Print this Article


දැඩි කෝපය දණ්ඩෙන් පහර ලද සර්පයෙක් වගෙයි

දැඩි කෝපය දණ්ඩෙන් පහර ලද සර්පයෙක් වගෙයි

"පාංශුකූලික සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ නමක් මාර්ගයේ වඩිනවා. මෙහෙම වඩින අතරමග දී මෙම හාමුදුරුවෝ දකිනවා ඉවත දමා තිබෙන පාංශුකූලික වස්ත්‍රයක්. මේ හාමුදුරුවන්ගේ සිවුරත් හොඳටම දිරාපත් වෙලා. දැන් උන් වහන්සේ මොකද කරන්නේ. අර රෙදි කෑල්ල දකුණු කකුලේ මහපට ඇඟිල්ලට තියලා බිමට තද කරගෙන බලනවා රෙදි කැබැල්ලේ කොතැන ද අපවිත්‍ර නොවුණු තැනැක් තියෙන්නේ කියලා."

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මිනිසාගේ බාහිර ස්වරූපය සකස් කර ගැනීමට වඩා අභ්‍යන්තර ස්වරූපය සකස් කර ගැනීමට ය. එම නිසා බුදුරජාණන් වහන්සේ මනස මුල් කරගත් දහම් පරියායක් දේශනා කළහ.

ඇසට නොපෙනෙන, කයින් ස්පර්ශ කළ නොහැකි සිත නිබඳව ම මිනිසා විවිධ වූ දිශානතීන්ට යොමු කරයි. එය හොඳ සහ නරක වශයෙන් දෙයාකාර ය. මෙසේ ගොඩනැඟෙන ප්‍රබල අකුසල සිතුවිල්ලක් ලෙස ද්වේශය හැඳීන්වේ.

සිතෙහි හටගෙන සිත ආවරණය කරගනු ලබන තරහව දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ අනුන් විනාශ කිරීමට, නැසීමට, ප්‍රබලව සිත තුළ ක්‍රියාත්මක ය. එසේ ආවේගයට, ද්වේශයට සිතට පරාජයවීමට ඉඩ නො දී, සිත ඉවසීමෙන් පාලනය කර සමාජය දෙස, පුද්ගලයින් දෙස සමානාත්මතාවයෙන් හා උපේක්‍ෂා සහගත ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සැරියුත් මහ රහතන් වහන්සේ ආඝාත පඨිවිනය සූත්‍රය තුළ මැනමින් දේශිත ය.

මහණෙනි, යම් ද්වේශ සහගත අරමුණක් මුල් කර ගනිමින් යමකුට තරහව උපදී ද, එය සියලු ආකාරයෙන් දුරු කරගත යුතු ආකාරය කාරණා පහක් යටතේ දේශනා කරමි.

මේ ලෝකයේ විවිධ වු පුද්ගලයින් ආශ්‍රය නිශ්‍රය කරන්නට ලැබෙනවා. ඒ අතර ඇතැම් පුද්ගලයින් සිටිනවා. අන් අය පීඩාවට ම පත් කරන, හිංසාවට පත් කරන ක්‍රියාවන් පමණයි, මෙම පුද්ගලයා කය මුල් කර ගනිමින් සිදු කරනු ලබන්නේ. එහෙත් ඔහු වචනයෙන් අන් අයට අතිශය ප්‍රසන්න පුද්ගලයෙක්. කතා බහ කිරීමේ දී අන් අයගේ සිත් ගන්නා සුලු කෙනෙක්. කතා කිරීමේ දී අන් අයට හොඳ නරක කියා දෙනවා. එහෙත් ක්‍රියා කරන්න ගියාම අන් අයට සිදු වන්නේ ම අනර්ථයක්, විපතක්, කරදරයක්, මෙබඳු වූ පුද්ගලයනුත් සමාජය තුළ ඔබට බොහෝ විට ඇසුරු නිසුරු කරන්නට සිදු වෙනවා. මෙවන් පුද්ගලයින් කෙරෙහි ද අප ද්වේශය දුරු කළ යුතුයි.

සැරියුත් මහ රහතන් වහන්සේ මෙබඳු පුද්ගලයින් කෙරෙහි විමසා බලා ද්වේශය දුරු කළ යුතු ආකාරය පිළිබඳ ව ලස්සන උදාහරණයක් මුල් කර ගනිමින් පැහැදිලි කර දෙනවා.

