Print this Article


දහම් අධ්‍යාපනය වැඩිදියුණු කර ආකල්පමය පෙරළියක් ඇති කළ යුතුයි

දහම් අධ්‍යාපනය වැඩිදියුණු කර ආකල්පමය පෙරළියක් ඇති කළ යුතුයි

- දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ


අද අපේ සමාජය භෞතික සම්පත් අතින් ප්‍රමාණාත්මක දියුණුවක් ලබා තිබෙනවා. අපි, ඉස්සර ගම ගැන සිතමු. පොල් අතු සෙවිළි කළ, පිදුරු සෙවිළි කළ නිවාස තමයි සෑම තැනකම වගේ තිබුණේ. ඒ කාලයේ ගමට විදුලිය තිබුණේ නෑ. නල ජල පහසුකම් තිබුණේ නෑ.

අද තත්ත්වය ඊට බොහෝ වෙනස්. සෑම ගමක ම පාහේ ගේ දොර හොඳට හැදිලා. පොල් අතු, පිදුරු සෙවිළි කළ නිවසක් සොයා ගැනීමට නොහැකි තරම්. සෑම නිවෙසකටම වගේ අඩුම තරමේ යතුරුපැදියක්, ත්‍රීරෝද රථයක්, එහෙම නැති නම් මෝටර් රථයක් තිබෙනවා. නගරයේ කඩ සාප්පු සංකීර්ණ ගොඩගැසී තිබෙනවා. පාසල්, රෝහල් වැනි ආයතන බොහොම දියුණුයි. ප්‍රවාහන පහසුකම් දියුණුයි. මේ විදිහට භෞතික සම්පත් දියුණු වුණත් අපට මේ සමාජයේ හිඩැසක් පෙනෙනවා. ඒ ගුණ ධර්ම අතින්. අපට බොහෝ විට දකින්නට අසන්නට ලැබෙන්නේ යහපත් දේ නොවෙයි. සාරධර්ම පිරිහුණු ස්වභාවයක්. සරලව කියනවා නම් බොහෝ මිනිසුන් වෙතින් මිනිස්කම ගිලිහිලා.

එක පැත්තකින් මත් ද්‍රව්‍ය වේගයෙන් පැතිරී යනවා. බොහොම ප්‍රචණ්ඩකාරී දේ සිදු වනවා. අවි ආයුධ අතට ගත් පාතාලය යැයි හඳුන්වා ගත් මැර කණ්ඩායම් කප්පම් ගන්නවා. මුදලට කෑදරකමින් මිනිසුන් ඝාතනය කරනවා. තව පැත්තකින් මංකොල්ලකෑම්, තර්ජනය කිරීම්. ස්ත්‍රියකට එදා තිබුණ ගරුත්වය සමහර පිරිස් වෙතින් ගිලිහිලා. ළමයා වැඩිහිටියා හඳුනන්නේ නෑ.

අනෙක් පැත්තෙන් සමහර දරුවන් මව්පියන්ට සලකන්නේ නෑ. සමහර මව්පියන්ට ජීවත්වීමට සරණක් නෑ. ඉන්න හිටින්න තැනක් නෑ. සමහර දරුවො හොඳින් ගේ දොර හදාගෙන ජීවත්වෙනවා. ඒත් ඒ මන්දිර තුළ මව්පියන්ට ඉඩක් නෑ. සමහර මව්පියන් ගේ දොර ඉල්ලාගෙන මැති ඇමැතිවරුන් වෙත එනවා. විමසා බැලීමේ දී ඔවුන් බොහෝ දෙනෙක් හොඳ පවුල් පසුබිම් ඇති අයයි.

මේ තත්ත්වය සැබැවින් ම සමාජ ප්‍රශ්නයක්. වැරැදි කරන අයට, අපරාධ කරන අයට දැන් නීතියෙන් සමාවක් නෑ. නීතිය තදින් ම ක්‍රියාත්මකයි. ඒත් නීතියට පමණක් සමාජය නිවැරැදි මාවතකට යොමු කිරීම අපහසුයි. ඒ සඳහා මිනිසුන් තුළ ආකල්පමය පෙරළියක් ඇති කළ යුතුයි. පුංචි දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම සිත් තුළ ගුණධර්ම වගා කළ යුතු යි.

