Print this Article


අභිමානවත් භික්ෂු ජීවිතයකට පිරිවෙන් අධ්‍යාපනය

අභිමානවත් භික්ෂු ජීවිතයකට පිරිවෙන් අධ්‍යාපනය

කෝට්ටේ යුගයෙන් පසුව සම්බුද්ධ ශාසනය, අධ්‍යාපනය වගේම සිංහල භාෂාවත් පරිහානියට පත්වුණේ සීතාවක පළමුවැනි රාජසිංහ රජතුමාගේ දූර දර්ශී පාලනය හේතුකොට ගෙන ය. පෘතුගීසි, ලන්දේසි ආදීන්ගේ පැමිණීම නිසා තවදුරටත් අපේ අධ්‍යාපනය පරිහානියට පත් විය.

1707 වර්ෂය වන විට, නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලය වන විට නම ගමවත් ලියා ගන්නට බැරි සිංහල ජාතියක්, එකම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් වත් නැති තත්ත්වයක් උදාවී තිබුණි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හාමුදුරුවන් පහළ වූයේ එවන් අවස්ථාවක ජාතියේ පිනට ය.

උන්වහන්සේ රජතුමා පහදවාගෙන අධ්‍යාපනය වැඩි දියුණු කළහ. පළමුව පැරැණි පොතපත ඉතා දුකසේ සොයාගෙන තනිවම ඉගෙන ගත්හ. වසර 1753 වන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පහදවා ගෙන තෙවැනි වතාවටත් දූතයන් යවා, සියම් රටේ සංඝරාජ මාහිමියන්ට ආරාධනා කොට උපාලි හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙරටට වැඩම වූහ. මල්වතු මහා විහාරය ආරම්භ කරමින්, පොහොය සීමා, සංඝාවාස අරඹමින් පළමුවතාවට උපසම්පදාව පිහිට වූහ.

එදා කොබ්බෑකඩුවේ හාමුදුරුවෝ, වැලිවිට සරණංකර හාමුදුරුවෝ, තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ ඇතුළු මල්වතු මහා විහාරයෙන් පස්නමකුත්, අස්ගිරි මහා විහාරයෙන් නාවින්නේ හාමුදුරුවෝ ඇතුළු සයනමක් සම්බුද්ධ ශාසනයේ උපසම්පදාව ලැබූහ. ඒ වර්තමාන උපසම්පදාවේ ආරම්භය යි.

එදා අධ්‍යාපනය දෙස බලනවිට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මල්වතු මහා විහාරයට සම්බන්ධ විහරස්ථාන 2400 ක් අස්ගිරි මහා විහාරයට සම්බන්ධ විහාරස්ථාන 2400 ක් ආරම්භ කිරීම සුවිශේෂී ය. එහිදී සාමණේරයන් වහන්සේලාගේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරමින් භික්ෂුන් වහන්සේගේ අධ්‍යාපනයටත්, ශාස්ත්‍රීය දියුණුවටත් කටයුතු කළේ ය. ඉන්පසු වලානේ සිරි සිද්ධාර්ථ නායක හාමුදුරුවන් විසින් රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භ කළහ. හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ සහ රත්මලානේ ධම්මාරාම හාමුදුරුවෝ උන් වහන්සේගේ ශිෂ්‍යයන් අතර ප්‍රධාන ශිෂ්‍යයන් දෙදෙනෙකි. 1873 වසරේදි හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන් මුල් වී මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනත්, රත්මලානේ ධම්මාරාම හාමුදුරුවන් මුල්වී 1875 වසරේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනත් ආරම්භ කිරීම මෙරට බෞද්ධ අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. එතැන් පටන් ලක්දිව නොයෙක් ප්‍රදේශයන්ගෙන් මෙම අධ්‍යාපන ආයතන වෙත භික්ෂූන් වහන්සේ වැඩම කොට, අධ්‍යාපනය ලබා තමන්ගේ ගම් ප්‍රදේශයන්ට ගොස් නව පිරිවෙන් ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙසයි අද මහනුවර සංඝරාජ පිරිවෙන ආදි කොට ඇති විවිධ ප්‍රදේශවල පිරිවෙන් ආරම්භ ව වැඩි දියුණු තත්ත්වයට පත්ව තිබෙනුයේ .1902 වසරේදි ප්‍රාචීන භාෂෝපකාර සමාගම ආරම්භ වීමද සුවිශේෂී අවස්ථාවකි. එමඟින්, විශේෂයෙන් පාලි, සිංහල, සංස්කෘත, බුද්ධ ධර්මය, දෙමළ, පුරාවිද්‍යාව, තර්ක න්‍යාය ආදි කොට ඇති භික්ෂූන් වහන්සේට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට නිර්දේශ මාලා සැකසුණි. ඒ පිරිවෙන් සම්බන්ධ කරගෙන ය. එහිදී විභාග ආදිය රජයෙන් පැවැත්වීම ද ආරම්භ කෙරිණි. එමඟින් පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් වැඩිදියුණු වෙන්නට පටන් ගැනුණි. ඒ අධ්‍යාපනය ලබාගෙන කීර්තිමත්, උගත් ගිහි පිරිසක් ද අපේ රටේ බිහි වුණි.

