[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් පිරෙන වස් කාලයයි: ගිහි පැවිදි සබඳතාවයයි

පින් පිරෙන වස් කාලයයි ගිහි පැවිදි සබඳතාවයයි

බුදු පියාණන් වහන්සේ කොටස් කළ ආකාරයට සමාජයේ ප්‍රධාන කොටස් දෙක වන්නේ ගිහි පැවිදි දෙපිරිස යි. දි.නි. සිඟාලෝවාද සූත්‍රය තුළින් සමාජ සබඳතා දැක්වීමේ දී ගිහි පැවිදි සම්බන්ධතාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත.

එම සූත්‍රයට අනුව මුළු සමාජ පද්ධතිය ම විග්‍රහ කර ඇත. මුළු සමාජ සංස්ථාව ම ප්‍රධාන කොටස් 6කට බෙදා දක්වා ඇත. ඒවා ආර්ය විනයෙහි සදිසා යනුවෙන් හඳුන්වනු ලැබේ. එයින් හය වෙනි ස්ථානයට ගැනෙන්නේ ‘උද්ධං සමණ බ්‍රාහ්මණා’ යන්නයි.

එනම් උඩ දිශාව මහණ බමුණන් යන්නයි. ගිහි පැවිදි දෙපක්ෂය හා ඔවුන්ට පැවරී ඇති කාර්යයන් පිළිබඳව එතුළින් විග්‍රහ වේ. ඒ අතර පළමුව ගිහියන්ගේ යුතුකම් දක්වා ඇති අතර, ඔවුන් විසින් කරුණු 5කින් පැවිද්දන් උදෙසා සැලකිය යුතු ආකාරය එයින් දක්වා ඇත. එනම්,

මෛතී‍්‍ර සහගත කාය කර්මයෙන්, මෛත්‍රී සහගත වචී කර්මයෙන්, මෛත්‍රී සහගත මනෝ කර්මයෙන්, නොවසන ලද දොරටු ඇතිව පිළිගැනීමෙන් හා ආමිස දානයෙන් සංග්‍රහ කිරීමෙන් ය.

චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිව් පසයෙන් ගිහියන් පැවිද්දන්ට සංග්‍රහ කරන්නේ කිසිදු පෞද්ගලික ලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? යන්න සද්ධර්මාලංකාරයේ මෙම ගාථාවෙන් අර්ථවත් වේ.

ගිහීන මුප කරොන්තානං
නිච්ඡ මාමිස දානතො
කරෝථ ධම්ම දානෙන
තෙසං පච්චුප කාරකං

ගිහි පක්ෂය පැවිද්දන් උදෙසා ආමිස දානයෙන් උපකාර කරන කල ඔවුන් උදෙසා ධර්ම දානයෙන් සංග්‍රහ කිරීම භික්ෂූන් වහන්සේගේ වගකීම බව බුදුන් වහන්සේ අනුදැන වදාළහ. ඒ අනුව සිව්පසයෙන් උපස්ථාන කරන ගිහි පින්වතුනට භික්ෂූන්ගෙන් ඉටුවිය යුතු කරුණු මොනවාද යන්න සිඟාලෝවාද සූත්‍රය තුළින් දේශනා කොට ඇත. එනම්,

පවින් වැළක්වීම, සුචරිතයෙහි යෙදවීම, යහපත් සිතින් අනුකම්පා කිරීම, නො ඇසූ ධර්මය ඇසීමට සැලැස්වීම, ඇසූ ධර්මය පිරිසුදු කිරීම හා ස්වර්ග මාර්ගය කියා දීම ය. ඉහතින් දක්වන ලද කරුණුවලින් පැවිද්දන් විසින් ගිහියන් උදෙසා සංග්‍රහ කළ යුතුව ඇත. දෙඅංශයට ම පැවරී ඇති කරුණු ඉටුවීම තුළින් ගිහි පැවිදි සබඳතාවය ශක්තිමත් වීමත්, සමාජ ප්‍රගමනයත් සිදු වනු ඇත.

