[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

පරිසරයට ආදරය කරමු

අප අවට ඇති ගහකොළ, ගංගා, ඇළ දොළ, වැව්, පොකුණු, තුරු වදුලු, මඩ වගුරු මේ හැම පරිසරයට අයත් වේ. පරිසරයේ ජීවත්වන ජීවීන් ද මීට අයත් වෙයි. මේවා ස්වභාවික සම්පත් ය. මේ හැම සම්පතක් ම මිනිසා ජීවත් කරවීම සඳහා අපරිමිත සේවාවක් ඉටු කරයි. “ගහ කොළ නැති දාට මිනිසා ද නැතිවනු ඇත.” යන කියමන තුළින් ප්‍රකාශ වන්නේ මිනිසා ජීවත් කරවීම සඳහා ගහකොළ මඟින් ඉටු කැරෙන සේවය ඉතා විශාල බව යි. අප අවට පරිසරය සිසිල් කරන, හිරු රැසින් වන දහනය වළක්වන, පස සරු කරන හා සෝදා පාළුව වළක්වන තුරු වදුල පරිසරයේ වැදගත් ම සාධකය යි. පරිසරයේ වැදගත්කම සමස්ත ලෝක වාසී ජනතාව තුළ ස්ථාපිත කිරීම සඳහා ලෝක පරිසර දිනයක් ද ප්‍රකාශයට පත්කොට තිබේ. පරිසරය නිරතුරුව ම මිනිසා විසින් අපවිත්‍ර කරනු ලැබේ. ස්වභාවික පරිසරය දූෂණය වන කාරකයන් හඳුනා ගැනීමත්, පරිසරයට වන හානි වළක්වා ගැනීමත්, සොබා දහම ආරක්ෂා කර ගැනීමත් ලෝක පරිසර දිනය ප්‍රකාශයට පත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වේ.

****

පොහෝ දා

පසළොස්වක සඳ පායාගෙන එයි
තෙල්මල් අරගෙන පන්සල වෙත යයි
විහාර භූමිය කලඑළි වී එයි
ශ්‍රද්ධාවෙන් සැම සිත් පිනවී යයි

රුවන්පුරේ අභිමානය දිදුලනවා
ඇසළ මහා මංගල්‍යය පැමිණෙනවා
සුමන දෙවිඳු පිදුමට හැම සැරසෙනවා
සබරගමුවෙ ප්‍රෞඪත්වය පැතිරෙනවා

****

සදා ණය ගැති ය

ආදරය, කරුණාව, දයාව, මාතෘ සෙනෙහස යන මේ සියල්ලෙන් පරිපූර්ණ එකම තැනැත්තිය අම්මා ය. අප පොඩි කාලයේ සිට අපට හුරු පුරුදු වචනය අම්මා ය. පුංචි කාලයේ දී වැඩිහිටියකු දඬුවම් කළ විට අප අඬමින් පැවසූ වචනය අම්මා ය. සෙනෙහස දුන්නේ ආදර අම්මා ය. අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ් සිඟාලෝවාද සූත්‍රයේ සදිසා නමස්කාරයේ දී අම්මා හා තාත්තාට නැමදීම උතුම් බව පෙන්වා දෙයි. මේ වන විට කතරගම සංයත හිමි නමින් සසුනට ඇතුලු වුව ද ආදරණීය අම්මාට, තාත්තාට මම සදා ණය ගැති වෙමි. ආදරණීය අම්මේ, තාත්තේ ඔබ දෙදෙනා නිවන් දකිත්වා.

කතරගම සංයත හිමි
4 ශ්‍රේණිය
ශ්‍රී පූර්වාරාමය කුඩාඔය - ඌව

****

අට ලෝ දහම

ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක, මේ ලෝකවාසී සියලුම මනුෂ්‍යයන් මුහුණ පෑමට ලක්වන ධර්මතා අටකි. නොවැළක්විය හැකි මේ ධර්මතා කිසිදු මිනිස් කොටසක් වශයෙන් විශේෂත්වයක් නොගනී. දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, උස් පහත් බාල මහලු සැමට පොදු වේ. ඒ පොදු ධර්මතා උපේක්ෂාවෙන් වැළඳගත යුතු ය. උද්ධාමයට හෝ කම්පාවට පත් නොවී ඉවසීමෙන් නොසැලෙන මනසින්, බුද්ධිමත් ව විඳ දරාගත යුතු ය. බුදු වදන අනුව සදාතනික අටලෝ දහම අනිත්‍ය යි. ලාභ, යසස, ප්‍රශංසා, සැප කිසි විටෙකත් නොවෙනස් ව නොපවතී. රෝදය කැරකෙන්නා මෙන් අලාභ අයස, නින්දා දුක, යළි යළි මතු වේ. මේ අටලෝ දහමට යටත් ව සිටින අප කම්පාවීමෙන්, ශෝකවීමෙන්, තොරව ධෛර්යයවත් වීමත්, උද්ධාමයට පත් වීමෙන් තොරව නිහතමානී වීමත් ජීවිතයට හුරුකර ගැනීමෙන් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ය.

****

මගේ පාසල

ගණේමුල්ලේ පිහිටා ඇති හේමමාලී මහා විදුහල නමින් ඉතා ප්‍රසිද්ධ, සුන්දරත්වයෙන් පිරි පාසල මගේ පාසල යි. අප විදුහලේ සියලු දෙනා සහයෝගය, සුහදත්වය, පි‍්‍රය වචනය ආදී ගුණාංගයන් පුරුදු පුහුණු කරමු. දරුවන් වන අපට ශිල්ප මනාව පිහිටන අයුරින් එහි ගුරු මව්පියවරු ශිල්ප ශාස්ත්‍ර ලබාදීමට බොහෝ සමත් වෙති. ගමේ පාසල හොඳම පාසල යන්න විරුදාවලිය ලත් පාසල් අතරට මගේ පාසලත් අයත් ය. බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන මගේ පාසල මම ද එසේම ගෞරවාදරයෙන්, භක්තියෙන් යුතුව රැක ගනිමි.

****

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ අපේ රටේ සිටි මහා සාහිත්‍යධරයෙකි. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කෝට්ටේ යුගය නියෝජනය කරමින් රාහුල හිමියෝ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළහ. අපේ සන්දේශ සාහිත්‍යයට විශාල ආලෝකයක් ලබාදුන් පරෙවි සන්දේශය හා සැලළිහිණි සන්දේශය තොටගමුවේ හිමියන්ගේ විශිෂ්ට නිර්මාණ දෙකකි. මෙම සන්දේශ දෙක රාහුල හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වය කදිමට විදහාපායි. කාව්‍යශේඛරය නම් මහා කාව්‍යය ද රචනා කරන ලද්දේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසිනි. භාෂා 6 ක් ලිවීමට, කියැවීමට හැකි හෙයින් උන්වහන්සේ ෂඩ්භාෂා පර්මේශ්වර නමින් ද හැඳින්වේ. ජීවිත අවසාන සමය වන විට සංඝරාජ පදවියට පත්ව සිටියහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටේ යුගයට පමණක් නොව සිරිලකට ම මිණි පහනක් බඳු මහා ගත් කතුවරයෙකි.

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

සතුන්ට හිංසා නොකරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

       බිනර පුර පසළොස්වක පෝය 

 සැප්තැම්බර් 01 අඟහරුවාදා පූර්වභාග 09.39 න්
පසළොස්වක පෝය ලබා 02 බදාදා පූර්වභාග 10.51 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]