පාංශුකූලික සිවුරු පරිහරණය කරන භික්‍ෂූන් වහන්සේ නමක් මාර්ගයේ වඩිනවා. මෙහෙම වඩින අතරමග දී මෙම හාමුදුරුවෝ දකිනවා ඉවත දමා තිබෙන පාංශුකූලික වස්ත්‍රයක්. මේ හාමුදුරුවන්ගේ සිවුරත් හොඳටම දිරාපත් වෙලා. දැන් උන් වහන්සේ මොකද කරන්නේ. අර රෙදි කෑල්ල දකුණු කකුලේ මහපට ඇඟිල්ලට තියලා බිමට තද කරගෙන බලනවා රෙදි කැබැල්ලේ කොතැන ද අපවිත්‍ර නොවුණු තැනැක් තියෙන්නේ කියලා. ඉන් පසු එම රෙදි කැබැල්ලේ තිබෙන අපවිත්‍ර නොවූ කොටස අතින් ඉරාගෙන උන්වහන්සේ වැඩ සිටින කුටියට අරගෙන යනවා.

සැරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි, අන්න ඒ භික්‍ෂුවගේ ප්‍රතිපදාව යම් සේ ද අන්න ඒ වගේ අර මුලින් කියන ලද පුද්ගලයා කෙරෙහි හටගත් ද්වේශය අප දුරු කළ යුතුයි.

ඒ කෙසේ ද? ඒ භික්‍ෂූන් වහන්සේ අර රෙදි කැබැල්ල අපවිත්‍ර යැයි සිතා එය පිළිබඳව ගැටෙන්න ගියේ නැහැ. ඒ අපවිත්‍ර දෑ අතරින් පවිත්‍ර දෑ පමණක් ඉස්මතු කරල අරගත්තා. අන්න ඒ වගේ අර පුද්ගලයා කෙරෙහි මෙන්න මේ විදිහේ කල්පනා කළ යුතුයි කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා.

කොහොම ද මහණෙනි ඒ පුද්ගලයාගේ යම්කිසි අයහපත් කායික පැවැතුම් රටාවක් තියෙනවා නම්, නුඹලා ඒවා ගැන නොසිතිය යුතුයි. යම්කිසි යහපත් වාචික හැසිරීමක් තියනවා නම්, නුඹලා නිරන්තරයෙන් ඒ පිළිබඳ ව සිහිපත් කළ යුතුයි. ඒ ගැන ක්‍රියා කළ යුතුයි. මෙන්න මේ ආකාරයට නුසුදුසු අවගුණය සිහි නොකර, බැහැර කරලා සුදුසු යහපත් ගති ගුණය නැවැත නැවැත සිහි කරලා, පළමු පුද්ගලයා කෙරෙහි ඇතිවෙන්නා වූ ද්වේශය දුරු කළ යුතුයි.

දෙවෙනි පුද්ගලයා පිළිබඳ ව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලබන්නේ.

“තවත් සමහර පුද්ගලයින් ඉන්නවා. කායික ක්‍රියාවන් නම් බොහොම හොඳයි. එහෙත් වාචසික ක්‍රියා බොහොම අප්‍රසන්නයි. මහණෙනි, මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් අපේ මනසේ ඇතිවන ද්වේශය අප දුරු කළ යුතුයි.

සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එබඳු පුද්ගලයින් කෙරෙහි කොහොමද අප ද්වේශය දුරු කර ගන්නේ කියලා. උන්වහන්සේ එය උපමාවකින් පැහැදිලි කරනවා.