විශේෂයෙන් යහපත් සාර ධර්ම පිරි සමාජයක් නිර්මාණය කර ගැනීම පහසු වන්නේ කුඩා දරුවන් වෙතිනුයි. මහා ගසක් අතු ඉතිළා වැඩෙන්නට නම් පුංචි පැළය කාලයේ සිටම අවශ්‍ය ජලය, පොහොර ප්‍රමාණවත් ව ලැබිය යුතු යි. නැතිනම් එය මහා වෘක්ෂයක් ව වැඩෙන්නේ නෑ. දරුවොත් ඒ වගේ කුඩා කල ගුණ ධර්මයන්ගේ ඇසුර නොලැබුණොත් වැඩිහිටියන් වූ පසු ඔවුන් වෙතින් යහපත් චරිතාදර්ශ බලාපොරොත්තු විය නොහැකි යි.

කුඩා කල අවශ්‍ය ගුණ දහමින් පෝෂණය නොකොට වැඩිහිටියන් වූ පසු ඔවුන්වෙත ගුණධර්ම සමීප කිරීම ඉතා අපහසුයි. ඒ නිසයි ආධ්‍යාත්මික ගුණධර්මයන්ගෙන් යුතු සාරධර්ම පිරි සමාජයක ඇරඹුම කුඩා දරුවාගේ සිටම ඇරඹිය යුතු වන්නේ.

ඒ සඳහා හොඳම තෝතැන්න දහම් පාසලයි. අපේ ජනාධිපතිතුමාට මේ පිළිබඳ ව හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේ ම එතුමාට උගත්, ධර්ම ධර, විනය ධර භික්ෂූන් වහන්සේගෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලැබෙනවා. බෞද්ධ උපදේශක සභාව මාසයකට වතාවක් රැස් වී අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙනවා. රාජ්‍ය පාලනයට උපදෙස් ලැබෙනවා.

දැහැමි සමාජයක් තැනීම සඳහා, දරුවන් තුළ සාරධර්ම, ගුණ යහපත්කම් පෝෂණය කිරීම සඳහා, අයහපත බැහැර යහපත තෝරා ගැනීම සඳහා, අනාගත අභියෝගයන්ට මුහුණ දීමට දහම තුළින් පන්නරය ලබා දීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමේ අවශ්‍යතාව ඉතා කාලීන බව කිව යුතු යි. රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එහි දී පැවරෙන සුවිශේෂී වගකීම

කාර්යක්ෂම ව ඉටු කිරීම අපගේ පරමාර්ථය යි. ඒ තුළ පෙර කී සමාජ අපචාර, විෂමතා දුරු වූ යහපත් ආකල්පවලින් පිරිපුන් සමාජයක් බිහි කොට සාමය සතුට පිරි නිවහල් සමාජයක් නිර්මාණය කර දීමට ඇප කැප වීම සුවිශේෂී පරමාර්ථය යි.

ඇත්තටම, පශ්චාත් යුද සමයේ මිනිසුන් හැසිරුණ ආකාරය අප දුටුවා. මිනිසුන් ජාති, ආගම් වශයෙන් බෙදිලා. වෛරය, ක්‍රෝධය උපදින්නේ මිනිස් සිත තුළයි. තම ජාතිය පිළිබඳ අන්තවාදී අදහස්, ත්‍රස්තවාදී ආකල්ප සිතේ තැන්පත් වන්නේ බොහෝ විට කුඩා කාලයේ තමන් ලබන අත්දැකීම් ඇසුරින්. අසන දකින දෙයින්. එක පැත්තකින් අපේ දරුවො පාසල් යනවා. විභාග සමත් වෙනවා. විශ්වවිද්‍යාලයට පවා ඇතුළත් වෙනවා. සාක්ෂරතාව ඉහළයි.

අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය විය යුතු යහපත් පුරවැසියෙක් තැනීමයි. ඒත් සමාජයේ ඒ යහපත් පුරවැසියන් සීමිතයි. මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු වැදගත් අංශයක් තිබෙනවා. අපට වැඩිහිටියන් හදන්නට අමාරුයි. පුංචි කාලේ ඉඳලා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබා දිය යුතුයි. අඩුම තරමේ බෞද්ධ දරුවෙක් ලෙස සිල්පද පහවත් ආරක්ෂා කර ගන්නා තැනට දරුවා ගොඩනඟන්නට ඕනෑ. දහම් පාසලට එය කළ හැකියි. ඒ දරුවා දහම් පාසල් යනවා නම්, එහිදී ප්‍රායෝගිකව සිරිත් විරිත් ඉගෙන ගන්නවා නම් අත්දැකීම් ලබා දෙනවා නම් සිල්වත් දරුවෙක් හැටියට සමාජගත කිරීමට පුළුවන්. එය ඉතා වැදගත්.

