[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 10:

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා 10:

සිහි කල්පනාවෙන් තොර නම් මියගියා හා සමානයි

මත්වතුර බොමින්, සූදු කෙළිමින්, අනාචාරයේ හැසිරෙමින් විවිධ පව්කම්වල යෙදෙන අසත්පුරුෂයන් ආශ්‍රය නොකිරීමට ස්ථීර වශයෙන් ම අධිෂ්ඨාන කර ගන්න. සති ඉන්ද්‍රිය පිරිසිදු වන පළමු අංගය යි.

සති ඉන්ද්‍රිය පිරිසිදුවීමේ දෙවැනි අංගය එළඹසිටි සිහි ඇති පුද්ගලයන් ඇසුරු කිරීම යි. සේවනය කිරීම යි. භජනය කිරීම යි. පයිරුපාසනය කිරීම යි. “උපට්ඨිත සති පුග්ගලෙ සෙවතො භජතො පයුරුපාසිතො” කිව්වේ එයයි.

එළඹසිටි සිහි ඇති පුද්ගලයන් ලෙස නියමාකාරයෙන් සැලකිය හැක්කේ බුද්ධාදී උතුමන් වහන්සේලා පමණයි.

නමුත් සසර බිය දැක, මාර්ගඵලාවබෝධය බලාපොරොත්තුවෙන් ප්‍රධන් විර්ය වඩමින් සිහිය පුරුදු පුහුණු කරන සත්පුරුෂයන් ද මේ ගණයට අයිති වෙනවා. මෙවැනි සත්පුරුෂයන් ඇසුරු කිරීමට අප ස්ථීර වශයෙන් අධිෂ්ඨාන කර ගන්න ඕන. මේ සති ඉන්ද්‍රිය පිරිසිදුවීමේ දෙවැනි අංගය යි.

සති ඉන්ද්‍රිය පිරිසිදුවීමේ තුන්වන අංගය සතිපට්ඨානය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යි. මෙහිදී සතිපට්ඨානය කිව්වේ සතිපට්ඨාන සූත්‍රයේ ආ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පමණක් ම නෙවෙයි. මෙයට සියලු ම ත්‍රිපිටක බුද්ධ වචනය ගණන් ගැනෙනවා. ඒ කියන්නේ අප මුළු බුද්ධ වචනය ම ඉගෙන ගන්න, නිතර නිතර මෙනෙහි කරන්න, පුළුවන් සෑමවිට ම පිළිපදින්න ස්ථීර වශයෙන් අධිෂ්ඨාන කර ගන්න ඕන. මේ සති ඉන්ද්‍රිය පිරිසිදුවීමේ තුන්වන අංගය යි.

ඉහතින් විස්තර කළ කරුණු තුන පුරුදු පුහුණු කරන කොට සතින්‍ද්‍රිය පිරිසිදු වෙනවා. සතින්‍ද්‍රිය පිරිසිදු වුණාට පස්සෙයි සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වඩන්න ඕන.

සතිය වඩන්න ප්‍රමාදය අත්හරින්න ඕනෑ. ප්‍රමාදය අත්හරින කෙනාට සතිය වැඩෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ ප්‍රමාදය කියන්නේ පරක්කුවීම කියලා. ඇත්තට ම එය වැරදියි. මෙතන ප්‍රමාදය කිව්වේ සිහි කල්පනාවෙන් තොරවීම යි. සිහි කල්පනාවෙන් තොරව ජීවත් වන සියලුදෙනා හැමදාම ගර්හාවට, නින්දාවට ලක් වෙනවා. “පමාදො ගරහිතො සදා” කිව්වේ එයයි. ඒ වගේම සිහි කල්පනාවෙන් තොරව, ප්‍රමාදීව ජීවත් වන අය මැරුණු අය හා සමාන බව ධර්මයේ දක්වලා තියෙනවා. ඒ “යෙ පමත්තා යථා මතා” කියලා.

සිහිය වඩන්න දෙවනුව අප්‍රමාදය භාවිත කරන්න ඕන. “අප්පමාදං භාවෙන්තො සතින්‍ද්‍රියං භාවෙති” කිව්වේ එයයි. අප්‍රමාදය භාවිත කරන කොට සතින්ද්‍රිය වැඩෙනවා. මෙතන අප්‍රමාදය කිව්වේ මනා සිහි කල්පනාව යි. සති සම්පජඤ්ඤය යි. යෝනිසෝ මනසිකාරය යි. අප්‍රමාදය කෙතරම් වැදගත් ද කියනව නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී අවසාන අවවාදය ලෙස දේශනා කළේ “අප්පමාදෙන සම්පාදෙථ” අප්‍රමාදීව සියලු කටයුතු සිදු කර ගන්න කියලා. මොකද? අප්‍රමාදී පුද්ගලයා ලෞකික ලෝකෝත්තර දෙඅංශයේ ම මහත් සැපයට පත් වෙනවා. සතිය වඩන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ධර්ම කරුණු දහයක් සිහි කිරීම. දස අනුස්සති කිව්වේ ඒවායි.

ඒවා නම්,

බුද්ධානුස්සතිය, දේවතානුස්සතිය, ධම්මානුස්සතිය, මරණානුස්සතිය, සංඝානුස්සතිය, උපසමානුස්සතිය, සීලානුස්සතිය, කායගතාසතිය, චාගානුස්සතිය, ආනාපානසතිය යි.

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]