දෙපක්ෂයේ ම අරමුණ වන්නේ නිවන් දැකීම වුව ද පැවිද්දාගේ ගමන හංසයාටත්, ගිහියාගේ ගමන මොනරාටත් උපමා කොට ඇත. ඒ දෙමඟ තුළ ගැඹුරු අර්ථයක් ඇති බව පැහැදිලි වේ. නමුදු ලෝකයේ සිදුවන ක්‍රියාත් සමඟ ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් මතුවනු පෙනේ. එදා භික්ෂූන් වහන්සේ ගත කළ සැහැල්ලු දිවි පැවැත්ම (සල්ලවුක වුත්ති) ඇතැම්විට දුරස් වී වගකීම් රාශියකින් බැඳී තිබීමක් පෙනේ. එයින් භික්ෂූවක් සතු නිදහස, සැහැල්ලුව නැති වී ඇත. එය ගිහි පින්වතුන් විසින්ම පවරා දී ඇති බැවින් භික්ෂූන් වහන්සේට දොස් කීම ද සාධාරණ නොවනු ඇත.

සඟ ගුණ පිළිබඳ විමසීමේ දී සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න යන ගුණයන්ගෙන් භික්ෂුවක් පිරිපුන් විය යුතුව ඇත.

අතීතයේ භික්ෂූන් වහන්සේ යනු සිංහයකු හා සමාන ය. පන්සල සියලු අංශයන්හි මධ්‍යස්ථානය වූවා සේ ම භික්ෂූන් වහන්සේ සියලු දෙනාටම නායකත්වය ලබා දුන්හ.

වර්තමානය තුළ බහුල වශයෙන් පැවිද්දන් සිවුරු හැර යෑම ද සිදු කරයි. ඒ සඳහා විවිධ හේතු ද පවතී. ගිහි පින්වතුන්ගේ ඇති නොසැලකිල්ලත් ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ඇත. ගිහියන් විසින් පැවිද්දන් කෙරෙහි තිදොරින් ම අහිතක් නොකළ යුතු ය. ගිහියන් වැරැදි කළොත් භික්ෂූන් වහන්සේ විසින් ඔවුනට දෙන ලොකුම දඬුවම වන්නේ පත්තනික්කුජ්ජන කර්මය යි. එනම් ඔවුනගේ දානය නොපිළි ගැනීමයි. ඒ දඬුවමට ගිහියන් හසු නොවීමට ගිහි පක්ෂය විසින් බලා ගත යුතු ය.

පුහුදුන් ස්වභාවය තුළ දෙපක්ෂය තුළින් ම වැරැදි අඩුපාඩු සිදුවීම සාමාන්‍ය ස්වභාවය යි. එසේ වුවද ගිහියන් අතර ජීවත් වීමේ දී පැවිද්දන් විසින් ගිහි පක්ෂයට වඩා තිදොරින් ම සංවරභාවය ඇතිකර ගත යුතු ය. නොපැහැදුන අයගේ පැහැදීම සඳහාත්, පැහැදුන අයගේ වැඩි පැහැදීම සඳහාත් පැවිදි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුව ඇත. ඊට අමතරව සැහැල්ලු දිවි පැවැත්මත්, ලද දෙයින් සතුටු වීමත්, අටලෝ දහමින් උදම් නොවීම හා කම්පා නොවීමත් පරාර්ථකාරී බවත් විනය ගරුක බවත් උතුම් මානුෂික ගුණ ධර්ම දියුණු කර ගැනීමත් භික්ෂු පක්ෂය විසින් කරගත යුතුව ඇත. සතර මග, සතර ඵල, නිර්වාණය යන නවාංග ශාස්තෘ ශාසනය ප්‍රගුණ කිරීමට ඉහත මතක් කළ ගුණ ධර්ම ඉවහල් වනු ඇත. එසේ නොවුනහොත් තව තවත් සසර බොහෝ කාලයක් ඇවිදීමට සිදුවනු ඇත. එය බුද්ධශ්‍රාවකයින් වශයෙන් ලද භාග්‍යයෙන් ප්‍රයෝජන නොගැනීමක් වනු ඇත.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]