අද පාසල් යන හැම දරුවෙක් ම දහම් පාසල් යන්නේ නෑ. මව්පියන් වුණත් උත්සාහ කරන්නේ දරුවා හදාගන්න. ඒත්, ඒ අධ්‍යාපනය පැත්තෙන් අධ්‍යාපනය තුළ දැනුම, ආකල්ප සේ ම හැකියාව ද දියුණුයි. ඒත් බොහෝ විට අද සිදු වන්නේ දැනුම පමණක් ඉතිරි වී ආකල්ප සහ හැකියාවන් බැහැර වීමයි.

දැනුමෙන් පමණක් හිස පුරවා ගත් විට තරගයක් ඇති වෙනවා. ඒ තුළ තමන් පමණක් ඉදිරියට යන්නට බලනවා. අනෙක් අය ගැන හිතන්නේ නෑ. මමත්වය ඇතිවෙනවා. ඇතැම් මව්පියන් වුණත් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දරුවා අසල්වැසි දරුවන්ට වඩා ඉහළින් ඉගෙන ගන්නවා දකින්නටයි. ගුණ ධර්ම ගැන සලකන්නේ නෑ. බොහෝ වෙලාවට දරුවන්ගේ කටයුතු සියල්ල සිදු කරන්නේ අම්මා. එහිදී ජීවිතයට ඇතුළත් කරගත යුතු මූලික දේ පවා ලැබෙන්නේ නෑ. ඒ නිසා දහම් දැනුම දරුවන්ට ලබා දීම ඉතා වැදගත්.

දහම් පාසලට එන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කර ගැනීම විශාල අභියෝගයක්. ඒ ඉලක්කය සම්පූර්ණ කරගත යුතු යි. විශේෂයෙන් මව්පියන් මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේ ම සමහර දහම් පාසල්වල පහසුකම් අඩුයි.

භික්ෂූන් වහන්සේලාට සිව්පසය පවා නිසියාකාර ව ලැබෙන්නේ නෑ. දහම් පාසලට ඩෙස් පුටු නෑ. සනීපාරක්ෂක පහසුකම් නෑ. මේ අභියෝගය ජය ගන්නට අපි අධ්‍යයනයක නිරත වෙනවා, මේ ගැන අවබෝධය ඇති අය සම්බන්ධ කරගෙන. ඒ අනුව ඉදිරියේ දී දිස්ත්‍රික්කයකින් දහම් පාසල කිහිපයක් තෝරාගෙන භෞතික සම්පත් දියුණු කිරීමට කටයුතු කරනවා. ඒ වගේම දහම් ගුරුවරුන්ගේ අඩුවක් තිබෙනවා. ඉන්න ගුරුවරුන් අවුරුදු දෙකෙන් තුනෙන් ඉවත් වෙනවා. මෙහිදී දහම් පාසල් ගුරුවරු පුහුණු කිරීමේ හා ඇගයීමේ වැඩසටහනක්, බස්රථවලින් දහම් පාසලට එන ගුරුවරුන්ට නිදහස් ප්‍රවේශ පත්‍රයක්, ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම වාර්ෂික පුස්තකාල දීමනාව තවදුරටත් වැඩි කිරීමට දහම් පාසල් ගුරුවරුන්ට සමාදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ වගේම දරුවන් වැඩියෙන් දහම් පාසල් වෙත යොමු කරවා ගැනීමට දහම් පාසල ආකර්ශනීය ස්ථානයක් බවට පත් කළ යුතු යි. දහම් පාසල් සහතිකයට ඉහළ වටිනාකමක් ලබා දිය යුතු යි. විශ්වවිද්‍යාලයට යන විට, රැකියාවකට යන විට දහම් පාසල් සහතිකයට ලකුණු ලබා දීමේ

ක්‍රමවේදයක් , දහම් පාසල් දරුවන් ඉදිරියට ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිතුමාගේ ද උපදෙස් අනුව කටයුතු කිරීම අපගේ අරමුණයි.