Print this Article


ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා: කෙලෙස් සැඩ පහරට හසුවුණොත් නවතින්නේ සතර අපායේ

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා:

කෙලෙස් සැඩ පහරට හසුවුණොත් නවතින්නේ සතර අපායේ

ඉන්ද්‍රිය ධර්මවල දෙවැන්න වීර්ය ඉන්ද්‍රියයි. අටුවාව “විරිය” වචනය හඳුන්වල තියෙන්නේ “වීරස්ස භාවො විරියං” වීරයාගේ ස්වභාවය වීර්යය යි කියලා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ වීර්යයේ ස්වභාවය දැක්වීමට වචන දහතුනක් දක්වා තිබෙනවා.

වීරියාරම්භය (විරියාරම්භො)

වීර්ය ආරම්භ කිරීමයි. වීර්ය ආරම්භ කළ යුත්තේ සිතෙන් හා සිතුවිලිවලින්. විරියාරම්භය චෛතසික ධර්මයක් බව තේරුම් ගත යුතුයි. මේ වීර්ය සිතුවිල්ල හෙවත් වීර්ය චෛතසිකය අනෙක් සෑම සිතුවිල්ලකටම අනුබලය දෙමින් ක්‍රියා කරනවා.

අලස බවින් නික්මීම (නික්කමො)

සිතේ අලස බවක් හෙවත් කුසීතකමක් ඇති වුණාම වීර්ය චෛතසිකය පෙරමුණට පැමිණ ඒ අලස බව, කුසීතකම සිතෙන් අයින් කරලා දමනවා. අලස බවෙන් නික්මීම සිදු කරන නිසයි නික්කම කියලා කියන්නේ.

බලයක් ඇති කර ගැනීම (පරක්කමො)

වීර්ය සතරාකාරයි. ඒ හතර නම්, උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීර්ය කිරීම, නූපන් කුසල් ඇති කර ගැනීමට වීර්ය කිරීම, උපන් අකුසල් නැති කිරීමට වීර්ය කිරීම හා නූපන් අකුසල් නූපදීමට වීර්ය කිරීමයි. මේ වීර්ය හතරෙන් එකක් ඉක්මවා අනෙත් එක උසස් ලෙස ඇති කර ගන්න නම් තමා තුළ බලයක් ඇති කර ගන්න ඕන. මේ බලය තුළින් උපදවා ගන්න උත්සාහයට පරක්කම කියලා කියනවා.

උත්සාහ කිරීම (උය්‍යාමො)

පා ගමනින් ගමන් කරනවාට වඩා ඉතා වේගයෙන් වාහනයකින් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම වේගයකින් සිතේ උපන්න වීර්ය චෛතසිකය ක්‍රියාත්මක කිරීමයි උය්‍යාම කියලා කියන්නේ. කෙලෙස් සැඩ පහරින් ගසාගෙන යන්න ඉඩ නොදී එම සැඩ පහර කපා හරිමින් සසර

සයුරෙන් එතර කරනු ලබන වීර්යත් උය්‍යාම කියලා හඳුන්වනවා.

වෑයම් කිරීම (වායාමො)

මනුෂ්‍ය ලෝකේ ජීවත් වන අපිට නිතරම දුක් විඳීන්න සිද්ධ වෙනවා. දුක් කරදරවලට මුහුණ පාන්න සිදු වෙනවා. මනුෂ්‍යයින් විදියට අපි ඒ වෙලාවල්වලදී දුකෙන් මිදෙන්න, දුක් කරදර නැති කර ගන්න උත්සාහවත් වෙනවා. අන්න ඒ උත්සාහයයි වායාම කියන්නේ. “වායමන්තො සබ්බ දුක්‍ඛං අච්චෙන්ති” වායාම කියන මට්ටමට උත්සාහය දියුණු කරළාම සියලු දුක් නැති කරන්නපුළුවන්.

යුද්ධයක දී ඉතා උත්සාහයෙන් සතුරු සේනාව විනාශ කරල ඉදිරියට එද්දී නොසිතූ වෙලාවක තවත් සතුරු සේනාවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ සතුරු සේනාවත් විනාශ කරන්න නම් නොපසුබට මහා උත්සාහයක් තිබිය යුතුයි. අන්න ඒ නොපසුබට මහා උත්සාහයට වායාම කියලා කියනවා.

