Print this Article


පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල් කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිග හැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර
සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න. [email protected]  බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

 

ප්‍රාචීන ශාස්ත්‍රාලය:

කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන

කොළඹ, මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන ආරම්භ වූයේ මීට වසර 142කට පෙර ය. එනම්, ක්‍රි:ව: 1873 දෙසැම්බර් මාසයේ ය. මෙම පිරිවෙන පිහිටුවන ලද්දේ අපවත් වී වදාළ , ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ ය.

පිරිවෙන ආරම්භ කිරීමෙහි මූලික අභිප්‍රාය මහණුන් වහන්සේ පෙරදැරි කොට ගෘහස්ථයන්ට බුද්ධාගමානුකූල ව ශාස්ත්‍රාදිය ඉගැන්වීමට බව විද්‍යාධාර සභාවේ ඔප්පුවකින් පැහැදිලි වේ. මෙම පිරිවෙන පිහිටා ඇති ඉඩම සම්බන්‍ධයෙන් කරුණු දක්වන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය පණ්ඩිත යගිරල ශ්‍රී ප්‍රඥානන්‍ද මාහිමියෝ ‘ශ්‍රී සුමංගල චරිතය’ නමැති කෘතියෙහි මෙසේ පවසති.

“මේ ස්ථාන ලාභය නම් ලන්සගේ අන්ද්‍රිස් ප්‍රේරා අප්පුහාමි (පසුව අන්‍ද්‍රිස් ප්‍රේරා ධජ ගුණවර්ධන මුහන්දිරම් මහතා) ගේ පරිත්‍යාග ගුණ මහිමය ද, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ ඥාන මහිමය ද නිසාම ඇති වූවකි. ඉඩමේ වටිනාකම එකල තත්ත්‍වයේ හැටියට රු: 6000 ක් යැයි සලකන ලද නමුත් එකල පවා ඊට වඩා අගනේ ය.

එහෙත් ඒ සඳහා රු: 6000 ක් තබා ඉන් අඩක් වත් සපයා ගත නොහැකි විය. සපයා ගත් තුනෙන් කොටසක් පමණක් වූ ඒ ස්වල්ප මුදල භාරගෙන ඉඩම පිරිනැමීම ඒ මහතාගේ මහා විතරණයකැයි කීම නම් වැඩි කොට කීමක් නොවේ.” මේ අනුව ඉඩමේ අයිතිය සහ එහි වටිනාකම පිළිබඳව යම් අවබෝධයක් ලැබිය හැකි ය.

විද්‍යොදය පිරිවෙන ආරම්භ කිරීමේ දී ශිෂ්‍ය ප්‍රමාණය එතරම් විශාල නොවී ය. ලබුගම සොණුත්තර, පොකුණුවිට රේවත, හෙයියන්තුඩුවේ දේවමිත්ත, ඉලුක්වත්තේ මේධංකර, අලුත්කුරුවේ සිද්ධත්‍ථ, බූස්සේ ඤාණානන්ද, කිරිමැටියානේ ධම්මාරාම, කූරගල පියරතන යනාදී භික්‍ෂූන් වහන්සේලා ද, විස්සක් පමණ ගිහි ශිෂ්‍යයන් ද වූ බව සඳහන් වේ.

බටුවන්තුඩාවේ පඬිතුමා විසින් විද්‍යොදය පිරිවෙන හැඳීන්වීම සඳහා අපර නාමයක් භාවිත කොට ඇත. එනම්, ‘ප්‍රාචීන ශාස්ත්‍රාලය’ යනුවෙනි. මෙයට මූලික වන්නට ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයට සුදුසු පරිදි සකස් කරන ලද විෂය නිර්දේශය විය යුතු ය.

මූලික වශයෙන් සිංහල, පාලි, සංස්කෘත, හින්‍දි යන ප්‍රාචීන භාෂා ඉගැන්වූ අතර, ඊටම අනුබද්ධ වූ ‘ව්‍යාකරණ’, ‘තර්ක න්‍යාය’, ‘ආයුර්වේදය’, ‘ජ්‍යොතිෂ් ශාස්ත්‍රයත්’ ‘පුරාවිද්‍යාව’ සහ ‘ඉතිහාසය’ යන ඓතිහාසික ග්‍රන්‍ථයනුත්, මෙහි විෂය නිර්දේශයට අයත් විය. තවද ‘ඉංග්‍රීසි’ භාෂා ඥානය ද භික්‍ෂූන් වහන්සේලාගේ මූලික අවශ්‍යතාව කැයි සිතා මෙහි එය ද ඉගැන්වූ බව පෙනේ. බහුල වශයෙන් ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයට නැඹුරු වූ බව ඉහත සඳහන් විෂය නිර්දේශය දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකි වේ.

භික්‍ෂු අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානය ලෙස සැලකෙන විද්‍යොදය පිරිවෙන ආරම්භ කොට වදාළ ශ්‍රී පාදස්ථානය සහිත දකුණු බටහිර පළාත්හි ප්‍රධාන සංඝ නායක හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පාණ්ඩිත්‍යයෙන් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ තෙර නමකි. උන්වහන්සේ තම ජීවිත කාලය තුළ පාලි ත්‍රිපිටකය පමණක් 37 වතාවක් කියැවූයේ ය. එපමණක් නොව විවිධ භාෂාවන්හි හසල දැනුමකින් යුක්ත වූහ. පෙර’පර දෙදිග වියතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ මුන්වහන්සේ පෘථිවිතලයේ ම පාලි භාෂා පඬිවරයා ලෙස ද, හීනයාන හෙවත් ථෙරවාද සම්ප්‍රදායයේ නායකයා ලෙස ද පිළිගත්හ.

