Print this Article


පැවිදි දිවිය අර්ථවත් කළ උදාර අරමුණු

මෙවර උදාර දිවියක පිය සටහන් ඔස්සේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමිපාණන් වහන්සේ ය.

පැවිදි දිවිය අර්ථවත් කළ උදාර අරමුණු

අපේ හාමුදුරුවනේ, කෙළිදෙළෙන් ගත කරන ළමා ජීවිතය වෙනුවට, කුඩා කාලයේම ශාසනික දිවියට ප්‍රවේශ වීමට තීරණය කළ අතීතය සිහිපත් කරන්නේ කෙසේ ද?

සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ,දේවාලේගම නම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සුන්දර ගම් පියසක 1950 වර්ෂයේ මැයි 24 වෙනි දින ජන්ම ලාභය ලැබීමට තරම් භාග්‍යවන්ත වුණා. සොහොයුරු සොහොයුරියන් අට දෙනකුගෙන් යුත් පවුලේ මම මද්දුමයා වශයෙන් උප්පත්තිය ලැබුවා. ප්‍රදේශයේ ඉතාමත් ජනාදරයටත්,සම්භාවනාවටත් පත් වුණූ විදුහල්පති දෙපළක් වශයෙන් කටයුතු කළ චාල්ස් රණසිංහ ආදරණීය පියාණන්ගේ හා ලීලා රණසිංහ ආදරණීය මෑණියන්ගේ, නිවැරැදි මඟ පෙන්වීමත්,ආගම දහමත් සමඟ ඉතාමත් සමීප ව ඔවුන් ගත කළ ජීවිතයත්, සංසාරික පුරුද්දත් නිසා මගේ සිත කසාවතට ඇලුම් කිරීමට හේතුවක් වෙන්නට ඇති. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් සිටි කාලයේ දී ම බුදුදහම හා පෙරදිග අධ්‍යාපනයට තිබූ සංසාරගත පුරුද්ද නිසාදෝ, එම පාසලෙන් ඉවත් වෙලා කෑගල්ලේ සිරි මහින්දෝදය පිරිවෙනට ඇතුළත් වුණා. එම පිරිවෙන තුළ අධ්‍යාපනය ලැබූ කාලයේ දී වියත් තෙරවරුන්ගේ ඇසුර ලැබීම කසාවත කෙරෙහි සිත ඇදී යාමට තවත් එක් හේතුවක් නිර්මාණය කළා. එම කාරණා සියල්ලෙහි ම ප්‍රතිඵලයක් වශයෙන් 1968 වර්ෂයේ දී පොල්ගහවෙල, හොඳැල්ල ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයේ තත්, විහාරාධිපති, පණ්ඩිත , ගෞරවාර්හ බොරලුවේ ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්්‍යයත්වයෙන් යුතුව දේවාලේගම මේධානන්ද නම්, ශාසනික නාමය ලබමින් පැවිදි දිවියට එළඹුණා. ඒ වගේම ශාසනික ජීවිතයට අදාළ මූලික ශික්ෂණයත්, බණ දහමත් ඉතාම හොඳින් නිවැරැදිව ඉගෙන ගත්තා. විසි වයස් සම්පූර්ණ වීමත් සමඟම ගෞරවාර්හ බොරලුවේ ධම්මපාල නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් යුතුව ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාභාවයට පත් වුණා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනින් ඇරඹි පැරණිතම ශාඛා පිරිවෙනක් වුණා . පොතුහැර චන්දසේල පිරිවෙනින් ද්විතීක අධ්‍යාපනය ලබා ගැනීමට කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

