[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත කිළිටි කරන කෙලෙස් ධර්ම ප්‍රහීණ කරන පහසු ක්‍රමය

සිත කිළිටි කරන කෙලෙස් ධර්ම ප්‍රහීණ කරන පහසු ක්‍රමය


පුද්ගල සන්තානය තුළ කෙලෙස් පැවැත්ම උපාදානයට හේතුවකි. උපාදානය නිසා භවයන් ඇති වී සසර දීර්ඝ වෙයි. මේ නිසා සර්වඥ දේශනාවල මුඛ්‍ය පරමාර්ථය කෙලෙස් ප‍‍්‍රහාණය යි.

කෙලෙස් නැති කිරීමයි. කෙලෙස් නැත්තටම නැති කිරීමයි. කෙලෙස් යනු වර්ණයක්, සටහනක්, ප‍‍්‍රමාණයක් හා ශරීරයක් නැති, ඇසට නොපෙනෙන, අතට හසු නොවන චිත්තාභ්‍යන්තරයේ ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයකි. අරූපී ධර්ම වචනවලින් විස්තර කිරීම එතරම් ම පහසු කාර්යයක් නොවේ. එහෙත් කෙලෙස් ධර්ම පිළිබඳ සර්වඥ දේශනා හා ශ‍‍්‍රාවක දේශනා ත‍ි‍්‍රපිටක පාලිය පුරා තැනින් තැන විසිරී පවතී.

කෙලෙස්වලින් කරනු ලබන්නේ සිත හා කය තැවීමයි. සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වැඩි වශයෙන් මහත් සේ ඇති වන්නේ පෘථග්ජන පුද්ගලයා තුළයි. ”පුථුජ්ජන” පාලි වචනයේ සරල ම තේරුම පුහුදුන් බවයි. එනම් මාර්ග ඵල නොලැබූ බවයි. පුථු + ජනන වචන දෙකේ එකතුවෙන් ”පුථුජ්ජන” වචනය සෑදේ. ”පුථු” මහා කෙලෙස් ”ජනන” උපද්දවන හෙයින් පුථුජ්ජන (පෘථග්ජන) නමින් මාර්ග ඵල නොලැබූ අය හඳුන්වා ඇත. අටුවාව එය දක්වන්නේ ”පුථු කිලෙස ජනෙන්තීති - පුථුජ්ජනො” යනුවෙනි. පෘථග්ජනයාගේ මූලික ම ලක්‍ෂණය සිය චිත්ත සන්තානය තුළ බොහෝ සේ, මහත් සේ කෙලෙස් ඉපදීමයි. උපද්දවීමයි.

බුදු දහම තුළ මිනිස් සිතක ඇති වන කෙලෙස් එක් දහස් පන්සියයක් පමණ දක්වා තිබේ. නමුත් මේ අතරෙන් නිතර නිතර බොහෝ සේ, මහත් සේ පෘථග්ජනයෙකුගේ සිතේ ඇති වනුයේ කෙලෙස් දහසයක් පමණි. මෙම කෙලෙස් දහසය නිතර නිතර බොහෝ සේ, මහත් සේ සිත තුළ ඉපදීම, ඇතිවීම පෘථග්ජන බවේ ස්වභාවයයි. එසේ නිතර ඇති වන කෙලෙස් දහසය මජ්ක්‍ධිම නිකායේ වත්‍ථූපම සූත‍‍්‍රයේ දී මෙසේ දක්වා ඇත.

