Print this Article


අභීත නාද පවත්වන භික්ෂූන් වහන්සේ අතර අග්‍ර වූ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ

අභීත නාද පවත්වන භික්ෂූන් වහන්සේ අතර අග්‍ර වූ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ


අභීත සීහ නාද පවත්වන භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේගේ අසිරිය විශිෂ්ට ය. උන්වහන්සේ රහත් වූ දා සිටම තම අතින් යතුරු කැරැල්ල රැගෙන වෙහෙරෙන්, වෙහෙරටත්, පිරිවෙනෙන්, පිරිවෙනටත් පියමන් කරමින් ‘කාට හෝ මාර්ග ඵල පිළිබඳ ව යම් සැකයක් හෝ ගැටලුවක් තිබේ නම් මගෙන් විමසන්නැ’යි වදාළේ අභීත ස්වරයෙනි. මේ ශාසනයෙහි කළ යුතු සියල්ල මා විසින් කර අවසන් යැ’යි උන්වහන්සේ සිදු කළ පින්කම් හෙළි කළ අයුරු අපූරු ය.

පදුමුත්තර බුදුන් වහන්සේ ගේ කාලයේ සුවිසල් පර්වතයක සිංහයෙකු ලෙස උපත ලැබූ මොහු සිදු කරගත් පින කදිම ය. එය පදුමුත්තර බුදුන් වහන්සේ දුටුවේ මහා කරුණා සමාපත්තියට සම වැදීමෙනි.සිංහ ලෙනට පිවිසුණු පදුමුත්තර බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී වැඩ සිටියේ අහසෙහි පළක් බැඳ ගෙන ය.ගොදුරු සොයා ගිය සිංහයා නැවත ලෙන තුළට පැමිණෙද්දී සතුටු වූයේ පදුමුත්තර බුදුන් වහන්සේගේ දසුනෙනි. මේ නම් ආශ්චර්යවත් උත්තමයෙක් යැයි සිතමින් සිංහයා සත්ව ආත්මයක් ලැබූව ද කළ පින්කම විශිෂ්ට ය.

මොහු රැය පහන් වන තුරා බුදුන් වහන්සේ අභියස වන්දනා කරමින් පිදුම් දුන්නේ වර්ණවත්, සුගන්ධවත් පුෂ්පයන්ගෙනි. මෙලෙස සත් දිනක් පුරාම බුදුන් වහන්සේ වෙත පිදූ මල් ප්‍රමාණය අප්‍රමාණ ය. සත් දිනකට පසුව නිරෝධ සමාපත්තියෙන් නැඟී සිටි බුදුන් වහන්සේ වටා සිංහයා තෙවරක් ම පැදකුණු කළේ සතුටු සිතිනි. පසුව බුදුන් වහන්සේ ලෙනෙන් පිට ව වැඩම කරන්නට සූදානම් වූයේ සිංහයා සිදු කර ගත් පින ප්‍රමාණවත් නිසා ය. මේ දසුනින් සිංහයා මිය ගියේ බුදුන් වහන්සේ වෙන්ව යාමේ ශෝකය දරාගත නොහැකිව ය. පිනෙහි මහිමයෙන් මොහු නැවත උපත ලැබුවේ හංසවතී නුවර මහා ධනවත් කුලයක ය.

එහිදී බුදුන් වහන්සේගෙන් සදහම් අසන්නට පැමිණි විට මේ කුල පුත්‍රයා දුටු දසුන ද පින්බර ය. ඒ එක්තරා භික්ෂුවක් අභීත සිංහ නාද පවත්වන භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලැබීම යි.

තමා ද මෙවැනි පදවියක් ලබන්නේ යැ’යි සිතා ඔහු ඒ උදෙසා සිදු කළ පින්කම විශිෂ්ට ය. සත් දිනක් මුළුල්ලේ ම මහා දන් පවත්වා අවසානයේ තම අදහස බුදුන් වහන්සේ වෙත දන්වා සිටියේ සැදැහැ සිතිනි. උන්වහන්සේගෙන් මොහු නියත විවරණ ලැබුවේ තම අදහස ගෞතම බුද්ධ ශාසනයේ ඉෂ්ට සිද්ධ වන බවට ය. මෙයින් අපමණ සතුටට පත් මොහු සසර මඟ බොහෝ කුසල් සිදු කර නැවත උපත ලැබුවේ දෙව් ලොව ය.