ඔබ වහන්සේ උසස් අධ්‍යාපනයට අවතීර්ණ වූ අවධිය පිළිබඳව සඳහන් කරනවා නම්,

1976 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය ලැබීම සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා සිව් වසරක කාලයක් බෞද්ධ දර්ශනය ප්‍රධාන විෂය වශයෙන් හදාරමින් විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය ඉහළ සාමාර්ථයක් සහිත ව සමත් වුණා. ඒ වගේම තවදුරටත් දෑ අවුරුදු ශාස්ත්‍රපති පාඨමාලාව හදාරමින් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් කැලණිය විශ්ව විද්‍යාලයෙහි ම “ආදි බුදුසමය හ නිකායාන්තර බෞද්ධ ඉගැන්වීම් අතර ඇති සම විෂමතා පිළිබඳ අධ්‍යයනයක්” යන පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ඉහළින්ම සමත් වුණා. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති එක් අවුරුදු පාඨමාලාව කුසලතා සාමාර්ථයක් සහිතව සමත්වීමට කටයුතු කළා. 1997 වර්ෂයේ දී ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයට වැඩම කරමින්, අවුරුදු දෙකක කාලයක් තුළ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් “A Comparative study of middle path in the Early Buddhism and the Madhyamika philosophy”  යන පර්යේෂණ නිබන්ධනය සඳහා 1999 වර්ෂයේ දී දර්ශන විශාරද ආචාර්ය උපාධිය හිමි කර ගැනීමට හැකි වුණා. දැඩි කැපවීමකින්, උනන්දුවකින් වගේම නිතරම පොත පත පරිශීලනය කරමින් කටයුතු කළ බව සිහිපත් කළ යුතුයි. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ලබන කාලයේ දී ත් අධ්‍යාපනය කටයුතුවලට පමණක් සීමා නොවී සියලුම කාර්ය භාරයන් නොපිරිහෙළා ඉටු කිරීමට වග බලා ගත්තා. මනා කළමනාකාරිත්වයකින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාර්ථකත්වය කරා ක්‍රමානුකූල ව ගමන් කිරීමේ හැකියාව ලැබුණා.

ඔබ වහන්සේ වෘත්තීය සේවයෙහි නිපුණත්වය ලැබුවේ කුමන ආකාරයෙන් ද?

මගේ වෘත්තීය ජීවිතය ඇරඹුණේ පරිවේණාචාර්යවරයෙකු වශයෙන්. 1980 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය නිම කිරීමෙන් පසුව එවකට මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ අධිපතිත්වය දැරූ පැපිලියානේ සුනේත්‍රාදේවි මහ පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙලා වසර කිහිපයක් සේවය කළා. දෙවුන්දර ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අධිපතිත්වයෙන් ක්‍රියාත්මක වුණු හුණුපිටිය ගංගාරාම ඥානේශ්වර පිරිවෙනේත් සේවය කළා. 1980 සිට 1988 දක්වා පිරිවෙන් දෙකක පරිවේණාචාර්යවරයකු වශයෙන් සේවය කළත් ,1989 වර්ෂය වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයට සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ම සිත් දිනා ගැනීමට ලැබීමත් වෘත්තීය ජීවිතයේ සතුට දනවන කාරණාවක්. පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , ඪඪ ශ්‍රේණියට 1996 වර්ෂයේ දී පත්වීමටත්, 2001 වර්ෂයේ දී කුසලතා මත සහාය මහාචාර්ය ධුරයට පත්වීමටත්, 2005 වර්ෂය වන විට මහාචාර්ය ධුරයට පත්වීමටත් අවස්ථාව උදාවුණා. එම සේවය කැලණිය විශ්වවිද්‍යාලයට පමණක් සීමා නොවී, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයටත්, හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය.අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය යන විශ්වවිද්‍යාලත්‍රයෙහි ආරාධිත දේශකවරයෙකු වශයෙන් කටයුතු කිරීමට ලැබීමත් අතිශයින් සතුටට පත්වුණ කාරණාවක් බව සිහිපත් කළ යුතුයි. 2002 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයෙහි අංශාධිපති වශයෙන් කටයුතු කළ කාලයේදීත්, එහි අභිවෘද්ධිය පිණිස සුවිශාල කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි වුණා. 2000 වර්ෂයේ සිට 2005 වර්ෂය දක්වා ශිෂ්‍ය උපදේශක වශයෙනුත්, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය උපදේශක වශයෙන් කටයුතු කළ කාලයත්, විශ්ව විද්‍යාල සනාථන සභාවෙහි සාමාජිකයෙකු වශයෙන් සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ කාලයක්, කැලණිය විශ්ව විද්‍යාලය, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලයන්හිත් පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙහිත් සනාථන සභාවන්හි සාමාජිකයකු ලෙස දීර්ඝ කාලයක් දායකත්වය ලබාදීමට හැකිවීම අතිශය සතුට දනවන කරුණක් බව සිහිපත් කළ යුතුයි. මීට අමතරව මානව ශාස්ත්‍ර පීඨ මණ්ඩල සාමාජික, අභියාචනා මණ්ඩල සාමාජික, පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික තනතුරු හරහා විශ්වවිද්‍යාල ජීවිතය තුළ වැදගත් සේවාවන් රාශියක් ඉටු කිරීමට අවස්ථාව උදාවුණා.