ඒ අතර 1944 වසරේදී කන්නන්ගර මැතිතුමා මුල්වි අපේ රටේ නිදහස් අධ්‍යාපනය වැඩිදියුණු කරමින්, මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කරමින් අපේ රටේ අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමට කටයුතු කෙරිණි. කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල ක්‍රමයෙන් වැඩි දියුණු වුණි.

1959 වසර වන විට පිරිවෙන්වල ඉගෙන ගත් ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරින් ශාස්ත්‍රීය උපාධිධාරින් සියලු දෙනාටම රජයේ පත්වීම් ලබා දුණි. ඒ වගේම විද්‍යෝදය , විද්‍යාලංකාර පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පත්වුණි. 1969 අනුරාධපුර ධර්ම පීඨය ආරම්භ වීමත් සමඟ භික්ෂු අධ්‍යාපනයේ සංවර්ධනයක් ඇතිවුණි. එය වර්තමානයේ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය යි.

ඒ සමඟම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාල ආරම්භ වුණි. එම විශ්ව විද්‍යාල තුළින් පිරිවෙන් අවසානයේ දි භික්ෂූන් වහන්සේට වැඩිදුරටත් ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා ඥානය ලබා ගැනීමට අවස්ථාව සකස් වෙමින් පැවතුණි.

1972 වසරේ ඇතිවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමඟ බුද්ධ ධර්මය, පාලි භාෂාව වැනි විෂයයන්ට කිසිදු ඇගයීමක් නොලැබෙන තත්ත්වයක් ඇති වුණි. ඒ පමණක් නොව එම විෂයයන් කැලණිය විශ්ව විද්‍යාලයට පමණක් සීමා වුණි. එයින් පාලි සංස්කෘත ඉගෙනගත් ශිෂ්‍යයන් පමණක් නොව ගුරුවරුන්ද දැඩි අපහසුතාවයට පත්වුණි. ඒ සමඟ එවැනි විෂයධාරා දුරස්වී පරිහානි යුගයක් උදා වුණි. 1979-1980 වන විට මේ රටේ විශ්ව විද්‍යාලයන්හි ඉගැන්වීමට සුදුසු ප්‍රමාණවත් භික්ෂූන් වහන්සේ ගිහි පිරිස් දෙතුන් දෙනෙකුවත් සොයා ගැනීමට නොහැකි වුණි. මේ පරිහානි යුගයෙන් පසු නැවත පාලි – සංස්කෘත භාෂා ඉගැන්වීම පිළිබඳව යම් දියුණුවක් ඇති වුණි.

1979 වසරේ පිරිවෙන් පනතක් ඇතිවීමත් සමඟ විද්‍යායතන, මහ පිරිවෙන් හා කනිෂ්ඨ පිරිවෙන් ලෙස බෙදා ඒවායෙහි ආචර්යවරුන්ට වැටුප් දීමට තීරණය කෙරිණි. එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවන විට එම ගුරුවරු අපහසුතාවයට පත් වුණි. පිරිවෙන් ගුරුවරයෙකුට පාසලක ඉගැන්වීමට බැරි තත්ත්වයක් ද තිබුණි. එමෙන්ම පිරිවෙන් ගුරුවරයාට පැහැදිලි අනාගතයක් තිබුණේ නැත. එයද පිරිවෙන පරිහානියට පත්වීමට හේතු වුණි.

පසුගියදා පැවති බෞද්ධ උපදේශක සභාවේ දී පිරිවෙන් අධ්‍යාපනය හා පිරිවෙන් ගුරුවරුන් මුහුණපාන ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වුණි. එහිදී පිරිවෙන් ගුරුවරයාගේද, අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ගේද අනාගතය පිළිබඳ සුබවාදී අනාගතයක් ඉදිරියේ දී උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුළු ලෝකයම භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ ධර්මඥානය යි. ඊට ගැළපෙන භික්ෂු අධ්‍යාපනය අපේ පිරිවෙන තුළින් ලබා දීමට කටයුතු කළ යුතුව තිබේ. භික්ෂූන් වහන්සේගෙන් සමාජයට අවශ්‍ය ධර්ම ඥානය ලැබිය නොහැකි විවිධ විෂයයන් යටතේ උපාධි ලබා ගන්නා විට ධර්මය සම්බන්ධ කිරීමට අවශ්‍ය ඥානය නොමැති නිසා සමහර භික්ෂූන් වහන්සේ ගිහි සමාජයට එක්වන බව පෙනේ. ඒ වගේම භික්ෂූන් වහන්සේට අභිමානයෙන් කටයුතු කිරීමට සුදුසු අධ්‍යාපනයත්, පරිසරයත් සකස් විය යුතුව තිබේ.

එමෙන් ම දහම් පාසල්වල, ශාසනාරක්ෂක මණ්ඩලවල,මහජනතාවගේ කටයුතු කිරීමට දක්ෂ හා හැකියාව ඇති භික්ෂූන් වහන්සේ බොහෝ වෙති. උන්වහන්සේලාගෙන් ජාතික ශාසනික කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දිය යුතුව තිබේ.