳර කතා කළා. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ගෞරව කළා.

කලකට පසු මේ බමුණා බලවත් ලෙස රෝගාතුර වුණා.මරණාසන්න වුණා. ඒ බව ආරංචි වූ සාරිපුත්තයන් වහන්සේ ධනඤ්ජානි බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා. ඔහු වැතිරී සිටින ස්ථානයේ අසුන් ගත්තා.

“පින්වත් බ්‍රාහ්මණය, ඔබට කොහොමද? වේදනාව ඉවසිය හැකිද? ශරීරයේ දුක් වේදනා අඩු බවක් දැනෙනවා ද? නැති නම් වැඩි බවක් ද දැනෙන්නේ? රෝගය සුව අතට හැරෙන බවක් පෙනෙන්නට නැද්දැ” යි අසා වදාළා. එවිට ධනඤ්ජානි බ්‍රාහ්මණයා කියනවා,

“අනේ පින්වත් ස්වාමින් වහන්ස, මට ඉවසාගෙන සිටීමට ඉතා අපහසුයි. යැපීමට අපහසුයි. මේ ශරීරයේ දුක් වේදනා අඩුබවක් පෙනෙන්නේ නැහැ. ස්වාමීනි, බලවත් පුරුෂයෙක් වරපටකින් හිස වෙලා, ගැටගසා, තද කරනවා වාගෙ‍්, මගේ හිසේ කැක්කුම බලවත් ව පවතිනවා. රෝගය සුව වීමක් දකින්නට නැහැ. දිනෙන් දින වැඩිවීමකුයි තිබෙන්නේ. ස්වාමිනි මගේ කුස තුළ ඉතා තද වේදනාවක් තිබෙනවා. කුස පැලෙන්නට තරම් වේදනාවක් දැනෙනවා. මුළු ශරීරය ම ගිනි අඟුරු වළකට දැමුවා සේ රත් වෙමින් දැවෙනවා. අනේ හිමියනි මේ වේදනා ඉවසීම ඉතා අපහසුයි. මේ වේදනාව අඩු බවක් නම් පෙනෙන්නට නැහැ. එන්න එන්නම වැඩිවීමක් තමයි තිබෙන්නේ.”

“පින්වත් බ්‍රාහ්මණය, ඔබ මේ ගැන කුමක් ද සිතන්නේ? නිරය හා තිරිසන් ලෝකය යන දෙකෙන් වඩාත් හොඳ ලෝකය කුමක් ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, නිරය හා තිරිසන් ලෝකය යන ලෝක දෙකම දුකින් පිරුණු ලෝක දෙකක්. නමුත් එයින් වඩාත් හොඳ තිරිසන් ලෝකය යි.”

“බ්‍රාහ්මණය , තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය යන ලෝක දෙකෙන් වඩාත් හොඳ ලෝකය කුමක් ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය අතර ඇත්තේ දුකම පමණ යි. ඒත් ඒ ලෝක දෙකෙන් වඩාත් හොඳ ප්‍රේත ලෝකය යි.”

“බ්‍රාහ්මණය, එසේ නම් ප්‍රේත ලෝකයත්, මිනිස් ලෝකයත් තිබෙනවානේ. මේ ලෝක දෙක අතරින් කවර ලෝකයක් හොඳ යැයි ඔබට සිතෙනවා ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, මේ ලෝක දෙකෙන් ශ්‍රේෂ්ඨ වන්නේ මනුස්ස ලෝකය යි.”

“බ්‍රාහ්මණය, ඔබ කුමක් ද සිතන්නේ? මිනිස් ලෝකය ද, චාතුම්මහරාජික දෙව් ලොව ද වඩා උසස් වන්නේ?”

“පින්වත් ස්වාමින් වහන්ස, චාතුම්මහරාජික දෙව් ලොව උපතට සුදුසු යැයි මට හිතෙන්නේ?”

“බ්‍රාහ්මණය, කුමක් ද ඔබ සිතන්නේ? චාතුම්මහරාජික දිව්‍ය ලෝකය ද, තව්තිසා දෙව්ලොව ද වඩා උසස් වන්නේ? මේ දෙකෙන් උපතකට සුදුසු කවර ලෝකය ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, එයින් උපතකට සුදුසු ලෝකය තව්තිසාව නේද?”

“බ්‍රාහ්මණය, තව්තිසා දෙව්ලොව සහ යාම දෙව්ලොව අතරින් වඩාත් සුදුසු වන්නේ කවර ලෝකය ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, යාම දෙව් ලොව උපතට සුදුසුයි නොවේ ද?”

“බ්‍රාහ්මණය, ඔබ කුමක්ද සිතන්නේ? යාම දිව්‍ය ලෝකයත්, තුසිත දිව්‍ය ලෝකයත් අතරින් උපතකට සුදුසු ලෝකය කුමක් කියා ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, මට නම් හිතෙන්නේ තුසිත දිව්‍ය ලෝකය උපතට සුදුසු තැනක් කියායි.”

“බ්‍රාහ්මණය, ඔබ සිතන්නේ කුමක්ද? තුසිත දිව්‍ය ලෝකයත්, නිම්මාණරතී දිව්‍ය ලෝකයත් අතින් කවර දිව්‍ය ලෝකයක් මිනිස් උපතකට සුදුසු වේද කියා ද?”

“පින්වත් ස්වාමින් වහන්ස, මම හිතන්නේ නිම්මාණරතී දිව්‍ය ලෝකය උසස් එකක්. උපතකට ඒ ලෝකය සුදුසුයි කියා යි.”