වියත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය පිළිබඳව ප්‍රකාශ කරනවා නම්,

ශාස්ත්‍ර පරිශීලනයෙන් උකහාගත් ජීවිත පරිඥානයන් හා පරිකල්පනයෙන් ලේඛනය පෝෂණය කළා “බුදු සමය හා දාර්ශනික ගැටලු” නමින් 1982 වර්ෂයේ දී මුල්ම කෘතිය පළ කිරීමට කටයුතු කළා. එතැන් සිට 1984 දී “බුදු සමය, දර්ශනය හා සංස්කෘතිය”, 1988 දී ‘චතුර්විධ බෞද්ධ දර්ශනය දර්ශන සම්ප්‍රදාය’, 1990 දී ‘භික්ෂු සමාජය” 1994 දී ‘මුල් බුදු සමය – සාමයික පසුබිම, 1997 දී “බුදු සමය හා පරිසරයත්, ‘මනුෂ්‍යත්වය” ත්, “බෞද්ධ අධ්‍යයන ප්‍රවේශයත්,” 2003 දී “බුදු බණ බුදුරජාණන් වහන්සේ සහ සන්නිවේදනය” 2006 දී “බුදු දහම හා එහි සංස්කෘතික මුහුණුවර “ ආදී කෘති පළ කිරීමට කටයුතු කර තිබෙනවා. 2008 දී “බෞද්ධ සංස්කෘතිය – පසුබිම හා මූලධර්ම” කෘතියෙහි සමකර්තෘ වශයෙනුත්, 2011 දී “බෞද්ධ සංස්කෘතිය, සමාජ චින්තනය. පුද සිරිත් හා උත්සව ග්‍රන්ථයෙහි සම කර්තෘ වශයෙනුත් කටයුතු කළා. 2011 දී “බෞද්ධ අධ්‍යයන මීමංසා” 2013 දී “ බෞද්ධ අධ්‍යයන ලිපි“ 2017 දී “උඩුගං බලා” ආදී වශයෙන් විද්වත් ලෝකයාගේ වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ කෘතිය “මුල් බුදු සමය – සාමයික පසුබිම” යන ග්‍රන්ථයයි.

“බෞද්ධ අධ්‍යයන ලිපි“ නමැති කෘතිය 2014 දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා බුද්ධ ශාසන අමාත්‍යංශය මඟින් ඒකාබද්ධ ව පවත්වනු ලබන බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී 2013 වර්ෂයට අදාළ ශාස්ත්‍රීය පර්යේෂණ අංශයේ බෞද්ධ සාහිත්‍ය සම්මානය හිමි වුණා. ඒ වගේම ධර්ම ශාස්ත්‍රිය සේවය ඇගයීම් වස් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයෙන් “සාහිත්‍යශූරී” උපාධියෙන් සම්භාවනාවට පාත්‍ර වූ බවත් ප්‍රකාශ කළ යුතුයි.

වර්තමානය වන විට වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ගෙන විවේක සුවයෙන් කාලය ගත කරන්නේ සුන්දර ගම්මානයක, වෙල්යායකට මායිම්ව පිහිටි ආරාම පරිසරයකයි. සම්බුදුමග විවේකාශ්‍රමය සෙනසුන තුළ විවේක බුද්ධියෙන් කාලය ගත කරමින් තවදුරටත් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහි යෙදෙමින් කායික හා මානසික විවේක සුවයෙන් වැඩ සිටිනවා.