Print this Article


පෙර කළ පව් නිසා ඇතිවන පාප රෝග

පෙර කළ පව් නිසා ඇතිවන පාප රෝග

බටහිර හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන්ට හමුවන හා හමු නොවන ස්වභාවයේ රෝග විශේෂයක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. එකී රෝග අතර සසර දුක් පිළිබඳ සඳහන් වන තැන්වල පෙර අප කළ පව් නිසා ඇතිවන පාප රෝග නම් රෝග විශේෂයක් පිළිබඳව ද සඳහන් වේ.

ඒවා පාප රෝග නමින් හැඳීන්වේ. අර්ශස්, භගන්දරා, පිත්, සෙම් රෝග හා කාස, සෝස යන රෝග එම ගණයට වැටේ. භගන්දරා යනු ගුදය ආශ්‍රිත ව හට ගැනෙන තුවාලයකි.

මෙය විනය ග්‍රන්ථයන්හි බොහෝවිට සඳහන් වන්නේ අරිසභගන්දලා යනුවෙනි. එයින් අදහස් වන්නේ අර්ශස් හා භගන්දරා යන්නයි. එහෙත් ආයුර්වේදයේ මෙය අර්ශස් හා භගන්දරා යනුවෙන් රෝග දෙකක් ලෙස විග්‍රහ කොට ඇත. කෙසේ වෙතත් මෙය බුදු සමයේ සලකා ඇත්තේ පාප රෝගයක් වශයෙනි. මෙම රෝගයෙන් පෙළෙනවුන් පැවිදි කිරීම තහනම් කොට ඇත.

බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන ශල්‍යකර්ම සහ බුදුරදුන් ඒ සඳහා කරන ලද විවිධ නිර්දේශයන් ද විනය පිටකයෙහි අපට හමුවේ.

සෞඛ්‍යමය සහ ආචාර විද්‍යාත්මක ගැටලු හමුවේ බුදු රදුන්ගේ දැක්ම කෙබඳු වේ දැයි තේරුම් ගැනීමට මෙබඳු රෝග පිළිබඳ වාර්තා ඉතා උපකාරී වේ. කෙසේ වෙතත් භගන්දරා රෝගයට වර්තමානයේ ක්ෂාර සූත්‍ර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සැලකේ. වා පිත් සෙම් කෝපවී හටගන්නා රෝග වාත රෝග පිත්තරෝග හා සෙම්හ රෝග යනුවෙන් දැක්වේ. මේවාට විවිධ වරේචන නශ්‍යකර්ම ආදිය පෙන්වා දී ඇත.

සන්නිපාත රෝග යනු මෙම ත්‍රිදෝෂයන් ම බලවත්ව පැන නැගුණු කල්හි ඇතිවන රෝගයන් ය. කාස රෝග යනු හමේ ඇතිවන රෝග විශේෂයක් වන අතර සෝස යනු ශ්වසන රෝගයන් ය. මෙම රෝග පහම පෙර කළ පව් නිසා ඇතිවන රෝග වන හෙයින් පාප රෝග යනු මේවාට නමකි.

මෙම රෝගවලින් කිහිපයක් ඇතුළත් වන බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වන තවත් ආබාධ කිහිපයක් පඤ්චාබාධ නමින් පෙළෙහි දක්වා ඇත. කුෂ්ට, ගණ්ඩ, කිලාස, සොස, අපමාර යනු ඒ පහයි. කලෙක මගධයෙහි මෙම රෝග පහ උත්සන්න වූ බවත්, එය කෙතරම් ප්‍රබල ව ජන සමාජයට බලපෑවේ ද යත් එම රෝගවලින් පෙළෙන්නන් ද පැවිදි කිරීම බුදුන් වහන්සේ විසින් තහනම් ඇත.

කුෂ්ට රතු පැහැති හෝ කලු පැහැති වූ හෝ ගණ්ඩ හෙවත් ගෙඩි විශේෂයකි. සාසපගණ්ඩ නම් වන ගඩු විශේෂය අබ ඇටයක් තරම් වන අතර සකල ශරීරයේ පැතිර පවතී. උණ්ණිගණ්ඩ නම් තවත් ගඩු විශේෂයක් ගව තනපුඩු මෙන් මුළු සිරුරේ තැන තැන එල්බේ. කඩා කල කිරි පිළකා නම් වන ගෙඩි තරුණ වියේ දී ඛර පිළකා හෙවත් රළු ගෙඩි බවට පත්වන බවත් විනයට්ඨ කථාවේ දක්වා ඇත.