උත්සාහ කිරීම (උස්සාහො)

උත්සාහ කිරීමයි. තමන් වෙත පැමිණි බර අධික වුවත් එය උසුලා සිටිය යුතුයි. එහෙම බැරි වුණොත් ජීවිතය ජය ගන්න බැහැ. ජීවිතය ජය ගන්න නම් ඒ සියලු බර මහත් උනන්දුවෙන් වෙර වීර්ය යොදා ඔසවාලිය යුතුයි. ඒ බර උසුලා ගෙන සිටිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ “ උස්සාහො” යනුවෙන් දැක්වූ උත්සාහයයි.

අභිමතාර්ථය ඉටු වෙන තෙක්ම මහත් සේ උත්සාහ කිරීම

(උස්සොළ්හී)

සමහරු නොයෙක් නොයෙක් දේවල් අලුතෙන් පටන් ගන්නවා. ඒත් ප්‍රතිඵල ලැබෙන තෙක් කරන්නේ නැහැ. අතරමඟ නවත්වන්න සිදු වෙනවා. එහෙම වෙන්නේ පටන් ගත්ත උත්සාහය “ උස්සොළ්හී” මට්ටමට දියුණු කර ගත්තේ නැති නිසයි. පටන් ගත්ත දේවල් ප්‍රතිඵල ලැබෙන තෙක් අවසානය දක්වා සිදු කරන්න තියෙන උත්සාහයටයි උස්සොළ්හී කියන්නේ.

ශක්තියක් ඇති කර ගැනීම (ථාමො)

ශිලා ස්ථම්භයක් මෙන් ස්ථීරව පැවතීම සඳහා කරනු ලබන ප්‍රෝත්සාහී වීර්යයට ථාම කියලා කියනවා.

ධෛර්යක් ඇති කරගැනීම (ධිති)

වීර්යයෙන් සඵල කර ගත් යහපත් දේවල් අඛණ්ඩව දිගින් දිගටම පවත්වා ගන්න සිදු කරනු ලබන උත්සාහයයි ධිති කියන්නේ. මේ සඳහා ජීවිතය පුරා ධෛර්යවන්ත වෙන්න ඕන.

නොලිහිල් බලයක් ඇති කර ගැනීම (අසිථිල පරක්කමතා)

කිසිදු ක්‍රමයකින් ලිහිල් බවක්, සැහැල්ලු බවක් නොමැතිව ස්ථීරව පවත්වා ගන්නා වීර්යයටයි අසිථිල පරක්කම කියන්නේ.

බහා නොතබන ලද කැමැත්තක් ඇති කර ගැනීම

(අනික්ඛිත්ත ජන්දතා)

කුසල ධර්ම වැඩීමේ දී “වඩන්නම ඕනෑය” අකුසල නැති කිරීමේ දී “නැති කරන්නම ඕනෑය”

යනුවෙන් ඇති කර ගන්නා කත්තුකම්‍යතා ජන්දතාව අනික්ඛිත්ත ජන්දතා කියලා හඳුන්වනවා.

බහා නොතබන ලද ධෛර්යක් ඇති කර ගැනීම (අනික්ඛිත්ත ධුරතා)

සත්‍යාවබෝධය තෙක්ම “පටන් ගත් වීර්ය බර බහා නොතබමි” යි යනුවෙන් අධිෂ්ඨාන කොට

එයාකාරයෙන්ම බර ඉසුලා සිටීම අනික්ඛිත්ත ධුරතාවයි.

ඇති කර ගත් ධෛර්ය වැඩි කර ගැනීම (ධුරසම්පග්ගාහො)

පටන් ගන්නා ලද කුසල සිත් ස්වල්පයක්වත් සිඳ බිඳ දමන්නේ නැතිව හා පසුබෑමට යා නොදී ඉසුලා සිටීමයි ධුරසම්පග්ගාහය කියන්නේ.

