[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සම්බුදු හිමි

තිලොවට තිලක වූ සම්බුදු රජු නිතර
මෙත් සිත පතුරුවා දෙසු දම් කඳ නිතර
හිමියන් දෙසූ බුදු බණ පද ගුණ යතුර
ගත්තොත් හොඳයි අප මෙය සිත හට නිතර

****

මෙවර ජයග්‍රාහී කවිය

සැදැහැ සිත

හදේ උපන් මහ කරුණාවෙන් යුතුව
ඔටුන්න අතැර මැඳුරෙන් නික්මී බුදුව
ලෝ සත වෙත සෙත සලසන්නට සිතුව
අබිනික්මන් කළා කුමරුන් සිත නතුව

බුද්ධ ගයා වෙහෙරෙහි සුන්දර තැනෙක
සිලි සිලි නදින් හද සනසන බෝ මැඩෙක
වීරිය අදිටනින් යුතු නොසැලෙන සිතක
මරු පරදා බුදු විය ලෝක නායක

****

බුදුහිමි වැඩ සිටිති

දැක දැන හැඳින ගත් නො හැඳුනකම නෙතක
නො ඇළුණු නොම ගැටුණු වුව සුන්දර වතක
නොම වී මුළා පහසට සියුමැළි ගතක
බුදු හිමි වැඩ සිටිති හැම පිවිතුරු සිතක

විශ්වය පුරාවට ඉතිරෙන සත් දහමින්
ඔබෙ සිත සරසන්න දිරි ගනු මැන යහමින්
රැස් මාලා කදම්බය ඔබ වෙත එවමින්
පෙන්වයි පාර බුදු හිමි මොහඳුර නසමින්

****

වඳිමි අම්මේ ඔබෙ දෙපා

මහා සමනල කන්ද මුදුනෙදි
පෙනෙන ඉර සේවය වගේ
සදා සන්තක සොම්නසින් ඇය
හිනැහුණේ සමනොළ වගේ
ඔබේ ගුණ හරියටම අම්මේ
ගලන මහවැලි ගඟ වගෙ
ලිහිණි හෙල ළඟ පා ගැටෙද්දී
සිතම බුදු පාමුල තබා
රිදුන පැරදුන වැටුණ හැම විට
මහා කරුණාවෙන් බලා
මහා ගිරි දඹ නඟින අත්වැල
දොළොස් මහ පහනක් වුණා
මහා මළුවේ තබා නළලත
වඳිමි අම්මේ ඔබෙ දෙපා

****

මුළාවීම

බෝ මළුවේ පන්සිල් කියවෙද්දී
හැම ශනිදා දවසේ
කාටත් නො ඇසෙන්නට නොදැනෙන්නට ...
මදුරුන් බිම හෙළුවේ
බණ පොත් පෙට්ටිය මීයන් කපලා
අපරාධයක් වෙලා
මී කතුරක් තම අතින්ම හදලා ...
උන් ගෙල සිඳ දැමුවේ
මෝහෙන් පිරිලා අඳුරෙන් වැහිලා
වල්මත් වී සසරේ ...
මිනිසුනි බුදු මග යන්නේ කෙලෙසද
නිවන දුරයි වාගේ

****

ඇසළ සිරි

මුනිඳු පුදන සෑය වඳින
කිරි වෙහෙරයි පුද බිමේ
දෙවොල අසල සිහිල සදන
බෝ මළුවෙදි සිත නිමේ
දෙවිඳු පුදන පූජා වට්ටි
පෙළට ඇදෙන සමය මේ
එවැනි දසුන් නොදැක අපගෙ
කඳුළු වුණා ඇස් තෙමේ
සිතක බැතිය පුබුදු කරන
මිහිරි ඇසළ සමයනේ
වඳින පුදන සැමට පිහිට
සදනු මැනවි සුරිඳුනේ

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]