“බ්‍රාහ්මණය, නිම්මාණරතී දිව්‍ය ලෝකයට වඩා පරනිම්මිත දිව්‍ය ලෝකය සැපෙන් ඉහළයි. ඔබ මේ ලෝක දෙකෙන් හොඳ කවර ලෝකය කියා ද සිතන්නේ?”

“පින්වත් ස්වාමින් වහන්ස, මට හිතෙන්නේ ඒ ලෝක දෙකෙන් උසස් පරනිම්මිත දිව්‍ය ලෝකය කියායි.”

“බ්‍රාහ්මණය, ඒ කියපු දිව්‍ය ලෝකය සැප ස්ථාන තමයි. නමුත් බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ පින්, කුසල් වැඩූ අයයි. ඔබ හිතන්නේ පරනිම්මිත දිව්‍ය ලෝකය ද, බ්‍රහ්ම ලෝක ද වඩාත් උසස් කියා.”

“පින්වත් ස්වාමින් වහන්ස, මේ ලෝක දෙකෙන් බ්‍රහ්ම ලෝකය ඉපදීමට සුදුසු ස්ථානයක්.”

එවිට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් ධනඤ්ජානි, බඹලොව ඉපදෙන්නට පිළිපැදිය යුතු මාර්ගයක් තිබෙනවා. ඔබ ඒ බඹ ලොව කෙරෙහි සිත පිහිටුවා ගන්න. මා කියනා දේ ට හොඳීන් සවන් දෙන්න.”

“ධනඤ්ජානි බඹලොව ඉපදීමට කැමැති පුද්ගලයා මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරනවා.ඒ වගේම දෙවැනි, තෙවැනි, සතරවැනි දිශාවටත් මෛත්‍රීය පතුරුවා වාසය කරනවා. ඒවගේ ම උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි සියලු උදවිය කෙරෙහි වෛර රහිත වූ, දුක්පීඩා රහිත වූ, විපුල වූ, අප්‍රමාණ වූ මෛත්‍රී සිතින් වාසය කරනවා. පින්වත් ධනඤ්ජානි, බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න තිබෙන මාර්ගය එය යි.

ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, ඒ තැනැත්තා කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවටත් කරුණාව පතුරුවා වාසය කරනවා.

උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි සියලු උදවිය කෙරෙහි වෛර රහිත වූ, දුක්පීඩා රහිත වූ, විපුල වූ, අප්‍රමාණ වූ කරුණා සිතින් වාසය කරනවා. ධනඤ්ජානි බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට තිබෙන මාර්ගය එය යි.

ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, ඒ තැනැත්තා මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවටත් මුදිතාව පතුරුවා වාසය කරනවා. උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි සියලු උදවිය කෙරෙහි වෛර රහිත වූ, දුක්පීඩා රහිත වූ, විපුල වූ, අප්‍රමාණ කරුණා සිතින් වාසය කරනවා. ධනඤ්ජානි බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට තිබෙන මාර්ගය එය යි.

ඒ වගේම පින්වත් බ්‍රාහ්මණය, ඒ තැනැත්තා උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරනවා. ඒ වගේම දෙවැනි, තෙවැනි, සතරවැනි දිසාවටත් උපේක්ෂාව පතුරුවා වාසය කරනවා. උඩ, යට, හරස් අතට ආදී සෑම තැනක් කෙරෙහි සියලු උදවිය කෙරෙහි වෛර රහිත වූ, දුක් පීඩා රහිත වූ, විපුල වූ උපේක්ෂා සිතින් වාසය කරනවා. ධනඤ්ජානි බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට තිබෙන මාර්ගය එය යි. එවිට ධනඤ්ජානි කියනවා,

“පින්වත් සාරිපුත්තයන් වහන්ස, ඔබගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය මගේ වචනයෙන් වන්දනා කරන සේක්වා! ස්වාමීනි උන්වහන්සේට කියන්න ධනඤ්ජානි බමුණා අසනීප ව, අසාධ්‍ය ව, දුක්ඛිත ව සිටිනවා. ඔහු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල නළල බිම තබා වන්දනා කරනවා” කියා.

සාරිපුත්තයන් වහන්සේ ඒ වචන පිළිගෙන ඒ නිවසින් වැඩම කොට ස්වල්ප වේලාවකින් ධනඤ්ජානි බමුණා මිය ගියා. බඹලොව ඉපදුණා. සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කොට වන්දනා කර මෙසේ වදාළා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ධනඤ්ජානි බමුණාගේ වචනයෙන් ඔබ වහන්සේගේ සිරිපා කමල මත නළල බිම තබා වන්දනා කරනවා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් සාරිපුත්ත, ධනඤ්ජානි බමුණාට තවදුරටත් සිත දියුණු කිරීමට අවස්ථාව තිබියදීත් ඔහුගේ සිත බ්‍රහ්ම ලෝකයේ පිහිටුවා ඔබ නැඟිට පිටත්වුණේ ඇයි? ඔහුගේ සිත බඹලොවින් ඉහළට ගෙන නො ගියේ ඇයි?”

“භාග්‍යවතුන් වහන්ස මට සිතුනේ මෙහෙමයි. මේ බ්‍රාහ්මණවරු කියන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට ආශා ඇති අය යි. ඉතින් ධනඤ්ජානි බමුණාටත් බ්‍රහ්ම ලෝකයේ උපදින්නට මාර්ගය කියා දී මම පිටත් වුණා.”

“සාරිපුත්ත, ධනඤ්ජානි බ්‍රහ්මණයා කළුරිය කළා. ඔහු දැන් බ්‍රහ්ම ලෝකයේ උපන්නා යැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.