පසුව ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ මෙම කුල පුත්‍රයා රජගහ නුවර උදේනි රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතු ලෙස උපත ලැබුවේ භාරද්වාජ නාමයෙනි. සිප් සතර මනාව හැදෑරූ ඔහු ත්‍රිවේදය හදාරා වේදය ඉගැන්වූ සිසුන් ගණන පන්සියය කි. ආහාර ගැන ගිජු බවක් දැක් වූ ඔහු බත් කොහෙ ද? කැඳ කොහෙ ද? කැවිලි කොහේදැයි විමසුවේ නිබඳව ම ය. ඒ නිසාම භාරද්වාජ හැඳීන්වූයේ පිණ්ඩෝල භාරද්වාජ නාමයෙනි.

දිනක් ගෞතම බුදුන් වහන්සේගෙන් බණ ඇසූ ඔහු පැවිදි ව රහත් ඵල ලැබුවේ නොබෝ දිනක දී ය. එදා සිටම ‘මාර්ගඵල පිළිබඳ සැක සහිත,ගැටලු තැන් විමසමින් බුදුන් වහන්සේ හමුවේ පවා තම රහත් භාවය ප්‍රකාශ කළේ අභීත සිංහ නාද නඟමිනි.

දිනක් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ දිවා විහරණය ගත කරමින් වැඩ සිටියේ උදේනි රජතුමාගේ සුන්දර වන උයනේ ය. එදින උදේනි රජු උයනට පැමිණියේ අන්තඞපුර ස්තී‍්‍රන් ද සමඟිනි. එහි දී බීමතින් සිටි රජතුමා නින්දට වැටුණ නිසා අන්තඞපුර ස්ත්‍රීන් ඇවිද ගියේ උයනේ සිරි නරඹන්නට ය. එහෙත් ඔවුන්ගේ නෙත ගැටුණේ ශාන්ත සුවයෙන් වැඩ සිටින පින්බර පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ වෙත ය. ඔවුන් සදහම් සුව විඳීමින් සිටියේ සැදැහැ සිතිනි. නින්දෙන් අවධි වූ රජතුමා මේ දසුනින් කලබල ව රහතන් වහන්සේ වෙත දිමි ගොටුවක් දමා ගැසුවේ බලවත් ද්වේශයෙනි. එහෙත් භාරද්වාජ තෙරණුවෝ ක්ෂණයෙන් අහසට පැන නැගී රජතුමාට ධර්මාවවාද සිදු කර ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් කළ අයුරු ද අපූරු ය. මේ නිසා උදේනී රජතුමා සම්බුදු සසුනට කළ ඇප උපකාර ද බොහෝ ය.

පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ ප්‍රාතිහාර්ය පෑ තවත් අවස්ථාවක් වන්නේ සඳුන් පාත්‍රයක් උදෙසා ය. ඒ රජගහ නුවර සිටුවරයාගේ සිරිතක් ව පැවැතියේ ජලය ස්නානය කරන අයගේ ආරක්ෂාවත්, එහි පැමිණෙන පිරිසගේ ආභරණ සුරැකීම උදෙසාත් ගඟ හරස් කොට දැලක් දැමීම ය. එහිදී දැලේ පැටලී තිබූ සඳුන් කොටයකින් පාත්‍රයක් තැනූ ඔහු එය සැට රියනක් උස් ව පිහිටි කණුවක් මත තැබුවේ මෙසේ පවසමිනි. ඒ ‘ලොවේ කවර හෝ ඍද්ධිමත් උතුමෙක් සිටී නම් මෙය ලබා ගන්නා’ ලෙස ය.

නිගණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයන් පාත්‍රය තම ශාස්තෘවරයාට ලබා දෙන ලෙස බැගෑපත් ව ඉල්ලා සිටිය ද රජගහ සිටුතුමාගේ පිළිතුර වූයේ එය ඍද්ධියෙන් ලබා ගන්නා ලෙස ය.

