[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පත්බේරියේ විමලඤාණ නා හිමි

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයට අයත් පත්බේරිය ගම් පියසේ විසූ ජයසිංහ මුදියන්සේලාගේ උක්කුබණ්ඩාර නිලමේතුමාගේ සහ මනම්පේරි මුදියන්සේලාගේ පොඩිහාමු මන්පේරි මැණිකේ මහෝපාසිකා මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස 1949 අගෝ. 20 වැනි දින පත්බේරියේ විමලඤාණ නා හිමියෝ ජන්ම ලාභය ලැබූහ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පත්බේරිය රජයේ පිරිමි පාසලින් සහ නාරද මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිට ම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් 1960 දෙසැම්බර් 30 වැනිදා කිරුළපන ශ්‍රී පූර්වාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වුණි. ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේලා වූයේ සිරිලක පහළ වූ ධර්ම විනයධර අග්‍ර ගණ්‍ය විද්වත් යතිවරයන් වහන්සේ නමක් වූ රන්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනාහිමි සහ තලාවිටියේ පේමාලෝක නා හිමි ය. රද්දැල්ලේ අනුනාහිමි සෙවනේ මූලික ධර්මවිනය භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ කළ පත්බේරියේ හිමි 1962 දී මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් වුණි. 1969 දී තත් විද්‍යෝදය මහ පිරිවෙනින් ස්‍යාමරාජ ත්‍යාගය ද, 1973 දී රාජකීය පණ්ඩිත උපාධිය ද ලැබී ය.

1970 ජූලි මස 08 වැනිදා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව වෙතින් අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝප සම්පදාව ලැබූ පත්බේරියේ හිමි 1975 දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. එමගින් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, 1989 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්,1990 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලැබී ය.

1977 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් පත්බේරියේ හිමියෝ තදන්තරව ගොකරැල්ල පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද පිරිවෙන් විද්‍යායතනයේත්, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාල පිරිවෙනෙත්, හොරණ ශ්‍රී ධම්මරතන මහ පිරිවෙනෙත්, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනෙත් පරිවේණාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කළහ. 1992 දී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් සිංහල භාෂා ආගමික සම්බන්ධීකරණ නිලධාරී ලෙසත්, 1999 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ ශාඛාවේ ගාලු දිස්ත්‍රික් පිරිවෙන් පරීක්ෂක ලෙසත්, වර්ෂ 2006 සිට 2010 දක්වා රත්නපුර දිස්ත්‍රික් පිරිවෙන් පරීක්ෂක ලෙසත් පිරිවෙන් අධ්‍යාපන සේවාවට සුවිශේෂී සේවාවන් රැසක් සිදු කළහ. ලංකාවේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද්විතීය නාමයක් තැබූ පිරිවෙන් පරීක්ෂකවරුන් අතර පත්බේරියේ නාහිමියෝ ඉදිරියෙන් ම සිටිති.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් පත්බේරියේ නාහිමි වෙත රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමුවේ පූර්වෝක්ත සේවාවන්ට ඉහළින් ම ප්‍රසාදය පළ කිරීමක් ලෙසයි. කිරුළපන ශ්‍රී පූර්වාරාමය ප්‍රමුඛ තදනුබද්ධ විහාරස්ථාන පහක විහාරාධිපතිත්වය උසුලන පත්බේරියේ විමලඥාණ නා හිමි වෙත මෑතක දී තත් කෝට්ටේ මහා සංඝසභාව වෙතින් ම එහි අධිකරණ ලේඛකාධිකාරී පදවිය ද පිරිනමා තිබේ.

   බිනර පුර අටවක පෝය 

    අගෝස්තු 25 අඟහරුවාදා අපරභාග 12.22න් පුර අටවක පෝය ලබා 26 බදාදා පූර්වභාග 10.39 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]