ග්‍රීෂ්ම කාලයේ අව්වේ දැවිලා පිච්චිලා බොහෝම වෙහෙසට පත්වෙච්ච, අතිශයින් ම විඩාවට පත්වෙච්ච පුද්ගලයෙක් පාර දිගේ යනවා. බොහෝ වෙලාවකින් ඔහුට බොන්න වතුර ටිකක් නැහැ. අතිශයින් පිපාසිතයි. ක්ලාන්ත වෙන්නට ආසන්නයි. දහඩිය වැගිරෙනවා. අව් රශ්මියෙන් දැවිලා පිච්ච්ලා. මෙහෙම එන පුද්ගලයකුට හමුවෙනවා. මාර්ගයේ ආසන්නයේ තිබෙන වතුර වලක්. මේ වතුරවල දිය සෙවෙල් වලින්, අනෙකුත් කොළ රොඩුවලින් වැහිලා. එහෙත් අර පුද්ගලයාගේ පීඩාව කොතෙක් ද කියනවා නම් ඔහු ඒ කිසිදෙයක් නොබලා ඇවිත් දෑතින්ම අර කොළ රොඩු දිය සෙවල ඉවත් කරලා හොඳ වතුර ටිකක් අරගෙන බීලා මූණ සෝදලා විඩාව සංසිඳවාගෙන නැවත ඔහුගේ ගමන ආරම්භ කරනවා. මහණෙනි, අන්න ඒ වගේ අර පුද්ගලයා කෙරෙහිත් උපන් ද්වේශය දුරු කළ යුතු යි.

තුන්වෙනි පුද්ගලයා සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා.

මහණෙනි, තවත් සමහර පුද්ගලයන් ඉන්නවා. ඒ අයගේ කායික ක්‍රියා හොඳත් නෑ. වාචසික ක්‍රියා හොඳත් නෑ. එහෙත් මානසික සිතුවිලි ඉඳලා හිටලා හොඳයි. එහිදී උපමාවකින් සැරියුත් මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. එබඳු පුද්ගලයින් පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, මහණෙනි අර මුලින් කිවිවා වගේම බොහෝම ග්‍රීෂ්ම කාලෙක දීර්ඝ ගමනක් යන්නට තියෙන පුද්ගලයෙක් අතිශයින් විඩාවට පත්වෙලා ක්ලාන්ත වෙලා එනවා. මෙහෙම එනකොට අහල පහළ වතුර ටිකක් නෑ බොන්න. ඔහු දකිනවා ගෝ කුරක ඒ කියන්නෙ හරකෙක් අඩිය තියපු තැන වළ හැදෙනවා. ටිකක් පොළව එරෙන තැන්වල එහෙම හැදිච්ච වලක වතුර පිරෙනවා. එක උගුරක් දෙකක් විතර මෙ ගව කුර හැදිච්ච වළක එකතු වෙලා තියෙනවා. අර අතිශයින් පීඩාවට පත්වුණු පුද්ගලයා දකිනව මෙම වතුර ස්වල්පය. ඔහු කල්පනා කරනවා. මෙම වතුර ටික අතින් ගන්න ගියොත් කැලැත්තෙන්න පුළුවන්. කොළයකින් ගන්න ගියොත් අපවිත්‍ර වෙන්න පුළුවන්. එම නිසා මෙම පුද්ගලයා එම වතුර ස්වල්පය තිබෙන ගෝ කුර ළඟ දණ ගහලා පහත් වෙලා ඉතාමත් පරිස්සමෙන් වතුර අපවිත්‍ර වෙන්න නොදී පානය කරනවා. පිපාසය සංසිඳවා ගන්නවා.

මහණෙනි, අන්න ඒ වගේ අර පුද්ගලයා සම්බන්ධ ව තිබුණ ද්වේශය සංසිඳුවා ගත යුතුයි. ඔහුගේ කායික සමාචාරයෙන් පැහැදෙන්න දෙයක් නෑ. ඒ වගේම වාචසික සමාචාරයෙන් පැහැදෙන්න දෙයක් නැහැ. එහෙම නමුත් ඔහුගේ මනස විටින් විට හරි ශ්‍රද්ධාවෙන් පිරිලා ගුණයට නැඹුරුවෙන ස්වභාවයක් තිබෙනවා. ඔබට ඔහු පිළිබඳ ව ද්වේශය හටගන්නා සෑම වෙලාවක ම ඔහුගේ කායික විෂමාචාරය අමතක කරන්න. ඔහුගේ වාචසික විෂමාචාරය පිළිබඳව අමතක කරන්න. ඉඳ හිට හෝ මානසික සංවර භාවය පිළිබඳ සිතා ඔහු පිළිබඳ ව ද්වේශය අත්හළ යුතු බව සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා.