Print this Article


සද්ධාතිස්ස රජු ඉදිකළ එළමල්දෙණිය රාජ මහා විහාරය

සද්ධාතිස්ස රජු ඉදිකළ එළමල්දෙණිය රාජ මහා විහාරය

අතොරක් නැතිව කඩා වැටෙන සීත දිය දහරාව නොසිඳෙන උල්පතකින් දිය සීරාවක් සේ මතුව එන්නේ ය.අහස් කුසට එසැවුණු පර්වත වල මුදුන පාවෙන වලා වලින්, විටෙන් විට මතුව නොපෙනී යයි.

සැතපුම් ගණනක් ඈතට විහිදෙන මහා රූස්ස ඝන කැලෑව අතරින් ඉහළට එසැවුණු කොත් වහන්සේ දකින නෙත්වලට ගෙනෙන ශාන්තිය ද අපමණ ය.ඒ සියල්ල මැද නිසොල්මනේ වැඩ සිටිනා සැතපෙන පිළිම වහන්සේ ගේ දසුන සිත් නිවී සනහන්වනේය.අතීත රජ දරුවන්ගේ පාදස්පර්ශයෙන් පෝෂිත දකුණු පුරවරයේ පිහිටි මෙම පින් බිම එසේ නෙත ගැටෙන සිත් පින් කර ඇතුවා යැයි සිතෙයි.

මේ ඓතිහාසික එළමල්දෙණිය පුරාණ රාජ මහා විහාර පින් බිමයි.

කොළොම් තොටින් දකුණු ලකට සේන්දු වන බැතිමතකුට ඉමදූව අකුරැස්ස පාරේ, පිට බැද්දර, පරගස්තැන්න හංදියෙන් කිලෝමීටර දෙකක් ගිය තැන මෙම ඓතිහාසික පින් බිම හමුවන්නේ ය.

ශ්‍රි බුද්ධ වර්ෂ 415 නැති නම් ක්‍රිස්තුවර්ෂ 137, දී පමණ සද්ධාතිස්ස රජු විසින් මෙම විහාර පින් බිම ඉදිකොට ඇති බැව් එළමල්දෙණිය පුරාණ රාජ මහා විහාරයේ විහාරාධිපති ගොම්බද්ධර ලංකා නන්ද හිමියෝ පවසති.

සද්ධාතිස්ස රජු විසින් මෙම විහාර පින් බිම ඉදි කර ඇති බැව් සඳහන් වෙතත් ‍රජු දීර්ඝ කලක් මෙහි වාසය කොට නැති බව ද සඳහනක් වෙයි.ඊට හේතු පාදක වී ඇත්තේ සද්ධාතිස්ස රජු දවස මෙහි සිටි වැද්දකු විසින් රජු අභිමුව පවසන ලද වදනක් යැයි ජන වහරේ පවතින මතයක් ද වෙයි.

වැද්දා විසින් රජුට පවසා ඇත්තේ මෙම ස්ථානයට වඩා තවත් අලංකාර ස්ථානයක් මෙම කිට්ටුව පවතින බවයි.ඒ අනුව රජු විසින් එහි ගොස් ඇති අතර, එය මූ කිවූ ගල නම් ව පසුව එය මුල්කිරිගල වී ඇති බැව් ලංකානන්ද හිමියෝ පෙන්වා දෙති.

එළමල්දෙණිය විහාර පින් බිමේ ඇති ලෙන් විහාරය සුවිශේෂ ය.කටාරම් ලෙනක් වන මෙහි ඇතුළත රියන් දහ අටක් දිග සැතපෙන පිළිම වහන්සේ වඩා හිඳුවා ඇත.අනුරාධපුර යුගයට අයත් එහි ඉහළ පියස්සේ සිතුවම් කරන ලද මල් වියනකි.එම සිතුවම් අනුරාධපුර යුගයට අයත් යැයි සඳහන් වෙතත් ලංකාවේ සිතුවම් පිළිබඳ කරන ලද ගවේෂණවල දී එය මහනුවර යුගයේ දී යළි ප්‍රතිසංස්කරණ වී ඇති බැව් උන්වහන්සේ පෙන්වා දෙති.

එළමල්දෙණිය නම පිළිබඳ ඇත්තේ ද ජනප්‍රවාදයේ අපූරු කතාවක් බව ලංකා නන්ද හිමියෝ පවසති.

සද්ධාතිස්ස රජ දවස මෙහි භාවනා යෝගී ව සිටි උපාසිකාවක විසින් මෙහි දිනපතා වතාවත් සිදුකොට තිබේ.කලකට ඉහත වගුරු බිමක් ව පැවැති මෙහි විශේෂිත මල් වර්ගයක් පැවැති බව සඳහනක් ද වෙයි.ඇය විසින් එම මල් බුදුන් වහන්සේ උදෙසා පුජා කරනු ලැබූ මොහොතක සද්ධාතිස්ස රජු ඇගෙන් මෙම මල් වර්ගයේ නම කුමක් දැයි විමසා තිබේ. ඇය එහි නම නො දන්නවා බව රජුට සැලකර සිටි අතර රජු විසින් සුදු මල් විශේෂයක් නිසා එළමල් යැයි සඳහන් කොට තිබේ.ඒ අනුව එළමල්දෙණිය ලෙස ජනප්‍රවාදයේ අද දක්වා මෙය පැවත එන කතා පුවතකි.

විහාර පින් බිමට මීටර පන්සියයක එපිටින් දක්නට ඇති මනරම් දිය ඇල්ලකි.සිව් දිසාවට විහිදෙන කඳු පන්ති වලින් වටව ඇති එළමල්දෙණිය, සිංහරාජ වන පියසට අයත් ව පසුව එය මුලටියන රක්ෂිතයට මායිම් ව අක්කර පනහක් පුරා විහිද සීමා මායිම් ව පවතින්නේ ය.

විහාර පින් බිමට පැමිණෙන සැදැහැවතුනට ආරම්භක මකර තොරණ අභියස සිට පියගැට පෙළ පන්සියයක් පමණ ගෙවා විහාර මළුවට පැමිණිය යුතු අතර, ඒ අතර මඟ ඇති සීත ගඟුලේ ස්පර්ශය ද ලැබ විහාර පින් බිමට පැමිණිය හැකි ය.

මකර තොරණ අභියස දක්නට ඇති පොකුණකි.එහි කටාරම් කෙටීම සඳහා යොදා ගත් ආයුධ මුවහත් කර ගැනීම සඳහා භාවිත කරන්නට ඇති යැයි විශ්වාසයක් ද පවතියි.

රජ්ජුරු බණ්ඩාර දෙවියන් පිළිබඳ ඇති විශ්වාසය ද මෙම පින් බිම ඇසුරෙහි උපන් දක්නට ඇති තවත් සිදුවීමකි.කෝට්ටේ යුගයේ විසු හයවන පරාක්‍රමබාහු රජුගේ මුණුපුරෙකු යැයි සැලකෙන රජ්ජුරු බණ්ඩාර පසු කාලීනව දේව ආත්මයක් ලබා මිනිසුන්ට ආශිර්වාද කළ බැව් මිනිසුන් අතර එකල පටන් අද දක්වා පැවතෙන විශ්වාසයක් බව ලංකා නන්ද හිමියෝ පෙන්වා දෙති.

එහෙයින් රජ්ජුරු බණඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා පැමිණෙන බොහෝ දෙනකු ද එළමල්දෙණිය විහාර පින් බිම වැඳපුදා ගැනීම ද සිරිතක් කොට පැමිණේ.

රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ මුල් වලව්ව එළමල්දෙණියට එපිටින් පිටබැද්දර සිට හුලංදාව ‘දීගල’විහාරය ආසන්නයේ පැවති බව ද උන්වහන්සේ පෙන්වා දෙන කරුණකි.

විහාර මළුව පුරා දක්නට ඇත්තේ ඉපැරණි ඓතිහාසික නටබුන්‍ ය.දුටු ගැමුණු රජු සමය දක්වා දිගු ඉතිහාසයකට උරුම කම් කියන මෙම පින් බිම සද්ධාතිස්ස රජු රෝහණය පාලනය කරන සමයේ ඉදි කළ නටබුන් ද තැනින් තැන දක්නට හැකි ය.

විහාර මළුවේ ඉදිව ඇති චෛත්‍යය රාජයාණන් වහන්සේ ද වන්දනීය වන මනරම් දසුනක් ය.හාත්පස විහිද ගිය ඝන වනාන්තරය මැද ඉහළට එසැවුණු චෛත්‍යය රාජයාණන් වහන්සේ නෙතට ගෙනෙනුයේ අපමණ ශ්‍රද්ධාවකි. රුහුණු පුරවරයේ බොදු උරුමයේ අභිමාණය නිහඬ ව දරා ගනිමින් නොසොල්මනේ වැඩ සිටිනා එළමල්දෙණිය විහාර පින් බිම අනාගත වාදීන්ගේ උරුමයට පිදෙන තවත් බෞද්ධ සම්පතක් වන්නේ එහෙයින්ය.