Print this Article


බුදු හිමි අගය කළ කාන්තා නිදහස

බුදු හිමි අගය කළ කාන්තා නිදහස

" ස්වාමීනි, ගෞතමයන් වහන්ස, සිදුවෙලා තිබෙන්නේ මහ විපතක්. මගේ දේවිය කෝසල මල්ලිකාව දරුවා ප්‍රසූත කරන්නට ආසන්න දින ළං වෙමින් ගැබ්බර ව සිටින අවස්ථාවක යි මං මේ පැමිණියේ. ඇය දරුවෙක් ප්‍රසූත කරලා තිබෙන ආරංචිය යි මේ රාජ පුරුෂයා බොහොම පරිස්සමෙන් කීවේ. ඒක නම් අසුභ ආරංචියක්. ඇය ප්‍රසූත කරලා තිබෙන්නේ ගැහැනු දරුවෙක්."

පින්වත, මේ ඔබ අප එළඹෙමින් සිටින්නේ බිනර පුර පසළොස්වක පොහොය දිනට යි. ඉතින් දඹදිව ඉන්දියාවේ හැටියට නම් මේ සරත් සෘතුවේ ආරම්භය යි. මේ කාලයේ ගහ කොළ පවා සශ්‍රීක බවක් තිබෙනවා. මේ කාලයේ කැලයේ ඉන්න සතා සිවුපාවා වගේ ම කුරවිකෙවුලන් පවා මහත් සොම්නසින් ඔබ මොබ ඇවිදිමින්, පියාසර කරමින් සිටින කාලය යි.

ඒ වගේ ම භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදානයෙන් පසුව වස් කාලය ගෙවන බණ භාවනා කටයුතුවල නියුක්ත ව උන්වහන්සේලාගේ සසර විමුක්තිය උදා කර ගන්නට වෙර විරිය යොදන කාලය යි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ බිනර පොහොය දවසක තමා භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට අවස්ථාව උදා කරගන්නේ. එදා කාන්තාව බමුණු මතවාද නිසා සමාජයේ කොන් වී දුක්බර දිවි පෙවෙතක් ගත කළත් සිය මෙලොව, පරලොව විමුක්තිය උදෙසා මහත් නිදහසක්, සැනසිමක් උදා කරගන්නේ මේ බිනර පොහොය ආරම්භය ත් එක්ක නිසා කාන්තාවගේ විමුක්තිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳ යමක් විමසා දැන ගැනිම වැදගත් වෙනවා.

දවසක් දා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන අවස්ථාවක දවල් දානය පිළි අරගෙන මඳක් විවේක සුවයෙන් උන්වහන්සේ වැඩසිටි ගඳකිළියෙන් නිකුත් ව එළිපත්තේ වැඩ සිටින අවස්ථාව උදා වුණා. ඉතින් කවදත් සුපුරුදු පරිදි බුදුරජාණන් වහන්සේ හමුවට දවසකට දෙවරක් පැමිණෙන කොසොල් මහරජතුමා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන වෙලාවත් ළං වෙමින් තබුණු වෙලාවයි මේ උදාවෙමින් තිබුණේ.

සුපුරුදු පරිදි එදත් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන රජතුමා එළිපත්තේ අසුනක වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක ගරුසරු ඇති ව උන්වහන්සේ දෙපා නමැද එකත් පසෙකට වී සිටියා. මේ වෙනකොට රජුගේ අගබිසව කෝසල මල්ලිකා දේවිය ගැබ්බරවයි සිටියේ.

හදිසියෙන් ම එතැනට ළං වූයේ තමන්ගේ හිතවත් රාජපුරුෂයෙකු බව දැනගත් මේ රජතුමා වහා විමසිලි මත් වුණේ දේවිය ගැබ්බර ව සිටි නිසාත් වෙන්ට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ සමඟ පිළිසඳරක යෙදී නිවී සැනසිල්ලේ කල්ගත කරන රජතුමා වෙත ළං වූ රාජ පුරුෂයා බුදුරජාණන් වහන්සේට ගෞරව සම්ප්‍රයුක්ත බවක් දක්වමින් රජතුමා ළඟට තවතවත් ආසන්න වී යමක් කොඳුරා ප්‍රකාශ කළා. රජතුමා මේ රහස තේරුම් ගන්නවාත් සමඟ හිත නොසන්සුන් කරගත් බවක් වටහා ගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජතුමා වෙතින් උන්වහන්සේ දුටු මේ නො සන්සුන් තත්වය පිළිබඳ කරුණු විමසන විට ම රජතුමා ප්‍රකාශ කළා ” ස්වාමීනි, ගෞතමයන් වහන්ස, සිදුවෙලා තිබෙන්නේ මහ විපතක්. මගේ දේවිය කෝසල මල්ලිකාව දරුවා ප්‍රසූත කරන්නට ආසන්න දින ළං වෙමින් ගැබ්බර ව සිටින අවස්ථාවක යි මං මේ පැමිණියේ. ඇය දරුවෙක් ප්‍රසූත කරලා තිබෙන ආරංචිය යි මේ රාජ පුරුෂයා බොහොම පරිස්සමෙන් කීවේ. ඒක නම් අසුභ ආරංචියක්. ඇය ප්‍රසූත කරලා තිබෙන්නේ ගැහැණු දරුවෙක්.”