පදුමකණ්ණිකා නම් තවත් ගඩු විශේෂයක් සිරුර පුරා ව්‍යාප්ත වන බව ද මෙහි දැක්වේ. මෙම සියලු කුෂ්ට වර්ගයේ කුෂ්ට රෝගීන් පැවිදි කිරීම තහනම් ය. කිලාස යනු ද කුෂ්ට විශේෂයක් ම වේ. නමුත් මේවා බිඳී, පිපිරී ඕජාව ගලන ඒවා නොවේ. වර්තමානයේ අප කබර නමින් හඳුන්වන රෝගයට සමාන රෝගයකි.

සොස යනු ඉහත දැක්වූ පරිදි ශ්වසන රෝගයක් වන අතර අපමාර යනු අපස්මාරයයි. පිත හා අමනුෂ්‍ය බලපෑම යන හේතු දෙක නිසාම මෙම අපස්මාර රෝගය සෑදිය හැකි අතර, පූර්වවෛරී අමනුෂ්‍යයන් නිසා සිදුවන අපස්මාරය පිළියම් කිරීමට අපහසු ආබාධ තත්වයක් වේ.

මීට අමතරව පූර්ව කර්ම හේතුවෙන් විඳවන කර්මවිපාකජ ආබාධ විශේෂයක් ද වේ. කර්ම විපාකජ ආබාධ තත්වයන් බේත් හේත් වලින් සමනය කළ නො හැකිය. අදාළ කර්මයට නිසි ආදීනව විඳීමෙන්ම ඒවායේ ව්‍යපශමනය බලාපොරොත්තු විය යුතු ය. එසේම බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො පිළිගැනෙන එහෙත් ආයුර්වේදයෙහි පිළිගැනෙන රෝග විශේෂයක් ගැන ද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒවා නම් යක්ෂ භූත ප්‍රේත පිශාචාදීන්ගෙන් වන්නා වූ රෝග වේ. මහාවග්ගපාළියේ සඳහන් වන පරිදි වරක් එක්තරා භික්ෂුවකට අමනුෂ්‍යාබාධයක් වැළඳුණි. ආචාර්ය උපාධ්‍යායවරුන්ට එම රෝගය සංසිඳවීමට නොහැකි විය. රෝගී භික්ෂුව ඌරන් මරන ස්ථානයකට ගොස් අමු මස් කා ලේ බීවේ ය. එයින් ඔහුගේ රෝගය සංසිඳුණි. එබඳු අවස්ථා සඳහා කරන ලද එම පිළියම සඳහා බුදුරදුන්ගේ අනුමැතිය ලැබුණි. ආචාරවිද්‍යාව හා බැඳුණු දර්ශනයක් වන බුදුදහම මෙවැනි ප්‍රතීකාර ක්‍රම පිළිගැනීම සම්බන්ධයෙන් අපගේ දැක්ම විචාරශීලී විය යුතු ය. රෝගය හා රොගියා සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දක්වන ආකල්පය මෙයින් අනාවරණය වේ.

බුදු දහම වෛද්‍ය ශාස්ත්‍රයක් නොවුණ ද ඇතැම් රෝග නම් කිරීමත් ඒවාට යෝග්‍ය ප්‍රතිකාර නිර්දේශ කර ඇති ආකාරයත් විමසන විට අතිශය පුළුල් දැනුම් සම්භාරයක් බෞද්ධ මූලාශ්‍රය ඇසුරෙන් විකසිත කළ හැකි ය. බොහෝ රෝග වා පිත් සෙම් කිපීමෙන් සිදුවන අතර, ඒවා සමනය කිරීමෙන් සුව වෙන බව පිළිගත් කරුණකි. එහෙත් ඇතැම් රෝගාබාධ බෙහෙත් හේත් කිරීමෙන් පමණක් සුව නොවන බව කවදත් තහවුරු වන කරුණකි.

චක්ඛුපාල තෙරුන්ගේ අක්ෂිරෝගය, සුප්‍රබුද්ධ සිටුවරයාගේ ඇඟ පුරා පැවති චර්ම රෝගය, වැනි දේ සාංසාරික කර්ම හේතුවෙන් සිදුවූ ඒවා බව බණ පොතෙහි ම අකුටිලව දක්වා ඇත. කර්මයට අනුරූපී විපාක විඳීමෙන්ම ඒවායින් අත්මිදීම ක්‍රම වේදය වේ. මේ නිසා රෝගාබාධ වැළඳීමට අප විසින් කරනු ලබන කර්ම ද හේතු වන බව ජීවත් වන මිනිසුන් විසින් තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. ඊට හේතුව සාංසාරික ව වෙසෙන තාක් නිරෝගී ව ජීවත්වීම භාග්‍යයක් වන හෙයිනි.