තායිලන්තය, බුරුමය යන රටවල රජවරු, රාජ කුමාරවරු, සංඝරාජවරු පමණක් නොව එංගලන්තය ආදී යුරෝපා රටවල රාජකීයයෝ ද, පෝල් ඩාල්කේ, විල්හෙල්ම් ගයිගර්, රීස් ඩේවිඩ්ස්, මැක්ස් මුලර්, එඩ්වින් ආර්නොල්ඩ් සහ කොපල්ස්ටන් බිෂොප් ආදී ලෝක ප්‍රකට ගිහි පැවිදි උගත්හු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ව ඉතා ඉහළින් පිළිගත්හ. ගෞරව කළහ. අප්‍රතිහත ධෛර්යයෙන් යුක්ත ව විද්‍යොදය පිරිවෙන ආරම්භ කොට වදාළ බෝධිසත්ත්‍ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී නාහිමියෝ අවුරුදු 84, සිව්මසක් සහ දෙදිනක් ආයු වළඳා 1911 අප්‍රේල් 29 වන දින රාත්‍රී 1ට පමණ අපවත් වී වදාළ සේක.

එනමුදු, ‘සුබෝධිකා බාලාවතාර ටීකාව’, ‘සිදත්සඟරා සන්නය’, ‘සිංහල මහාවංශය’, ‘බ්‍රාහ්මණධර්ම–’, ‘වර්ණරීතිය’, ‘සමය සංග්‍රහව’, ‘කාව්‍යශේඛරය ව්‍යාඛ්‍යාව’, ‘සංස්කෘත සන්‍ධි ග්‍රන්‍ථය’, ‘මාසර්‍තු ලක්‍ෂණය’, ‘පාලි වරනැගිල්ල’, ‘සීමා විභාගය’, ‘දෛවඥෝපදේශය’, ‘සන්ෙ‍දසකථා’, ‘ස්‍යාමනිකාය දීපනී’, ‘ශබ්දමුක්තාවලිය’, වැනි ග්‍රන්‍ථ තුළින් උන්වහන්සේ තවමත් අපට දැකිය හැකි ය.

එදා භාරතයේ පැවති නාලන්‍දා විශ්ව විද්‍යාලයට සමාන කීර්තියක් විද්‍යොදය පිරිවෙනට ලබා දුන් ඒ අමිල, අසහාය ප්‍රදීපය නිවී ගිය පසු නැවත ඒ ආලෝකය විද්‍යාවෙන් උදා කරන්නට කාලානුරූපී ව නොයෙක් නාහිමිවරු මෙහි ප්‍රධානත්‍වය දැරූහ. ඉන් අනතුරුව මහගොඩ ඤාණිස්සර නාහිමි (1911-1922), කහවේ ශ්‍රී සුමංගල රතනසාර නාහිමි (1922-1936), බද්දේගම ශ්‍රී පියරතන නාහිමි (1936-1958), වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි (1958-1963), කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමි (1963-1972), ගලගම ශ්‍රී සරණංකර නාහිමි (1972-1975), පනම්ගල ජිනරතන නාහිමි (1975-1978) සහ අකුරටියේ අමරවංස නාහිමි (1978-2007) යන කුශාග්‍ර බුද්ධිමත් තෙරුන් වහන්සේලා අධ්‍යාපනය දැරූහ. වර්තමානයේ පරිවෙණාධිපතිධුරය සොබාමත් කරන්නේ රාජකීය පණ්ඩිත, දර්‍ශනපති, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය බලන්ගොඩ සෝභිත නාහිමිපාණෝ ය (2007-).

දෙස් විදෙස්වල විද්‍යොදය පිරිවෙනෙහි කිතුගොස පැතිර යත්ම, එම රටවල්වලින් ද ශිෂ්‍යයෝ මෙම ස්ථානයෙහි ඉගෙන ගැනීම සඳහා පැමිණියාහු ය. ඒ අතර ජපන් ශිෂ්‍යයෙක් වන කෝජින් ගුණරතන හිමියෝ, 1888 දී පමණ මෙහි පැමිණ බුද්ධාගම ඉගෙන ගත්හ. පිරිවෙනෙහි ඉගෙන ගන්නා සමයෙහි උන්වහන්සේ තම නාමය ‘කෝජිමා කොණ්ඩඤ්ඤ’ ලෙස ව්‍යවහාර කළහ. ජපන් ශිෂ්‍යයෙක් වූ ‘සතෝ’ නමැති පඬිවරයා ද එම සමයෙහි ම බුද්ධාගමත් පාලි භාෂාවත් හැදෑරුවේ ය.

1905 දී පමණ මෙහි පැමිණි ‘තචිබානා’ නමැති ජපන් භික්‍ෂුව ද ඉතා සමාර්ථ ලෙස පාලි භාෂාව ඉගෙන ගත්තේ ය. උන්වහන්සේ පසු කාලයක දී ජපන් රටේ ඔසාකාහි විශ්ව විද්‍යාලයේ පාලි මහාචාර්යවරයා බවට ද පත් විය.

දඹදිවින් පැමිණි ශිෂ්‍යයන් අතර උසස්, වංශවත් තරුණ බ්‍රාහ්මණයෙක් ද මෙහි පැමිණ අධ්‍යාපනය හදාරා ඇත. එතුමා සංස්කෘත පිළිබඳ හසල දැනුමකින් හෙබි අතර, පසුකාලීන ව ස්වකීය හින්‍දු භක්තිය අතහැර හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වහන්සේගේ ම ශිෂ්‍යයෙකු ලෙස පැවිදි ව ‘කෝසම්බික ධම්මානන්‍ද’ නමින් බොහෝ කලක් පිරිවෙනෙහි ම වාසය කොට පසුව සිය රටට වැඩම කළහ.