මෙන්න මේ තත්වය තමා එදා ගැහැනු දරුවෙකු ඉපදීම පිළිබඳ බමුණු මතවාද නිසා හටගෙන තිබුණු කනගාටු දායක තත්වය. ඒ නිසා කාන්තාව අන්ත අසරණ තත්වයකට පත් වී තිබුණු ලෙසට යි සමාජ වාතාවරණය නිර්මාණය වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කාන්තාව පිළිබඳ මේ අවස්ථාවේ කරන ප්‍රකාශය තමා අප විසින් අද දවසේ තේරුම් ගතයුතු වන බෞද්ධ දැක්ම. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පැවති ලෞකික මතවාදයට සම්පූර්ණයෙන් එරෙහි වූ ප්‍රතිවිරුද්ධ මතයක්.

උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේ දී ඉතා පැහැදිලි ව ගැහැනු දරුවෙකු හදා වඩා පෝෂණය කිරීමේ අගය. ” රජතුමනි, දේවියට ගැහැනු දරුවෙකු ලැබුණා කියා මොහොතකට වත් අමුත්තක් ඇති කරගන්න එපා. ඒ දරුවා හොඳීන් පෝෂණය කරන්න, ඇය බුද්ධිමත් කාන්තාවක් වෙන්නට ඉඩකඩ තිබෙනවා. හැදිච්ච ශීලාචාර කුල කාන්තාවක් විය හැකි ව පවතිනවා, ඒ විතරකුත් නො වෙයි. යම් දවසක විවාහ පත් වූ විටෙක නැන්දා හා මාමණ්ඩි යන දෙපළට දෙවියන්ට සේ සැලකිලි සම්මාන දක්වන තැනැත්තියක් විය හැකි ව පවතිනවා. පතිකුලයට පත් වූ කාන්තාවකගෙන් අප අපේක්ෂා කරන පතිව්‍රතාව මැනවින් ප්‍රගුණ කළ යහපත් පතිනියක් බවට පත් වෙලා දෙවියෙකුට සේ තම අත ගත් ස්වාමියා කෙරෙහි පතිව්‍රතාව රැකගෙන කටයුතු කරන යහපත් තැනැත්තියක් වෙන්නටත් ඉඩකඩ තිබෙනවා.

ලස්සන පැවැත්මත් ඇති මේ අඹු සැමියන් නිසා හොඳ යහපත් ඇවතුම් පැවතුම් ඇති දරු පරපුරක් බිහි වෙන්නට හොඳට ම අවකාශ පවතිනවා. ඒ දරුවන් අතර සිටින පුත් රුවන මැනවින් පෝෂණය කර හදා වඩා ගෙන සමාජයට ඉදිරිපත් කර ඔහුට සමාජයේ ප්‍රභුත්වයක් හිමි වෙන්නට පුළුවනි. රටක් රාජ්‍යයක් පාලනය කරන රජකේ බිහි වන්නෙත් එවැනි

ස්ත්‍රියකගෙන් උපන් පුතෙක් නිස යි රජතුමනි, ඒ රජතුමා ශූර විර්ය ගති ඇති විය හැකි ව පවතිනවා. ඉතින් ඒ ස්ත්‍රියක් නිසා උපන් දරුවා නේ ද? රජතුමනි, ඒ නිසා ඒ උපන් ගැහැනු දරුවා හොඳට පෝෂණය කර හදා වඩා ගන්න.” මේ තමයි ඒ අවස්ථාවේ ගැහැනු දරුවන් ඉපදීම පිළිබඳ අපේ බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන් දැක්ම වුණේ. ස්ත්‍රිය පිළිබඳ බුදු දහමෙන් ඉදිරිපත් කරන දැක්ම වුණේ.

ඉතින් මේ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව නිසා දඹදිව ඉන්දියාවේ කාන්තා පක්ෂයට හිමි වූ තත්වය පුරුෂ පක්ෂය හා සම වීමට ප්‍රබල හේතුවක් වුණා. එදා සමාජයේ ආගමික නිදහස බමුණු මතවාද නිසා ශූන්‍ය කර තිබුණු පසුබිමක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ ඉගැන්විම නිසා භික්ෂුණි ශාසනය ඇති වූවා පමණක් නො ව සාමාන්‍ය නිවසේ කටයුතු බලාගෙන කල් ගත කරන කාන්තාව පුරුෂයා හා හරි හරියට පමණක් නොව සමහර අවස්ථාවල තම ස්වාමිපුරුෂයාට ද කල්‍යාණමිත්‍ර බවක් ඇති ව කල් ගෙවා දෙපළගේ සංසාරික විමුක්තිය උදා කර ගන්නට ක්‍රියා කළ අකාරය නකුල මාතා හා නකුල පිතා යන අඹුසැමියන් දෙපළගේ කතා පුවත් තුළිනුත් ප්‍රකාශ වෙනවා.