දැඩි ලෝභකම
අභිජ්ඣා

අනුන්ට හානි කිරීමේ කල්පනාව
ව්‍යාපාද

අනුන් විනාශ කිරීමේ කල්පනාව
කොධ

සිත තුළ පවතින වෛරී සිතුවිලි
උපනාහ

කළගුණ යටපත් කිරීමේ
ගුණමකුබව
මක්ඛ

උසස් ගුණවත් අය තමා හා සමාන
කොට සිතීම
පලාස

අනුන්ගේ ලාභ සැප කීර්ති ප‍‍්‍රශංසා
ආදිය ඉවසා සිටීමට නොහැකි ගතිය
ඉස්සා

තමන්ට අයිති දේ අනුන්ට ලැබීම ගැන
ඇති අකමැත්ත
මච්ඡුරිය

කළ පව්කම් සඟවන ගතිය
මායා

තමා ළඟ නැති ගුණ ඇති ලෙස හැඟවීම
සාඨෙය්‍ය

නොනැමෙන දරදඩු ගතිය
ථම්භ

අනුන්ට වඩා ඉහළින් පෙන්වීමට ඇති කැමැත්ත
සාරම්භ

අනුන් හා තමා සැසඳීමෙන් තමා උසස්ය, නැතිනම් තමන් ඒ අය හා සමාන ය,
එහෙමත් නැතිනම් තමන් පහත් ය යනුවෙන් ඇති කර ගන්නා හැඟීම
මාන

අනෙක් අය හා තමන් සසඳා බලා තමා සියල්ලන්ට ම වඩා උසස් යැයි ඇති කර ගන්නා හැඟීම
අතිමාන

ජාතිය, කුලය, ගෝත‍‍්‍රය, ධනය, උගත්කම් ආදිය නිසා ඇති කර ගන්නා මත්වීම
මද

සිහි බුද්ධිය නොමැතිකම
පමාද

කෙලෙස් නැති කරන, ප‍‍්‍රහීන කරන ක‍‍්‍රමය බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා ඇත. විවිධ සූත‍‍්‍ර දේශනාවල දී පැහැදිලි කර දී තිබේ. ඒ ක‍‍්‍රම අතරෙන් වඩාත් පහසුම ක‍‍්‍රමය මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත‍‍්‍රයේ එයි. සබ්බාසව සූත‍‍්‍රයට අනුව කෙලෙස් ප‍‍්‍රහීණ කිරීම සඳහා ක‍‍්‍රම හතක් ඇත.

දැකීමෙන් කෙලෙස් බැහැර කිරීම
දස්සනා පහාතබ්බා

අපගේ සිතේ පවතින සිතුවිලි එනම් අපේ චින්තන ක‍ි‍්‍රයාවලිය පළමුවෙන් ම හරිහැටි හඳුනා ගත යුතුයි. අපේ සිතට මෙනෙහි කළ යුතු යහපත් හොඳ සිතිවිලිත්, මෙනෙහි නොකළ යුතු අයහපත් නරක සිතුවිලිත් ඇති වේ. මේ සිතුවිලි යහපත් ඒවා ද, අයහපත් ඒවාදැයි හඳුනා ගත හැක්කේ සිතේ ඇතිවෙන, නැති වෙන සිතුවිලි ගැන සිහියෙන් සිටියොත් පමණි. සිතුවිලි හඳුනා ගැනීමෙන් පසු යහපත් සිතුවිලි මෙනෙහි කිරීමත් අයහපත් සිතුවිලි මෙනෙහි නොකිරීමත්, කළ යුතු ය. මෙහි දී ”දස්සනා” යනු අයහපත් නරක සිතුවිලි අයහපත් නරක සිතුවිලි ලෙස ම දැකීමයි. ඒ සිතුවිලිවල අයහපත් බව තේරුම් ගෙන වටහා ගැනීමයි. ”පහාතබ්බා” යනු ඒ අයහපත් නරක සිතුවිලි මෙනෙහි නොකර සිටීමයි.

ඉන්ද්‍රිය සංවරයෙන්
කෙලෙස් නැති කිරීම
සංවරා පහාතබ්බා

ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යනුවෙන් ඉන්ද්‍රියන් හයක් ඇත. මේ ඉන්ද්‍රියන්වලට කැමැති හැටියට හැසිරෙන්න, ජීවත් වෙන්න පුරුදු වුණොත් කෙලෙස්වලට බැඳේ. ඇස, කණ, නාසය, දිව, ශරීරය ඇසුරෙන් මනසට කෙරෙන බලපෑම වළක්වා ගැනීම ”සංවරා පහාතබ්බා” යනුයි.