බුදුන් වහන්සේ පවසන පරිදි කායික රෝග හා මානසික රෝග යනුවෙන් රෝග දෙවර්ගයක් ඇත. කායික රෝග නොවැළ¼දී කෙනෙකුට වර්ෂ එකක සිට සියයක් තරම් දීර්ඝ කාලයක් නිරෝගිමත් ව ජීවත්විය හැකි වුවත්, මානසික නිරෝගීභාවයෙන් යුක්තව මොහොතක්වත් ජීවත්වීම අපහසු ය. කුමක් නිසාද යත් ඊට අධ්‍යාත්මය උසස් තත්වයක පැවැතිය යුතු හෙයිනි. එබැවින් ස්වස්ථතාව පිළිබඳ බෞද්ධ විග්‍රහය අනුව මානසික ස්වස්ථතාව පිළිබඳ වැඩි අවබෝධයක් හා අවධානයක් තිබිය යුතුය යන්නයි. කායික ස්වස්ථතාව මානසික ස්වස්ථතාව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන බව විවාද රහිත කරුණකි. බුදු සමය අනුව කායික ස්වස්ථතාව මානසික ස්වස්ථතාව විෂයෙහි බලපායි. කායික රෝග ව්‍යපසමය උදෙසා වන නොයෙක් චර්යාවන් නිර්දේශ කරනුයේ එහෙයිනි. එයින් තොරව සීල සමාධි ප්‍රඥා යන අනුපූර්ව ශික්ෂාවන් සාධනය කළ නොහැකි ය. නිරෝගී බව මූලික වන කායපස්සද්ධිය නමැති චෛතසිකය දුර්වල වූ විට චිත්තපස්සද්ධිය ද දුර්වල වේ. මෙම චෛතසික ද්වය දුර්වල වූ තැනැත්තාගේ සිත අධිගම මාර්ගයට නොපෙළඹෙන අතර, එයින් බැහැරවීමේ සිත ද පැන නැෙඟ්.

මේ නිසා බෞද්ධ ශික්ෂණ මාර්ගයේ සීලය නැමති පදනමට කායික ස්වස්ථතාව අනිවාර්ය අංගයකි. නිරෝගී බව නිසා ඇතිවන ප්‍රමෝද්‍යය පීතියට කරුණක් වේ. (පමුදිතස්ස පීති ජායති) ප්‍රීතිය නිසා කායික සංසිඳීම වේ. (පීතිමනස්ස කායො පස්සම්භති) කායික සංසිඳීම නිසා සුඛය ඇතිවේ. (පස්සද්ධකායො සුඛං වෙදෙති) මෙකී කායික සුඛය ආශ්‍රයෙන් චිත්ත සමාධිය ඇති වන බව (සුඛිනො චිත්තං සමාධියති) අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ විමුත්තායතන සූත්‍රය ඇතුළු සූත්‍ර රාශියක දක්නා ලැබේ. මේ නිසා බෞද්ධ ප්‍රතිපදාව විෂයෙහි කායික ස්වස්ථතාව අවශ්‍ය අංගයක් වේ. බුදුසමය හා ආයුර්වේදයේ සුසංයෝගීතාව හා උපයෝගීතාව ගොඩ නැඟෙනුයේ එලෙසිනි. අනෙක් අතින් මානසික ස්වස්ථතාව නොමැති පුද්ගලයාගේ කායික ස්වස්ථතාව ද පිරිහෙයි. මානසිකව ශක්තිමත් වන පුද්ගලයාට භෞතික ශරීරය සම්බන්ධයෙන් වන වේදනාවන් පාලනය කිරීමේ හැකියාවක් ඇත. එසේම කායික රෝගයක දී මානසිකව පිරිහීම රෝගය බරපතළ හානියක් ද වේ. එබැවින් කායික හා මානසික ස්වස්ථතාවේ පදනම හා ස්වභාවය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රයන්හි එන දැනුම් සම්භාරය පිළිබඳ අවබෝධයක් තිබීම ද ප්‍රයෝජනවත් කරුණකි.