එය නොලැබුණු නිගණ්ඨනාථ පුත්ත හොර රහසේ ම යෙදූ උපක්‍රමය ද කදිම ය. ඒ තමන් බොරුවට ඍද්ධි බලය පෙන්වන්නට සූදානම් වුව ද එය නොපෙන්වන සේ තම සිසුන්ට ශාස්තෘ නිගණ්ඨනාථපුත්තගේ සිරුරේ එල්ලී ඇවටිලි කරන ලෙස ය. ඒ අනුව නිගණ්ඨනාථ පුත්ත නැවත නික්ම ගියේ තම ශිෂ්‍යයන්ගේ අකැමැත්තෙන් ඍද්ධි බලය නොපෙන්වන බවත් ඒ නිසා පාත්‍රය නොගන්නා බවත් පවසමිනි. මෙලෙස දින හයක් පුරාවට එය ලබා ගැනීමට කිසිම ඍද්ධිමතෙක් සමත් වූයේ නැත. මේ නිසා මහ ජනතාව පැවසුවේ දැන් ලොවේ කිසිම ඍද්ධිමතෙක් නොමැති බව ය.

මේ නිසා මුගලන් මහ රහතන් වහන්සේගේ අනු දැනුමෙන් ඉදිරිපත් වූයේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේ ධ්‍යානයට සමවැදී තමන් වැඩ සිටි ගල් තලාව ඍද්ධි බලයෙන් ඔසවාගෙන රජගහ නුවර වටා ආකාසයේ තෙවරක් ම සැරි සැරුවේ රැස්ව සිටි පිරිස මවිත කරමිනි . එහි දී බොහෝ දෙනා කෑ කෝ ගැසුවේ ගල්තලාව බිමට පතිත වේ යැයි බියට පත් ව ය .

භාරද්වාජ හිමියන් තම පාදයෙන් ගල් තලාව තිබූ තැනම පිහිටුවා රජගහ නුවර සිටුතුමාගේ අභියෝගය ජය ගත්තේ අභීත ලෙස ය. අසූ රියනක් උස හුණ දඬුවක තැබූ පාත්‍රය උන්වහන්සේ ඍද්ධි බලයෙන් ලබා ගත්තේ රැස්ව සිටි පිරිසගේ සාධුකාර මධ්‍යයේ ය.

පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ නැවතත් ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීමට සූදානම් වූයේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ය. උන්වහන්සේ විදුලි වේගයෙන් නැවත වරක් අහස් තළයට පැන නැඟී කයෙන් දුම පිට කරමින් ද, තවත් මොහොතක මුළු කය ම බබුළුවමින් ද, ආකාසයේ සක්මන් කරමින් ද දැක්වූ ප්‍රාතිහාර්ය අසිරිමත් ය.

මෙලෙස ප්‍රාතිහාර්ය දැක්වීමෙන් පසුව උන්වහන්සේ විහාරස්ථානයට වැඩම කළේ බුදුන් වහන්සේට සඳුන් පාත්‍රය පිළිගැන්වීමට ය. එහිදී පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ උදෙසා බුදු හිමියන් වදාළේ අන් අයගේ ඉල්ලීම පරිදි තම උසස් ගුණයන් ප්‍රකට කිරීම නුසුදුසු බව ය. එය ප්‍රකට කිරීම වරදක් ලෙස දැක් වූ බුදුන් වහන්සේ ශික්ෂා පදයක් ද පැනවී ය. පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාවේ දී එවැනි තහනමක් හෝ ශික්ෂා පදයක් නොතිබුණු බැවින් උන්වහන්සේ එම වරදට හසුවන්නේ නැත. එසේ ම මෙහි දී බුදුරදුන් භාරද්වාජ හිමියන් ගැන අගය කළේ ප්‍රශංසනාත්මක ලෙස ය. ඒ ඉතා උසස් ව සිහිය පිහිටුවා ගැනීමට සම්බන්ධ වූ සතින්ද්‍රියෙන් ද, සිත වැඩිදියුණු කිරීමට සම්බන්ධ වූ සමාධි ඉන්ද්‍රියෙන් ද , සියලු කෙලෙසුන් නැසීමට ශක්තිමත් වූ පඤ්ඤින්ද්‍රියෙන් ද යුතු බවත්, මින් පසු කළ යුතු කිසිවක් ඉතිරි නොකොට සියල්ල සිදු කළ උත්තමයෙක් බව ය.

මේ අනුව අපට පිණ්ඩෝල භාරද්වාජ චරිතයෙන් මනාව පසක් වන්නේ ඉතිරි නොකොට සියල්ල දැනගත් විට පුදුම ප්‍රීතියක් ලැබීම, කෙනෙකුට ඇතිවන හොඳම ශක්තිය, උසස් ම තත්වය බවත්, එහෙත් එය අනවශ්‍ය පරිදි ප්‍රකට කිරීම වරදක් බවත් ය.