අවශ්‍යතා ඇසුරු කරමින්
කෙලෙස් නැති කිරීම
පටිසෙවනා පහාතබ්බා

ජීවත්වීම සඳහා අවශ්‍යතා රාශියක් ඕනෑ ය. ඒ අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ද වේ. ඒත් ඇඳුම්, ආහාර, නිවාස හා ඖෂධ යන මූලික අවශ්‍යතා අප කාටත් පොදුවේ ප‍‍්‍රධාන වශයෙන් උවමනා වේ. මේ මූලික අවශ්‍යතා නොමැතිව ජීවත් වීමට නොහැකියි. ඒ නිසා මේ මූලික අවශ්‍යතා අපි අනිවාර්යයෙන් ම සපුරා ගත යුතුයි. මේවා භාවිත කළ යුතුයි. පරිහරණය කළ යුතුයි. පරිභෝජනය කළ යුතුයි. එසේ භාවිත කරන විට සිහි බුද්ධියෙන් ම භාවිත කළ යුතුයි. පරිහරණය කරන විට සිහි බුද්ධියෙන් ම පරිහරණය කළ යුතුයි. පරිභෝජනය කරන විට මනා සිහි බුද්ධියෙන් ම පරිභෝජනය කළ යුතුයි.

මේ මූලික අවශ්‍යතා මනා සිහි බුද්ධියෙන් යුතුව භාවිත කිරීම, පරිහරණය කිරීම,

පරිභෝජනය කිරීම පටිසේවනා යනුයි.

ඉවසීමෙන් කෙලෙස් නැති කිරීම
අධිවාසනා පහාතබ්බා

ලෝක ස්වභාවය අනුව බොහෝ දේවල් විඳ දරා ගැනීමට සිදු වේ. ඒවාට අප කැමැති විය හැකියි. අකමැති විය හැකියි. ඒ සියල්ල ඉවසා විඳ දරා ගත යුතුයි. මෙය ලෝක ස්වභාවයයි.

දුරු කිරීමෙන් කෙලෙස් නැති කිරීම
පරිවජ්ජනා පහාතබ්බා

අපි ජීවත් වන පරිසරය අනුව සුදුසු තැන්වල හා නුසුදුසු තැන්වල වාසය කරන්න සිදු වේ. සුදුසු මංමාවත්වලත්, නුසුදුසු මංමාවත්වලත් හැසිරෙන්න සිදු වේ. හොඳ යහළුවන් හා නරක යහළුවන් ඇසුරු කරන්න සිදු වේ. මෙහිදී නුසුදුසු තැන්වල වාසය කිරීම, නුසුදුසු මංමාවත්වල හැසිරීම, නරක යහළුවන් ඇසුරු කිරීම තම ජීවිතයට අන්තරායක් බව දැන, දැක තේරුම් ගෙන ඒවායින් ඈත්වීම, එබඳු තැන් හා එබඳු අය දුරු කිරීම, වර්ජනය කිරීම පරිවජ්ජනාවයි.

බැහැර කිරීමෙන් කෙලෙස් නැති කිරීම
විනොදනා පහාතබ්බා

අපේ සිතට නොයෙක් නොයෙක් වැරදි සහගත සිතුවිලි ඇති වේ. මේ වැරදි සහගත සිතුවිලිවලින් වන හානිය ගැන සිතා බලා ඒ සිතුවිලි ඉවත් කර ගත යුතුයි. එසේ වැරදි සිතුවිලි ඉවත් කර ගැනීම විනොදනා යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙයාකාරයට ඇති වන ප‍‍්‍රබල වැරදි සහගත සිතුවිලි තුනක් ඇත. එනම්, කාමය හා සම්බන්ධ සිතුවිලි, ක්‍රෝධ සහගත සිතුවිලි, හිංසාත්මක සිතුවිලි යි.

සිත වැඩීමෙන් කෙලෙස් නැති කිරීම
භාවනා පහාතබ්බා

භාවනා යනු සිත වැඩීමයි. සිත දියුණු කිරීමයි. සිත දියුණු කරමින් සප්ත බොජ්ඣංග ධර්ම වැඩීම මෙයින් අදහස් කෙරේ.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]