Print this Article


පූජාච පූජනීයානං

වැල්හැල්ලේ ඤාණසිරි හිමි

කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැල්හැල්ලේ ඤාණසිරි හාමුදුරුවන් වහන්සේගේ ගුරු දිවියට 2020 සැප්තැම්බර් 01 දිනට තිස් වසරක් සැපිරිණි.

කෝන්ගොඩ ශ්‍රී ඥානවිමල නා හිමිපාණන් වහන්සේගේත් කෑගල්ලේ ශ්‍රී ඥානාලෝක ලොකු හාමුදුරුවන් වහන්සේගේත් ශිෂ්‍යයකු වශයෙන් 1980 ජූලි 25 වන දින පැවිදි දිවියට පත් උන්වහන්සේ 1991 ජූනි 05 වන දින මහනුවර මල්වතු විහාරයේ මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා සීලය ලැබූහ.

කෑගල්ල ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලබා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1992 දී ප්‍රාචීන අවසාන විභාගයට පෙනී සිට උසස් ලෙස සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ඇත.

1993 දී පමණ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා 1996 දී ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත්, 1997 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් සමත් වූ වැල්හැල්ලේ ඤාණසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ගුණ දහමින් බණ දහමින් මෙන්ම දැන උගත්බවින්ද පිරිපුන් යතිවරයාණන් වහන්සේ නමකි.

1990 සැප්තැම්බර් 01 දින මුල් පත්වීම ලැබ ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණු උන්වහන්සේ එම පිරිවෙනේ පරිවේණාධිපති හිමියන් වශයෙන් කටයුතු කරති. තමන් වහන්සේ මූලික අධ්‍යාපනය ලැබූ පිරිවෙනෙහි ම ගුරුවරයකු ලෙස ද කටයුතු කර එම පිරිවෙනෙහි ම පරිවේණාධිපති ධූරයට පත්වීම ද විශේෂත්වයකි.

සංස්කෘත භාෂාව පිළිබඳ හසල දැනුමක් ඇති වැල්හැල්ලේ ඤාණසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වරකාපොල බෝපිටිය ශ්‍රී සෝමාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන් ලෙස වර්තමානයේ වැඩ වාසය කරති. ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙන් ද කටයුතු කරන උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන සහ උසස් පෙළ ආදී විභාගවල උත්තර පත්‍ර පරීක්ෂකවරයකු ලෙස ද කලක පටන් කටයුතු කරති.

ගුරු දිවියේ 30 වසරක් සැපිරූ කෑගල්ලේ ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනේ පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැල්හැල්ලේ ඤාණසිරි නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දිගාසිරි සම්පත්තිය සැලසේවා.