වීර්යයේ ලක්‍ෂණය හෙවත් හැඩහුරුකම කුසීත බවට වැටෙන්නට නොදී සිත රැක ගැනීමයි. “ උස්සාහන ලක්‍ඛණං විරියං” කිව්වේ එයයි. වීර්ය චෛතසිකය සිතෙන් අයින් වෙනකොටම අප තුළ ඇති වෙන්නේ කුසීතකම යි. අලස බව හෙවත් කම්මැලිකම යි. වීර්යයෙන් කරන්නේ කුසීතකම සිතට එන්න ඉඩ නොදී සිත ආරක්‍ෂා කිරීමයි. උපමාවකින් මෙහෙම පැහැදිලි කරන්නම්. මිහිරි අඹ රස විඳීන්න කැමැති කෙනෙක් ගෙඩි ඇති අඹ ගහ බර වී ඇල වී වැටෙන්න හදන කොට එයට ශක්තිමත් කරුවක් ගස, ගසා වැටෙන්න නොදී ආරක්‍ෂා කර ගෙන ඒ අඹ භුක්ති විඳීනවා. මේ විදියට නිර්වාණය නැමැති රසය විඳීමේ ආශාවෙන් ධ්‍යාන විදර්ශනා ආදිය වැඩූ යෝගාවචරයාත්, අලසකම ඇති වෙනකොට ම ධ්‍යාන බිඳ වැටෙන්න හදන කොටම වීර්ය නැමැති බල කණුව ගසා මාර්ග ඵල අවබෝධ කරගෙන නිවන් රසය විඳීනවා.

වීර්යයේ රසය හෙවත් කාර්ය තමයි කම්මැලි ව දුර්වල ව අමාරුයි බැහැයි සිතමින් පසුබට වන සිය දහස් ගණන් සිතුවිලි සිතෙන් අයින් කිරීම. වීර්යයේ පච්චුපට්ඨානය හෙවත් ආසන්න කාරණය පටන් ගත් කාර්යයන් ප්‍රතිඵල ලැබෙන තෙක් සිදු කිරීමට උදව් කිරීමයි. පදට්ඨානය හෙවත් වීර්යයට හේතු වූ මුල සංවේගය යි. සසර ඇති නිසරු බව වැටහෙනවා නම් සසර පිළිබඳ සංවේගයක් කළකිරීමක් ඇති වෙනවා. ඒ සංවේගය, කළ කිරීම නිසාම සසරින් එතර වෙන්න උත්සාහවත් වන හෙයින් සංවේගය වීර්යයට හේතුවයි. සංවේගය වීර්යයට මුලයි.

තමන්ගේ අදහස්, බලාපොරොත්තු, අපේක්‍ෂාවන් මුදුන්පත් වන තුරු ඉෂ්ට වන තුරු

උත්සාහයෙන් යුතුව වීර්ය කිරීම බෝධිසත්ව ගුණයක්. කුසීතව සිටියොත් සිතට ඕනෑ විදියට කෙලෙස් ගලාගෙන එනවා. කුසීතකම නිසා අප කෙලෙස් සැඩ පහරට අහු වෙනවා. එහෙම අහු වුණොත් නවතින්නේ සතර අපායට වැටිලයි. ඒ නිසා කුසීත බවට ප්‍රතිවිරුද්ධ වූ වීර්යය ඉන්ද්‍රිය ධර්මයක් විදියට සිතට පුරුදු කරන්න ඕන. වීර්ය ආරම්භ කිරීමේ අනුසස් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. මහණෙනි මෙම වීර්යාරම්භය විතර ප්‍රබල සම්පන්න ධර්මයක් මට නොපෙනෙයි. කුමක් සඳහා ද? නූපන් කුසල් වඩා වඩාත් දියුණු කර ගන්නත්, උපන් අකුසල් නැත්තටම නැති කර ගන්නත් සමත් වීර්ය බල මහිමයයි. වීර්ය ආරම්භ කිරීමයි. වීර්ය පටන් ගත් පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. වර්ධනය වෙනවා. සම්පූර්ණ වෙනවා. උපන් අකුසල් නැසෙනවා. වැනසෙනවා. නැත්තටම නැති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේම වීර්යාරම්භයේ අනුසස් වර්ණනා කළ ආකාරය යි.